Sunday, February 7, 2016

අම්මාව මඟහැරීමයි... මඟහැරෙන එකයි, එකක් නෙමෙයි දෙකක්.



අම්මලා වෙනුවෙන් අපි කළ යුත්තේ කුමක්ද ?
සන්නස්ගල සර්ගේ  අම්මා පොත හින්දා ආපහු මට අම්මා  ගැන ලියන්න හිතුනා. හැබැයි සන්නස්ගල සර්ගේ  අම්මා  තාම මට කියවන්න බැරි වුණා. අම්මා කියන්නේ කොහොමත් කියවලා ඉවරකරන්න බැරි ජීවියෙක්. ජීවියෙක් කිව්වට එක සාහිත්‍යයට, අධ්‍යාත්මයට  සම්බන්ධයක් නෑ වගේ හැඟීමක් එනවා. ජීවියා සම්බන්ධ වෙන්නේ විද්‍යාවට.  අම්මා  කියන සංකල්පය භෞතිකයට වඩා ආධ්‍යාත්මයට සම්බන්ධයි. විද්‍යාවට වඩා සාහිත්‍යට සම්බන්ධයි. අම්මා කෙනෙක් දරුවෙක්ව දස මාසයක් කුසේ තියාගෙන මෙලොවට බිහි කරනවා. ඒක ජීව විද්‍යාරත්මක කාරණයක්. ස්වභාදහමේ නියතියක්. හැබැයි භාෂාවක් කතා කරන මානවයෝ වෙච්ච අපි, අම්මා ගැන සංකල්ප නිර්මාණය කරනවා. ලේ කිරි කරලා පොවනවා කියනවා. අම්මාගෙ ආදරය තමයි ලෝකයේ තියන වටිනාම ආදරය කියනවා. මනුෂ්‍ය‘යෙකුට අම්මත් එක්ක ඇති වන බැඳීම වෙනත් සතෙකුට අම්මා සමග ඇතිවන බැඳීමට වඩා වෙනස් වෙන්නේ මනුෂ්‍යා විසින්ම නිර්මාණය කරගත් මේ සංකල්ප නිසයි. වඳුරු අම්මත් තමන්ගේ  පැටියාව කුසේ තියාගෙන  තමයි මෙලොවට බිහිකරන්නේ. ලේ කිරි කරලා තමයි පොවන්නේ. පූස් අම්මත් එහෙමයි... බලු අම්මත් එමෙහයි... කොටි අම්මාත් එහෙමයි. උනුත් තමන්ගේ පැටියට ආදරය කරනවා කියලා හිතේ ඇතිවන හැඟීමකට ආදරය කියලා නාමකරණය කරගන්න මනුෂ්‍යායට තේරනවා. හැබැයි බලු අම්මට, කොටි අම්මට, පූස් අම්මාට නැති දෙයක් මිනිස් අම්මට තියනවා. ඒක තමයි උපතේ ඉඳන් මැරෙන මොහොත දක්වා දරුවන් ගැන තිබෙන බැඳිම. ඒක  දැවැන්ත සංස්කෘතියක්එ. දැවැන්ත සංකල්පයක්. මේ සියල්ල අනෙකාට සන්නිවේදනය කරන දැවැන්ත භාෂාවක් මනුෂයාට තියනවා.
අම්මා කියන දැවැන්ත අධ්‍යාත්මික බැඳිම, ආදරය, වෙළෙන්ඳො බඩු විකුණන්නන් පාවිච්චි කරනවා. කිරි පිටි දැන්වීම් හැම එකකම ඉන්නේ අම්මා. හැබැයි ඒ දර ලිපේ උයන ඇඟපුරා දැලිකුණු ගා ගන්න දරුවෝ වෙනුවෙන් දහ දුක් විදින අම්මලා නෙවෙයි. ඉටි රූප වගේ ඉන්න පොෂ් අම්මලා. කෝලා බීම එක කෑම මේසයට ගෙනත් තියන්නෙත් අම්මා. ඇත්ත අම්මාට අමතරව වෙළෙන්ඳෝ බඩු විකුණ ගන්න හඳපු අම්මා කෙනෙකුත් ඉන්නවා. අම්මත් වෙළඳ වටිනාකමක් කියන සංස්කෘතික භාණ්ඩයක් බවට පත්වෙලා තියනවා. වෙළෙන්ඳන්ට අම්මාව විකුණන්න පුළුවන්. එක එක විදිහට.
මම කියන්නේ නෑ සන්නස්ගල සර් අම්මව විකුණුවා කියලා. විකුණුවාම හම්බවෙන්නේ මුල්‍යයම ලාභයක් නම්, සන්නස්ගල සර්ට අම්මව විකුණලා සල්ල හොයන්න ඕන නෑ. මොකද සර්ට විකුණන්න තව ඕනේ තරම් දේවල් තියන හින්දා.
හැබැයි අම්මව විකුණලා (අම්මා කියන පොත) මූල්‍යමය ප්‍රාග්ධනයක් උපයා ගැනීමට වඩා සංස්කෘතිමය ප්‍රාග්ධනයක් උපයා ගැනීමේ ආශාවක් ඔහුට තියෙන්න ඇති. ඒක ඉතිං නිර්මාණයක් කරන ඕනම මිනිහෙකුට ඇතිවන පොදු හැඟීමක්. සරලව කිව්වොත් සල්ලි කීයක් හරි හොයා ගැනීම වෙනුවෙන් නිර්මාණ කරනවා. නැත්නම් පොරක් වෙන්න නිර්මාණ කරනවා. මොකක් හරි අඩුවක් පුරවා ගැනීමක් තමයි නිර්මාණයක් හරහා සිදුවන්නේ. හැබැයි අපි ඔය දෙකම කියන්නේ නැතුව හංගගෙන වෙන වෙන බොරු කියනවා. මම නම් කියන්නේ වෙන වෙන බොරු කියන්න, හැබැයි මේ දෙක පිළිඅරගෙන බොරු කියන්න. එක්කෝ සල්ලි, නැත්නම් පොරවල් වීම සමාජය වෙනස් කරනවා. ජාතික යුතුකම් ඉටු කරන්න. සමාජ ආදරය උගන්නන්න. ජීවිතයට කැඩපතක් අල්ළලා ජීවිතය පරාවර්ථනය කරන්න. ජීවිතය කියලා  දෙන්න. මේවා තමයි බොරු. හැබැයි මේ බොරු ජීවත් වෙන්න අවශ්‍ය වෙනවා. ඒ කියන්නේ ජීවත් වෙන්න බොරු අවශ්‍ය වෙනවා. හරියටම හිතුවොත් ජීවිතය කියන්නේ මහා බොරුව අමතක කරලා ඒක උඩ ඉඳන් කරන බොරුවලට. බොරු කළා, රැවැට්ටුවා කියලා දුක්වෙනවා වගේ වැඩක්. අත්තිවාරමම බොරු වුණාම ඒක උඩ හදන ගෙය ගැන කවර කතාද?
සන්නස්ගල සර්ගේ %අම්මා^ කියවලා ගොඩක් අය අඬලා තිබ්බා. ඒ තමන්ගේ අම්මා ගැන මතක්වෙලා. ජ.වි.පෙ ලාල් කාන්ත සහෝදරයත් අඬලා තිබ්බා. බොහොම හොඳයි. අම්මව අමතකවෙලා, අම්මව මගහැරලා, අම්මව තනිකරලා හිටපු හැමෝම අඬන්න ඕනේ. සන්නස්ගල සර් කියනවා ගොඩක් අයට අම්මාව මඟහැරිලා කියලා. ආර්ථික ප්‍රශ්න නිසා අම්මව මඟ හැරෙන දරුවෝ ඕන තරම් ඉන්නවා. අම්මට හිතේ හැටියට සලකගන්න බැරුව හිතේ දුක තදකරගෙන ඉන්න දරුවෝ ඉන්නවා. පසුගිය දවස්වල පරිපූරක වෛද්‍යවරුන්ගේ වර්ජනය හින්දා බෙහෙත් ගන්න බැරුව ආණ්ඩුවේ ඉස්පිරිතාලවල වේලිච්ච අම්මලව අපි දැක්කා. එක අම්මා කෙනෙක් බෙහෙත් ගන්න පෝලීමෙ හිටගෙන ඉන්නකොට මැරිලා වැටුණා. පෞද්ගලික රෝහල් වලින් බේත්ගන්න බැරි දරුවන්ට ඒ වෙනුවෙන් මුදලක් වියදම් කරන්න බැරි අම්මලා බේත් නැතුව දහදුක වින්දා. අම්මලා විතරක් නෙවෙයි, පොදුවේ හැමෝම ගොඩක් අය හිතනවා ආදරය කරන් සල්ලි මොකටද කියලා. සල්ලි ඕන කරන්නේ ආදරය කරන්න නෙවෙයි, ජීවත් වෙන්න. ජීවත් වුණොත් තමයි ආදරය කරන්න පුළුවන් වෙන්නේ.... ජීවත් වෙන්න සල්ලි නැති මිනිස්සුන්ට ආදරය විකුණලා සල්ලි හොයන මුදලාලිලත් ඉන්නවා. සල්ලි නැති මිනිහට ආදරය විකුණන්නේ මොකටද..... ආදරයෙන් ජීවත් වෙන්න බෑ සල්ලි නැතුව... බඩේ බත් නැතුව... බඩේ  බත් නැති මිනිහට රටේ වැල් බයිලා  ගහලා ආදරය විකුණනවා.
අම්මාව මඟහැරීමයි... මඟහැරෙන එකයි, එකක් නෙමෙයි දෙකක්. අම්මව මඟහැරලා තමන්ගේ ජීවිතවල සතුට හොයාගෙන යන, ඒ වෙනුවෙන් ලක්ෂ ගණන් සල්ලි විසිකරන දරුවන්ට උපුල් සර්ගේ අම්මා කියවලා ආපහු තමන්ගේ අම්මට ළං වෙන්න පුළුවන්.
හැබැයි ආර්ථික ප්‍රශ්න නිසා අම්මාව මඟහැරෙන දරුවන්ට උපුල්ල සර්ගේ පොත කියලා අඬන්න විතරයි පුළුවන්. මොකද අම්මාව මඟහැරෙන එකට විසඳුමත් උපුල් සර්ගේ පොත කියවලා ලැබෙන්නේ නැතිහින්දා. ආපේ බහුතරයක් දරුවෝ කැමතී අම්මලව, තාත්තලට හොඳට සලකන්න. හොඳ කෑම-බීම, ඇඳුම්-පැලදුම් අරන්දෙන්න. තමන්ගෙම වාහනයක දෙමාපියන්ව එක්කගෙන යන්න. ඒත් ඒ දේවල් කරන්නෙ කොහොමද ?  දරුවෝ ජීවත් වෙන්නෙත් අන්තිම අමාරුවෙන්. ඒ නිසා  දෙමාව්පියෝ මැරුණාම දරුවෝ දුක්වෙනවා. අනේ ! අපිට පුළුවන් විදිහට කලානේ කියලා සැනසෙන්න හදනවා. මේ ඇත්ත ප්‍රශ්නෙට විසඳුම උපුල් සර්ගෙ අම්මා කියෙව්වාම හම්බවෙන්නේ නෑ. උපුල් සර්ගේ අම්මා ආපහු අපිට ඉතුරු කරන්නේ උණු කඳුළු විතරයි. හැමෝම අඬලා නතර වෙනවා. අම්මලා දහදුක විඳිනවා. දරුවෝ දිහා උපේක්ෂාවෙන් බලාගෙන ඉඳලා මැරිලා යනවා. මට කරුණාකරලා කියන්න අම්මලා වෙනුවෙන් අපි මේ මොහොතේ මොකද්ද කරන්න ඕනේ කියලා. ආදරය කරන එකද? දේශපාලනය කරන එකද ?

No comments:

Post a Comment