Monday, April 4, 2016

අපි සියලු දෙනා අවසාන සිතීම් අහිමිකර ගන්නෝ මෙවු



.

ජීවිතය පවතින්නේ සිතීම උඩය. ජීවිතය යනු සිතීමයි. අපි විවිධ ලෙස විවිධ අරමුණු අනුව සිතමින් ජීවිතය පවත්වාගෙන යන්නෙමු. නොසිතන මිනිහෙක් නොපවතින්නේ නොසිතීම ගැන පවා සිතන්නට සිදුවන නිසාය. සිතීමද, සිතීමෙන් නිදහස් කළ විට සිතීමට අවසානයක් නොලැබී යයි. අවසානයේ කෙළවරක් පිළිබඳ අදහසක් සිත්හි තබාගෙන සිතීම ජීවිතයයි.
පෙම්වතෙක්, පෙම්පතියක් ලබා ගැනීම කෙළවරෙහි තබාගෙන සිතීම ප්‍රේමයයි. ඔහු හෝ ඇය තමන් සතු කරගැනීම අවසානයෙහි තබා අපි බොහෝ දෑ සිතමින් විවිධ උපක්‍රම යොදමින් ප්‍රේම සටන ආරම්භ කරන්නෙමු. ඇය හෝ ඔහු තමන්ගේ ප්‍රේමය පිළිගත් විගස අවසානය සිතූ දේ අවසානය බවට පත් නොවී ආරම්භයක් බවට පත්වෙයි. සියලු අවසානයන් නව ආරම්භ බවට පත්වෙයි. වාහනයක්, ගෙයක්, හොඳ රස්සාවක්, උපාධියක් අවසාන සිතීම ලෙස සිතා ඒ සියල්ල ලබාගත් කල්හිද අවසානය එය නොවන බව සිතෙයි. අපි සියලු දෙනා අවසාන සිතීම් අහිමිකර ගන්නෝ මෙවු. ජීවිතයේ අවසාන සිතීම කුමක්ද? ඔබට එවැන්නක් හමුවී තිබේ නම් වහාම මට පවසන්න. ඔබට හමුවී තිබෙන සියලු සිතීම් අවසානයක් නොමැති සිතීම්ය. නිර්වාණය අවසන් සිතීම යැයි ඔබ පවසනු ඇත. නිවන යනු සිතීමෙන් නොසිතීම කරා යන අවසානයක්ද, අවසානයේ නොමැති අවසානයක්ද? සිතීමෙන් නොසිතීම කරා ගමන් කරන නොසිතීමත් පිළිබඳව අත්හැරීම නිර්වාණයද?
සිතීම අතහැරීම සිතන තරම් ලේසි නැත. සිතීම අතහැරීම ජීවිතයට අතහැර දැමීමකි. දැන් මම සිතමින් සිතීම ගැන ලියන්නෙමි. ඔබ සිතමින් සිතීම ගැන කියවන්නේය. නොසිතමින් සිතීම ගැන ලිවිය නොහැකිය. කියවිය නොහැකිය. නොසිතමින් කළ හැකි කිසිවක් නොමැත.
අවසානයක් පිළිබඳ අදහස අතහැර සිතීම ‍භෞතික ජීවිතයට බාධාවකි. භෞතික ජීවිතය ජයගන්නට නම් අවසන් සිතීම් බොරුවට හෝ තිබිය යුතුය. අවසන් සිතීම් බොරු වුණත් ඇත්ත ලෙස සිතීමෙන් ජීවිතය ජයගත හැකිය. %මම හොඳට ඉගෙන ගෙන, හොඳ රස්සාවක් කරලා, ගෙයක් දොරක් හදාගෙන, පවුල් වෙලා, ළමයි හදලා හොඳින් ජීවත් වෙනවා^ යන්න අවසන් සිතීම බවට පත්කර ගත්තෝ ඒ සිතීම අනුව ජීවිතය සකස් කර ගනිති. ටගාට් අනුව ජීවත් වීම යනු මෙයයි. දැන් ඔබට  තිබෙන ප්‍රශ්නය නම්, &ඉතිං ඒක වැරදිද?* යන්නයි. මම හරි වැරැද්ද, කළ යුතු දේ ගැන පවසන උපදේශකයෙක් නොවෙමි. ඒක හරිද? මේක වැරදිද? කවුද හරි? මම මෙහෙම ජීවත් වෙන්නද යන්න ඔබ මගෙන් ඇසිය යුතු නොවේ. මම අවිනිශ්චිත ජීවිතය ගැන පවසන විට ඔබ නිශ්චිත පිළිතුරු මගෙන් විමසයි. නිශ්චිත වූ පිළිතුරු මටද නැත. මම අවිනිශ්චිතයෙක් වෙමි. මම වනචරයෙක් වෙමි, උපාසකයෙක් නොවෙමි. මගේ ලිවීම අනුව මා පිළිබඳ නොසිතන්න. තවදුරටත් මට ඔබව රැවටිය නොහැකිය. කරුණාකර මගේ ලිවීමේ ගොඳුරක් නොවී නිදහස්ව සිතන්න.

No comments:

Post a Comment