Sunday, February 7, 2016

පුරැෂ මූලික සමාජ ඇතුළේ පිරිමියා කියන්නේ දඩයක්කාරයෙක්




ප්‍රේමය නම් රාගයෙන් තොර සඳ එළිය සේ අචින්තයි. පාරිශුද්ධයි. සුරම්‍යයි... කියලා කිව්වම එහෙම ප්‍රේමයක් පවතින්නේ ඇත්තටම කාළඟද කියලා මට හිතුණා. කවුරැ මොනව කිව්වත් මිනිස්සු බැඳෙන්නේ රෑපයත් එක්ක. මං එයාගේ ගතිගුණ වලට කැමති වුණා. මං එයාගේ අදහස්වලට කැමති වුණා කිව්වට ඒ සියල්ල නියෝජනය කරන ශරීරයක් තියෙන්න ඕනෙ. අපි ගනුදෙනු කරන්නේ අදහස්, ගතිගුණ, හොඳ-නරක දරාගෙන සිටින මේ ශරීරය එක්ක. එතකොට ශරීර ගැන අපිට ඇති වෙන්නේ ආශාවක්. ඒක කැතද, ලස්සනද කියන එක සාපේක්ෂ දෙයක්. මේ සමෙන් වැහිලා තියන ශරීරයට කටින් අතදාලා කණපිට ගැහුවොත් මොකද වෙන්නෙ. බඩවැල්, අක්මාව, හදවත, වකුගඩු, පෙනහළු, මොළය, මස්කෑලි වගේ ගැහිගැහී පේනකොට ඒ ශරීරයට අදාරය කරන්න පුළුවන්ද? ඔය අදහස්වලටයි, ගතිගුණවලටයි කැමති වුණේ අපේ ආදරය අධ්‍යාත්මිකයි, පාරිශූද්ධයි කියන අයට කණපිට ගහපු ශරීරයකට අදරය කරන්න පුළුවන්ද. ආදරය කියන්නෙම ලොකු නටුවකින් හැංගිච්ච දෙයක්. අපේ වාසියට රවට්වන පහසු විදිහට නිර්වචනය කරගත්ත දෙයක්. සමහර දවස් වලට මම කණ්ණාඩිය ඉස්සරහට ගිහිල්ලා මගේ සමට යටින් තිබෙන ඇටකටු ස්පර්ශ කරනවා. මුහුණ ස්පර්ශ කරන කොට මිනී ඔළුවක් මැවී පේනවා. දත් තිබෙන උඩුහනුව, යටිහනුව, හිස්කබල, ඇස් කුහර ස්පර්ශ කරමින් මිනී ඔළුවක් ලෙස මගේ හිස දකිනවා. එවිට ඇතිවන කලකිරීම නම් පුදුම සහගතයි. එහෙත් ගිහි ජීවිතේ අතාරින්න තරම් ඒ කලකිරීම් සහගත හැඟීම අවබෝධයට ළං වෙන්නේ නෑ... ලස්සන හමෙන් වැසුන ස්ත්‍රී ශරීර මනස හඹා එනවා. එතකොට මොන ඇටකටුවක් ගැනවත් හිතෙන්නේ නෑ. හමෙන් වැසුණු මේ ජරා ශරීරයට අපි මේ තරම් ආදරය කරන්නේ ඇයි. ශරීරයක් අයිති කරගන්න... ඒ ශරීරය එක්ක ලිංගිකව හැසිරෙන්න. කසාද බඳින්න. දරැවෝ හඳන්න. ගෙවල් හදන්න, වාහන ගන්න, පොරවල් වෙන්න, ලොක්කෙක් වෙන්න, කැපීපෙනෙන්න, ඔබත් මමත් මේ ජීවිත කාලය ඇතුළත මොන තරම් වෙහෙසක් අරගෙන තියෙනද ? ඒත් ඒ වැඩේ තාම ඉවර නෑනෙ. මැරෙනකම් ඉවර වෙන එකකුත් නෑ. ජීවිතේ හරියට විග්‍රහ කර ගන්න බැරි දෙයක් නේද? කවුරැ හරි ජීවිතේ ගැන කියපු දෙයකට, අදහසකට නිර්වචනයකට යටත්වෙලා අපි හදාගත්ත ලෝකය ඇතුළේ ජීවිත් වෙනවා.
ආදරයයි, ලිංගිකත්වයි එක පාරේ යන වාහන දෙකක් වගේ. වෙලාවකට අදාරය ඉස්සර වෙනවා. තව වෙලාවකට ලිංගිකත්වය ඉස්සර වෙනවා. නැත්නම් දෙකම එකට යනවා. හැබැයි පාරවල් දෙකක නෙමෙයි එකම පාරෙ... ලිංගික ආශාවන් සහිත අධ්‍යාත්මික ආදරයක් පවතින්නෙම ලිංගික ආශාව සහිත ආදරයක් තියන හින්දනෙ. ලිංගික ආශාවන් සහිත ආදරයක් නොපවතින තැනක අධ්‍යාත්මික ආදරයක් කියලා විශේෂිකරණය කරලා හඳුන්වන්න දෙයක් නැතුව යනවා. අධ්‍යාත්මික ආදරය කියන්නෙම ලිංගික අංශාවක් සහිත ආදරය යටපත් කිරීමට. ඔය අධ්‍යාත්මික, පරම පිවිතුරැ, උත්තරීතර ආදරයක් නිරපේක්ෂවම තියනවා කියලා හිතන්න මිනිස්සු කැමතියි. මිනිස්සු පරම පිවිතුරැ අධ්‍යාත්මික ප්‍රේමයෙන් ඇවිල්ලා තමයි ලිංගික ආශාවන් සහිත ආදරයට පාර කපා ගන්නේ.
සමහර මිනිස්සු හා ගැහැනු ලිංගික ආශාවන් සහිත ආදරයට එන්නේ මහ පුදුම විදිහට. සමහර පිරිමි කියනවා මට ඔයා මගේ නංගි වගේ. ඔයා මට මගේ අක්කා වගේ. මට නංගිලා නැති හින්දා මම නංගිලාට හරිම ආදරෙයි. ඔයා මට අයිය කෙනෙක් වගේ. ඔයා මට තාත්තා කෙනෙක් වගේ. ගොඩක් වෙලාවට මේ සහෝදර ප්‍රේමය භාෂාවෙන් අරගෙන එන්නේ විවාහවෙලා ඉන්න අය. එහෙමත් නැත්නම් පෙම්වතියක් හරි, පෙම්වතෙක් හරි ඉන්න අය. එයාටල තමයි ඕනෙ උගුරට හොරෙන් බේත් බොන්න. ගෑනු දඩයම් කරන්න ලස්සන වචන... ලස්සන ආකල්ප භාෂාවේ තියෙනවා. ඔය සහෝදර ප්‍රේමයත් ඒ වගේ සංකල්පයක්. මගේ මිත්‍ර‘යෙක් එක් කාන්තාවකට තමන්ගේ අක්කා වගේ කියමින් සහෝදර ප්‍රේමයෙන් බැදී සිටියා. ඇය අතිශ්‍ය රෑමත්. විවාහක කාන්තාවක්. මම මගේ මිත්‍රයාගෙන් මෙහෙම ඇහුව. “කළු පාට මිටි කැත කාන්තාවක් උඹට අක්කා කර ගන්න හිතුනේ නැද්ද* කියලා. යාළුව හිණා වුණා.  මේක මම දන්න මිතුරියකට වෙච්ච වැඩක්. ඇයට පෙම්වතෙක් හිටියා. අවුරැදු පහක ප්‍රේමයක්. ඇය රුකියාවට ගිය ස්ථානයේ වැඩිහිටි පිරිමෙයක් ඇයට මුණ ගැහෙනවා. ඔහු ඇයට ජීවිතය කියලා දෙනවා. ඔයා මගේ නංගි වගේ කියනවා. මගේ මිතුරියක් පෙම්වතා ගැන සියල්ල ඔහුට පවසනවා. ඔහු ආදරය කරන විදිය ගැන උපදෙස් දෙනවා. පෙම්වතාවත් මුණගැහෙනවා. මොහු ඉතා සූක්ෂම විදිහට මගේ මිතුරියව  දඩයම් කරනවා. ඇත්තටම මොහු භාෂා දඩයක්කරැවෙක්. මගේ මිතුරිය පෙම්වතාව අතහරිනවා. පෙම්වතාට හිතාගන්න බෑ මොකද වුණේ කියලා. මගේ මිතුරිය ඔහුට ළං වෙන්නේ ඔහු විවාහකයෙක් බව දැන දැන. ඔහු බිරිඳගෙ අඩුපාඩු මගේ මිතුරිය සමග කියනවා. මට ඕනේ මගේ බිරිඳගෙන් නොලැබෙන ආදරය ඔයාගෙන් ලබාගන්න කියලා කියනවා. මගේ මිතුරිය ඔහුගේ ලණුව ගිලිනවා. මිතුරියව කාලයකට පස්සේ මට හම්බ වෙනවා. ඇය මෙහෙම කියනවා. ආදරය ගැන ඔයා කිව්ව දේවල් හරි. අපි ඉස්සර ආදරය ගැන උඹත් එක්ක කොච්චර තර්ක කළාද ? ආදරය කියෙන්නේ ලිංගික හැඟීමක් නෙමෙයි කියලා. ඒත් අද මට එක් තේරෙනවා කියලා ඇය කියනවා. ඇගේ පෙම්වතා දැන් වෙනත් විවාහයක් කරගෙන. ඇය එදා කිව්වා මම නම් ආපහු ආදරය කරන්නේ නෑ කියලා. මම කිව්වා ඔය කතාව බොරැ, ඔයා ආපහු ආදරයක පැටලෙනව කියලා. ඒ වගේම මාස ගාණකට පස්සේ මම දැක්කා ඇය කොල්ලෙක්ගෙ අතේ එල්ලිලා යනවා. අදහස් වලින් රවට්ටන ශරීරි ප්‍රේමය.
අදහස් කොච්චර සංකීර්ණද කියලා කියනවා නම් මං මේ ලියපු අදහස් ටික නැවත කියවලා වුණත් කාවහරි රවට්ටන්න පුළුවන්.
ඒක තමයි දාර්ශනික රුවැට්ට වීම. ආදරය කියලා දෙයක් නෑ. මේ සේරම බොරැ. අපි මායාවක ඉන්නේ නංගි. ආදරය කියන්නේ ලිංගික හැඟීමකට කියලත් රවට්ටන්න පුළුවන්. දාර්ශනික කතා කියලා ආපසු ගැහැනියක් අන්දවනා නම් ඒ දර්ශනයෙන් ඇති වැඩේ මොකක්ද? කිසිම ගැහැනියෙක්, පිරිමියෙක් අපි දෙන්න ලිංගිකව හැසිරෙමු කියලා එක පාරට යොමු වෙන්නේ නෑ. භාෂාවෙන් හදපු රුවටීමේ දැල එළලා තමයි ගොදුර අල්ලන්නේ. ඒකට ඉතිං පුදුම විදිහට කිචවෙලා, බලුවෙලා දඟලන්න ඕනෙ. පැණි මාමලා වගේ බොරැ ගොඩක් කියාගෙන, අඬාගෙන, වැලපීගෙන, සුරංගනා ලෝක මවාගෙන එන පිරිමින්ට ගෑනුත් කැමතියි. මම එයා එක්ක ලිංගිකව හැසිරෙන්න කැමතියි. ඔයත් මට කැමතිද කියලා අවංකවම කොල්ලෙක් ගැහැනු ළමයෙක්ගෙන් ඇහුවොත් ඒ ගෑනු ළමයා කොල්ලට ගහනවා. නැත්නම් පොලීස්සි ගිහිල්ලා නඩුවක් දානවා. එතකොට අර අඬාගෙන, පැණි කතා, සුරංගනා කතා, දාර්ශනික කතා, සාහිත්‍ය කතා කියාගෙන එන එකාගේ අවසාන අරමුණ ලිංගිකව හැසිරීම තමයි. හැබැයි ඔහු ඒ වෙනුවෙන් වටයක් යනවා. බොරැ වැල් ගොතනවා. ඒක සංස්කෘතියයි. ශිෂ්ටයි කියලා හිතනවා. ලිංගිකව හැසිරීමට ගැහැනුන්ට හේතුවක් ඕනෙ. පිරිමියාට ඔනෙ හේතුවක් නෙමෙයි. අවස්ථාවක්. පිරිමියා ඒ අවස්ථාව ගන්න තමයි පාසලේදී, කාර්යාලයේදී, බස් එකේදී හැම තැනකදීම උත්සහා කරන්නෙ. ඒ අවස්ථාව ගන්න තමයි පිරිමියා ගැහැණිය බලාපොරොත්තුවෙන හේතුව නිර්මාණය කරලා දෙන්නෙ. හේතුව වඩා සංවේදී, නිර්මාණශීලී නම් ගෑනු රුවටෙනවා. ගැහැනිය කියන්නේ රුවටෙන්න බලාගෙන ඉන්න ජීවියෙක්ද කියලා මට හිතෙනවා. ඒ තරම්ම රුවටෙන්න කැමතියි. රුවටිලා පස්සේ අඬන්නත් කැමතියි.
පුරැෂ මූලික සමාජ ඇතුළේ පිරිමියා කියන්නේ දඩයක්කාරයෙක්. ලයිෂන් එකක් දීපු දඩයක්කාරයෙක්. විවාහය කියන්නෙත් තමන් දඩයම් කරගන්න ගොදුරක් සමග ජීවත් වීමක්. මෙසේ ලියන මම ශුද්ද වූ අවංක මිනිසෙක් නෙමෙයි. මා ලියූ සියල්ලට මමත් අයිතියි. මට නම් ඔහොම නෑ... මම හරි හොඳයි... අනිත් පිරිමි තමයි නරක... කියන්න මට බෑ. මම හැඟීම් යටපත් කර ගත්තෙක් මිසක් නැතිකර ගත්තෙක් නෙමෙයි. මෙසේ ලියන මමත් මේ විවේචනයට අදාළ වුණාම ඔබට විශ්වාස කිරීමට දෙයක් නැතුව යනවා. ඒක මේ කියවීම තුළම සිදු වෙනවට මම කැමතිය. මේ කියවීමෙන් පරවාදර්ශයට යන්න ඔන නෑ. මේ කියවීමෙන් දැනුමක් ලබාගන්න ඕනෙත් නෑ. මේ ලිවීම් ඇතුළේ සියල්ල නැති වෙනවට මම කැමැතියි. නැතිවීමත් නැති වෙනවට මම කැමතියි.

No comments:

Post a Comment