Wednesday, February 24, 2016

ජීවිතය කියන්නේ කනබොන, අඳින පලඳින එකටද?



ප්‍රශ්නවලින් තියෙන ලොකුම ප්‍රශ්නය මොකක්ද? ලොකුම ප්‍රශ්නය තමයි ජීවිතය යනු කුමක්ද? කියන එක. ජීවිතය කියන්නේ කනබොන, අඳින පලඳින එකටද? ඉගෙන ගෙන රස්සාවක් කරලා කසාද බැඳලා ළමයි හදන එකටද? ඇත්තටම මොකක්ද මේ ජීවිතේ තේරුම. ඉපදෙනවා, මැරෙනවා. මැරුණම සේරම ඉවරයි. ජීවිතේ අර්ථය කුමක්ද කියලා අපි හිතන්න පටන් ගන්නවා. අපේ සිතීම නවත්තන්න තැනක් ඕනේ. ජීවිතේ අර්ථය ගැන හිතාගෙන හිතාගෙන ගියාට නවතින්න තැනක් නෑ. ආගම විසින් නවතින්න තැනක් හදලා තියෙනවා. බුදු දහම නිවන ළඟ නැවතුණා. දේව ආගම් දෙවියන් වහන්සේ ළඟ නතර වුණා. සිතීමේ කෙළවරක් හැදුවා. දෙවියන් වහන්සේ තමයි කෙළවර ඉන්නේ. නිවන තමයි අවසානය. සිතීමේ අවසානය.
මේක මහා පිස්සුවක්නේ... ඉපදෙනවා, හිටපු ගමන් මැරෙනවා. මොකක්ද මේ වෙන්නේ... මිනිහා කියන්නේ කාටද? මොකක්ද එයාට තියෙන විශේෂත්වය. සත්තු ස්වභාවය තුළ ඉපදිලා ස්වභාවය තුළ මැරිලා යනවා. මිනිස්සු හිතනවා මරණයෙන් පස්සේ මොකද වෙන්නේ කියලා... දෙවියො ගාවට යනවද? ඇයි මිනිස්සු උපදින්නේ... ඉපදීම තමා දුක. ඉපදීම නවත්තන්න ඕනේ. භාවනා කරලා නිවන අවබෝධ කර ගන්න ඕනේ. ස්වභාවය තුළ ස්වාභාවික විදිහට මැරෙන්න මිනිස්සුන්ට බෑ. අපායට යයිද? දිව්‍ය ලෝකෙ යයිද? ස්වර්ගයට යයිද? හිතීමෙන් හදාගත්ත දේවල් ගොඩයි. භෞතිකයට කෙළවරක් හදන්න බෑ.
භෞතිකයේ කෙළවර පිළිගැනීමට මිනිස්සු සූදානම් නෑ... මරණයෙන් පස්සේ මොනවත් නෑ... සේරම ඉවරයි... පිළිගනීද? නෑ... එතනින් එහා දෙයක් ඉල්ලන විඥානවාදය අවසානයක් හැදුවා. දෙවියන් වහන්සේ, නිවන. මරණයෙන් පස්සේ අර්ථයක් හැදුවා. පිළිගන්න පිළිගන්න...
ජීවිතය යනු කුමක්ද?... හරියට විශ්වය වගේ කෙළවරක් නෑ... අවසානයක් නෑ... විශ්වය ගැන හිතාගෙන හිතාගෙන යන කොට පිස්සු වැටෙනවා... ඇයි නවතින්න තැනක් නෑ... කොතනද සීමාව? කොතනද අවසානය? ජීවත් වෙනකොට අපිට නවතින්න තැන් ඕනි වෙනවා... ප්‍රේමය අවසන අර්ථයෙන් පිළිඅරගෙන ප්‍රේම කරනවා. නවතිනවනේ... ප්‍රේමය පිළිනොගත්තොත් නවතින්න පුළුවන්ද? බෑ... ආදරය පිළිගන්නවා.... නතර වෙනවා, අධ්‍යාපනය පිළිගන්නවා... නතර වෙනවා, කලාව, දේශපාලනය පිළිගන්නවා නතර වෙනවා... නතර වෙන තැන් හරියට අම්බලන් වගේ තාවකාලිකයි. ස්ථිර නෑ...
මම නතර නොවී හිතනවා.. ප්‍රේමයේ, ආදරයේ, කලාවේ, දේශපාලනයේ අවුල පේනවා... මාත් ආසයි නතර වෙන්න. ඒත් බෑ... සිතීම කරණම් ගහනවා... විකාර ලෝකයක් පේනවා.. අසරණකමක් දැනෙනවා.. පාළුවක් දැනෙනවා.. පුදුමාකාර වේදනාවක් දැනෙනවා.. ජීවිතේ කියන්නේ මොකක්ද?

No comments:

Post a Comment