Sunday, February 7, 2016

පාරට බැස්සම නාකි මගේ ඔළුවත් අවුල් වෙනවා. එතරම් ලස්සන ගෑනු



මිනිසුන් ආදරයට ළං වන්නේ සංකල්ප හරහායි

පියෙක් දරුවන් දෙදෙනා ගඟට වීසිකර දමා තමන් ද ගඟට පැන්නේය. මෙහිදී දරුවන් දෙදෙනා බේරාගත් නමුත්, පියා මිය ගියේය.  දරුවන්ට ඔහොම දෙයක් කරපු එකට මැරුණු එකම තමා හොඳ. ඔහොම එවුන් ජීවත් වෙලා මොකටද ? තිරිසන් දෙමව්පියෝ  කියා බොහෝ දෙනෙක් පැවසූහ. දරුවන්ට අනුකම්පා කළ ඔවුහු පියාට වෛර කළහ. ස්වභාදහම තුළ ජීවත්වන ඇතැම් සතුන් තමන්ගේ පැටවුන් කා දමන්නෝ.... මරා දමන්නෝය. දුර්වල පැටවුන් විනාශ කිරීම එම සත්ත්වයන්ට සහජයෙන් උරුම වූ දෙයකි. එසේ කළා කියා සත්ත්ව ප්‍රජාව තුළින් විරෝධයන් එල්ල වන්නේ නැත. මිනිසාද සත්ත්වයෙකු වුවද මිනිසා දැන් සංස්කෘතික ජීවියෙකි. මිනිසා පාලනය වන්නේ සහජයෙන් නොවේ. ආගම, නීතිය  හා සංස්කෘතිය තුළින් මිනිසා පාලනය කරයි. එහෙත් මිනිසා සත්ත්වයෙක් නිසා ඔහු තුළ සත්ත්ව ආශාවන්, හැඟීම් යටපත් වී තිබේ. ආදරය මිනිසාට ස්වාභාවික නොවේ. ආදරය මිනිසාට සහජයෙන් ආ දෙයක් නොවේ. සත්තු ද තමන්ගේ පැටවුන් රැකබලා ගනිති... කිරි දෙති... ආහාර ගෙනවිත් කවති... පොවති... එයට අපි ආදරය යැයි නාමකරණය කර ගෙන සිටිමු. මිනිස්සු ද පැටවුන් සාදති... කිරි දෙති... රැකබලා ගනිති. සත්තු එම හැසිරීම ආදරය බව නොදැන සහජයෙන් උරුම වූ ක්‍රියාවලියක් ලෙස එය ඉටු කරති. මිනිසුන් එසේ නොවේ. මිනිසුන්ට ආදරය යනු විශාල සංකල්පයකි. ස්වාභාවික ක්‍රියාවලියට මිනිසුන් අර්ථ සපයා දී තිබේ. මව් ගුණ ගී, පිය ගුණ ගී, මවට පියාට වඳන ගාථා, මාතෘ ප්‍රේමය, පීතෘ ප්‍රේමය, දාරක ප්‍රේමය මොනතරම් වටිනාකමින් යුතු දේවල්ද? මිනිසුන් ආදරයට ළං වන්නේ සංකල්ප හරහායි. මිනිසුන්ට ආදරය ගැන ෆැන්ටසි තිබේ. සතුන්ට එසේ නැත. ස්වකීය වර්ගයා බෝකර ගනු මිස වෙනත් ෆැන්ටසි, සංකල්ප නැත. සැසඳීම් නැත. හොඳ-නරක, පව්-පින් කියා දෙයක් නැත.
තාත්තා දරුවන් ගඟට වීසිකළ පුවතින් මුළු සමාජයම කම්පනයට ලක් වන්නේ දරුවන් ගැන මිනිසා තුළ පවතින සංවේදී හැඟීම් නිසාය. දරුවන් බේරා ගන්නට ගඟට පනින්නේත් ඒ නිසාය. ශිෂ්ටාචාර ගත මිනිස් ඉතිහාසයම සංකල්ප ගත හැඟීම් වලින් වැසී තිබෙයි. එසේ නම් මිනිසෙකු වීමට සංකල්ප තිබිය යුතුය. සංවේදී හැඟීම් තිබිය යුතුය. හැඟීම් විරහිත සමාජය සත්ත්ව ලෝකයට සමීප වෙයි. මිනිසාට සංවේදී හැඟීම් ව්‍යාජව පෙන්විය හැකිය. ලංකාව යනු මේ මොහොතේ හැඟීම් විරහිත සමාජයක් නොව ව්‍යාජ සංවේදී හැගීම් මවා පෙන්වන සමාජයක් බවට පත් වෙමින් තිබේ. සෑම තැනකදීම අපට හමුවන්නේ අව්‍යාජ මිනිසුන් නොව ව්‍යාජ, මවාපාන වර්ගයේ මිනිසුන්ය. රූපවාහිනී තිරයේ නිවේදක නිවේදිකාවන්ගේ සිට නළු නිළියෝ දක්වාම මවා පාන්නේය. ඔවුහු බොරුවට අප වෙනුවෙන් සිනා සෙති. අඬති... හුරතල් වෙති... අපි ද ඔවුන් සමග සිනාසෙමු... හුරතල් වෙමු... දුක් වෙමු... දෙමව්පියෝ ද දරුවෝ ද එකිනෙකා ඉදිරියේ මවා පෑම් කරති. ගුරුවරු ද ශිෂ්‍යයෝ ද පෙම්වතුන් ද එසේමය. අව්‍යාජත්වය අංකභාවය ද මවාපෑම් බවට පත්වී තිබේ. ලොකු බොරුවක් අප ඉදිරියේ තිබේ. වීරයා මැරිලා කියා වීරයෝ වන්නට හදන්නෝ ද මැරී සිටිති. තාත්තා දරුවන් දෙදෙනා ගඟට විසිකරන්නේ මවගේ අනියම් සම්බන්ධයක් ගැන සැක කිරීම නිසාය. දෙමව්පියන්ගේ අනියම් සම්බන්ධතා නිසා දුකට පත්වන්නේ දරුවෝය. අනියම් සම්බන්ධතා සංස්කෘතික විරෝධී... නීති විරෝධී වුවත් මනුශ්‍ය ශරීරය ඉල්ලා සිටින්නේ අනියම් සම්බන්ධයි. මේ නීතිමය රාමුවක් සංස්කෘතික පරිසරයක් නොතිබෙන්නට සියලු මනුෂ්‍ය‘යන්ම බොහෝ ලිංගික සම්බන්ධතා පවත්වනු ඇත. අනියම් සම්බන්ධය යනු මිනිසාගේ අවිඥානික ලිංග ආශාවේ ප්‍රකාශනයයි. මම අනියම් සම්බන්ධතාවට ආශාවක් දැක්වුවත් අනෙකාගේ අනියම් සම්බන්ධතාවලට විරුද්ධ වීම මිනිස් ස්වභාවයි... අනියම් සම්බන්ධතා පවුල් ජීවිත අවුල් කර දමයි.
අවුරුදු හැත්තෑවක පමණ මහලු මිනිසෙක් මට හමු විය. මම ඔහු සමග කතා කළෙමි.  පුතා අපේ තරුණ කාලේ මේ තරම් ලස්සන නෑ. මේ තරම් ලස්සන ගෑනු ළමයි හිටියෙත් නෑ. පාරට බැස්සම නාකි මගේ ඔළුවත් අවුල් වෙනවා. එතරම් ලස්සන ගෑනු. මැරිලා ඉපදෙනවා නම් මේ වගේ කාලෙක තමයි ඉපදෙන්න ඕනෙ* කියා ඔහු කීවේය. ඔහුගේ කතාව ඇත්තය. මානව ශරීරය වර්තමානයේ වඩාත් ලස්සන වෙමින් තිබෙයි. නිවසින් එළියට බසින ගැනු හා පිරිමින්ට හමුවන සුන්දර ශරීර ජීවිතය අවුල් කර දමයි.   මිනිසෙකුට සුන්දර ස්ත්‍රී ශරීර දැනීමෙන් ඇතිවන පශ්චාත්තාපී හැඟීම තාරුණ්‍ය‘යේ අග්ගිස්සේ සිටින මම තේරුම් ගැනීමට උත්සාහ කළෙමි.

No comments:

Post a Comment