Saturday, February 6, 2016

භෞතිකය වෙනස් වුවද ප්‍රේමයේ රිදුම එසේමය





එදා අප පෙම්වතුන් ලෙස හමු වූ බොහෝ තැන්, අද හිතා ගැනීමටත් නොහැකි ලෙස වෙනස්වෙමින්  තිබේ. මියගිය අතීතයේ සොඳුරු සැමරුම් සිහිකරන්නට තැනූ ස්මාරක මතක සිතියමෙන් මැකීයමින් පවතී. මම මතක සිතියම දිගහැර වියැකී ගිය සැමරුම් සිහිවටන සොයමින් අගනුවර පුරා උන්මත්තකයෙකු ලෙස ඇවිදගෙන යමි. වර්තමානය තුළ භෞතික ගොඩනැගීම් විනාශ කර නව ගොඩනැගීම් සිදු කළද, මතකයන් උඩට පැමිණෙන්නේ ආධ්‍යාත්මික හැඟීම් හදවත රිදුම් දෙමින් එකක් පරයා අනෙක උඩ ඒමට දඟලන ලොතරැයි පිංපොන් බෝල මෙනි.
ඔයාට මතකද අපි මුලින්ම හම්බවුණේ මෙතන දී... විහාරමහා දේවි උද්‍යානයේ විසල් ගසක් දෙස බලමින් මම කියමි. එහි තවමත් ගස ඇත. මම සිටිමි. නමුත් ඇය නැත. මා මෙන් ඇය ද හුදෙකලාව මේ විසල් ගස යටට පැමිණ අපේ අතීතය ස්මරණය කරනු ඇතැයි සිතීමට මම ප්‍රියවෙමි. එදා පෙම්වතුන් බොහෝ දෙනෙක් අද විවාහකයෝය. මේ විසල් තුරු ගොමුහි නූතන අයිතිකාරයෝ නව පෙම්වත්හු වෙති. ඔවුහු තුරුගොමු යට වැතීරි ප්‍රේම කරති. අඬති. වැළපෙති. භෞතිකය වෙනස් වුවද ප්‍රේමයේ රිදුම එසේමය. අතීත, වර්තමාන, අනාගත කාලත්‍රය පුරා ප්‍රේමයේ රිදුම හදවත් හරහා හුවමාරුවෙමින් ගමන් කරන්නේය. මා මෙන් මේ නව පෙම්වතුන් අනාගත දිනක අහිමි වී ගිය ප්‍රේමයේ සිහිවටන සොයමින් මේ උද්‍යානය පුරා සැරිසරනු ඇත.
මා අතීතයෙන් මිදී වර්තමාන කුටුම්භය කරා යා යුතුව ඇත. මට පුංචි පුතුගෙත්, බිරිඳගෙත් මුහුණු මැවී පෙනෙයි. අතහැර යා නොහැකි බැඳීම් සංසාරය පුරා රැගෙන ආ පරිද්දෙන්ම මෙවර ද එම බැඳීමෙහි වහලෙකු බවට මම පත්ව සිටිමි. කිසිදු දේශපාලන දර්ශනයකින් විග්‍රහ කළ නොහැකි මේ සංසාරය දුකක්මය. සියලු වෙනස්වීම දුකට හේතු වන්නේමය. කිසිවක් අප සිතන පරිදි හෝ අපට අවශ්‍ය පරිදි සිදු නොවේ. දුකේ මූලය වෙනසයි. වෙනස දරාගැනීමට නොහැකි වීමයි. වෙනස් වීම ලෝක ස්වභාවය වුවද, එම වෙනස දරා ගැනීමට අපට නොහැකිය. හැම නිමේෂයක්ම වෙනස කරා එළැඹ, විනාශය කරා ගෙනයයි. නොවෙනස් වන කිසිවක් නොමැති ලෝකයක වෙනස වෙනුවෙන්  අපි අප්‍රමාණව දුක් වන්නෙමු. වෙනසෙහි අවබෝධය ගෙන යන්නේ නොවෙනස් වන දෙයක් කෙරෙහි නොව, ශූන්‍යත්වය කරාය. ශූන්‍ය වීම යනු කිසිවක් නොමැති වීමයි. යමක් නැත යනුවෙන් අපට සිතෙන්නේ, යමක් ඇත යනුවෙන් අප සිතන නිසාය. එසේ නම් අප නැත යනුවෙන් සිතිය යුත්තේ ඇත යන්නට සාපේක්ෂව නොවේ. ඇති සියල්ලේ නැතිවීම ශූන්‍යත්වයයි. ශූන්‍යත්වයේ අවබෝධය නැවත ඇත යන්න හැඟීම අවසන් කර දමයි. ඇත යන්නත්, නැත යන්නත් දුකට හේතුවන විට ශූන්‍යත්වයේ අවබෝධය නිරාමිස සතුටට හේතුවෙයි. නිවන යනු ශූන්‍යත්වයට පත්වීමේ ගැඹුරු මානසික අභ්‍යාසයක ප්‍රතිඵලයක්ද? 

No comments:

Post a Comment