Sunday, February 7, 2016

සමාජවාදය හැදීමට පෙර රට තුළ හදාගත යුතු බොහෝ දේ තිබේ




ඡන්ද අපේක්ෂකයෝ මනාප හිඟමනේයති. බේසම්, ගිනිපෙට්ටි, සාරි, කොපි පොත්, අරක්කු, සිගරට්, උදළුතළ, කැති, පිහි, බඩුමළු බෙදති. ගෙයින්ගෙට යති. මනාප අංකය ගැසූ දින දර්ශන, කැලැන්ඩර, ලීත් බෙදති. තමන් කළ වැඩගැන පුරාජේරු කියවති. බලයට පත් වූ පසු මේවා කරනවා යැයි කියති. මහජනතාවෝද දුවගොස් කතිරය ගසති. හොරාටද, මැරයාටද, දූෂිතයාටද, පල්මෝඩයාටද, රෙදි බැනියම් ඇඳ බණ කියන උපාසක තක්කඩින්ටද ජනයා දුවගොස් කතිරය ගසති. ජනතාවෝ මෝඩ නිසා හෝ රැවටී හෝ මෙසේ නොකරති. මෙවැන්නන්ට කතිරය ගසන ජනතාවෝද අවස්ථාවක් ලදවිට හොරකම් කරන්නෝය. මැරකම් කරන්නෝය, දූෂිත වංචා කරන්නෝය. රෙදි බැනියම් ඇඳ ඩබල් ගේම් ජීවිත ගත කරන්නෝය. තමන් හොරෙකුට, මැරයෙකුට, දූෂිතයෙකුට කතිරය ගසන්නේ තමන්ගේ අවිඥානය තුළද එවැන්නෙක් දිටින නිසාය. අසාධාරණ, අයුක්ති සහගත පාලකයන් අනුමත කරමින් කතිරය ගසන්නේ නොදැනුවත්කම නිසා නොව, තමා තුළත් අසාධාරණ, අයුක්ති සහගත හැඟීම් තිබෙන නිසාය. මේ දේශපාලකයන්ට වඩා ඔවුන්ට කතිරය ගසන ජනතාව නරකය. එක් අතකින් මෙවැනි ජනතාවකට ලැබෙන්නේ මෙවැනි පාලනයක් මිස වෙන කවුරුන්ද. ජනතාව, බොරුවට, සෝබනයට කැමති නම් පාලකයන් හැසිරෙන්නේද එසේය. ජනතාව බොරු සෝබන මවාපෑම් ප්‍රත්ක්‍ෂෙප කරන්නේ නම් පාලකයන් එසේ හැසිරෙන්නේ නැත. පාලකයන්ට අවශ්‍ය ඡන්දය, ජනතා කැමැත්තය. එය ලබාගැනීමට දේශපාලකයන් ජනතා කැමැත්ත අනුව හැසිරෙනවා මිස, වෙන කුමක් කරන්නද? ජනයා කැමති ළමයින් වඩාගෙන හුරතල් කරන දේශපාලනඥයන්ට නම්, දේශපාලනඥයා එසේ කරයි. ජනතා කැමැති රෙදි බැනියම් අඳින, නිතර පන්සල් යන දේශීයත්වය ගැන කියවන දේශපානඥයන්ට නම් දේශපාලනඥයා එසේ හැසිරෙයි. ඡන්දය ගන්නට ජනයා කැමති විදහට හැසිරෙනවා ඇරෙන්ට වෙන මොනවා කරන්නද? ප්‍රශ්නය තිබෙන්නේ දේශපානය තුළ නොව ජනතාව තුළයි. ජනතාව හිතන පතන පිළිවෙළ තුළයි. තමන් මොන ආකාරයෙන් හැසිරුනත් තමන්ට ඡන්දය ලැබෙන බව දන්නවා නම්, ජනතාව ප්‍රතික්‍ෂේප නොකරන බව දන්නවා නම්, දේශපාලකයෝ ජනතාවට බිය නොවෙති. දේශපාලකයන් ජනතාවට බිය නොවෙයි. දේශපාලනයන්  බය කරන්නට ජනතාව සූදානම් විය යුතුයි. දැන් තිබෙන්නේ ජනතාව බය නොකරන, ජනතාවට බය නොවන ආණ්ඩුවකි. මොනවා වුණත් යුද්ධය දින්නනේ කියා ජනතාව කතිරය ගසන බව ආණ්ඩුව හොඳින් දනියි. නිදහසින් පසු රට පාලනය කළ පාලන ප්‍රජාවේ වැරදි, අඩුපාඩු නිසා ආරම්භ වූ යුද්ධය පාලක ප්‍රජාව විසින්ම අවසන් කර දැමුවෝය. යුද්ධයත්, සාමයත්, යුද්ධය අවසන් කිරීමත් පාවිච්චි කළේ දේශපාලන බලය තහවුරු කර ගැනීමටය. ජනවාර්ගික අර්බුදයේ ඉතිහාසය හොඳින් හදාරන්නෙකුට මෙය හොඳින් හඳුනාගත හැකිය. දේශපාලන බලය තහවුරු කර ගැනීම වෙනුවෙන් ඉතාමත් නරක ලෙස ජනවාර්ගික අර්බුදය පාවිච්චි කළේය. ගැටුම් ඇති කළේය. විසඳා ගැනීමට තිබෙන අවස්ථාව සාහසික ලෙස මග හැරියේය. ජාතිවාදය පෝෂණය කළේය. යුද්ධය අවසන් කර දේශපාලන බලය තහවුරු කර ගැනීමේ බලවත්ම සාධකය මේ මොහොතෙත් සංවර්ධන නොවන යුද්ධයයි. යුද්ධය සඳහා බලපාන ලද දේශපාලන සාධකයි. ජිනීවා යෝජනා මේ තරම් අධිනිශ්චය වෙන්නේ ඒ නිසයි. උන් පටන් ගෙන උන් අවසන් කළ යුද්ධය නිසා අපි උන්ට කෘතගුණ සලසන්නට බලය ලබාදෙන්නෙමු. පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බලයද, විධායක බලයද, ප්‍රා‘දේශීය, පළාත් සභා, නගර සභා, බලයද සියල්ල අපි දී ඇත්තෙමු. සියලු බලයද ලබා දී ජනතාවෝ තවමත් දුක් විඳිති. යුද සමයටත් වඩා ආර්ථික ප්‍රශ්න වලින් බැට කති. මහ මග වාහන වලට හැපී මැරී යති. බෝම්බයකට වඩා වාහන අනතුරු වලින් මැරෙති.
එහෙත් යුද්ධය ඉවරකලා කියා කතිරය ගසති. තුන්වේල නොකති. පෝෂණයක් නැති මොනවා හෝ දෙයකින් කුස පුරවා ගනිති. හයිවේ දෙස බලති. පයින් ඇවිදිති. ගුවන් තොටුපොළ, වරාය දෙස බලති. පයින් ගොස් නරඹති. ආශ්චර්ය දකිති. කතිරය ගසති. කතිරය ගසා අපා දුක් විඳති. මේ මොන ජනතාවක් දැයි මම සිතමි. දැන් හොඳට හෝ නරකට වෙනසක් අවශ්‍යව ඇත. ඔබ යූ.එන්.පී. එකට ඡන්දය දීමට බලාපොරොත්තුවෙන් සිටිනවා නම් ඒ ඡන්දය ආණ්ඩුවට දුන්නා කියා වෙනසක් නැත. දෙකම එකය. එකම දෙකය. එක පැත්තක සිටිය යුතු අය දෙපැත්තට බෙදී ඡන්දය ඉල්ලුවාම කියා වෙනසක් වන්නේ නැත.
මම ජනතා විමුක්ති පෙරමුණට ඡන්දය දෙන්නේ ඔවුන් හොඳ නිසා නොව අනෙක් පක්ෂ තරම් නරක නොවන නිසාය. හොඳ සොයනවාට වඩා නරක අඩු දේශපාලන ව්‍යාපාරයකට ඡන්දය දීම මේ මොහොතේ සිදුවිය යුතු දේශපාලන යුතුකමක් සේ මම දකිමි. ලෝක දේශපාලන තත්ත්වයත්, ලංකාවේ දේශපාලන තත්ත්වයත් අනුව සමාජවාදය තව බොහෝ දුර ඈත බව පෙනේ. සමාජවාදය හැදීමට පෙර රට තුළ හදාගත යුතු බොහෝ දේ තිබේ. මීට වඩා සාධාරණ යුක්ති සහගත පාලන ක්‍රමයක් නිර්මාණය කර ගැනීමේ හැකියාව ජනතා විමුක්ති පෙරමුණ සතු බව මම විශ්වාස කරමි. ඒ මගේ විශ්වාසයයි. ඒ හැර ජනතා විමුක්ති පෙරමුණ සමග කුමන ආකාරයක හෝ සම්බන්ධයක් මට නැත.

No comments:

Post a Comment