Monday, February 8, 2016

අනාගතය ඔබට හිසනමා ගෞරව කරන්නෙත්, වෛර කරන්නෙත්, ජනවාරි 08 ඔබ ගන්නා තීරණය මත බව දැනගන්න





“අපේ තාප්පයට හේත්තුකර තිබූ කෙක්ක අල්ලපු ගෙදර කවුරුන් හෝ රැගෙන ඔවුන්ගේ වත්තේ ගහකට හේතුකර තිබුණේය.  අපේ කෙක්ක අර මිනිස්සු අරගෙන අඩුගානේ අපෙන් අහලා ගන්න තිබ්බානේ.... මහ පුදුම මිනිස්සු, කිසිම චාරයක් නෑ.... ලොකු කමනේ  කියා බිරිඳගේ පියා කෝපයෙන් කෑගසනු මට ඇසුණේය.  
අපේ මිනිස්සු පුංචි දේවල් වෙනුවෙන්, පුංචි අසාධාරණකම් වෙනුවෙන් ලොකුවට විරෝධය පාති. එහෙත් මහා අසාධාරකම් දැක දැක අඳගොළු බිහිරන් සේ නිහඬ වෙති.
එහා ගෙදර මිනිහා අපිට නොකියා ගත්තේ කෙක්ක විතරය, එහෙත් වර්තමාන ආණ්ඩුව අපිට නොකියා අපෙන් බොහෝ දේ අරගෙන තිබේ. අල ගෙඩියට, ලූනු ගෙඩියට පවා බදු ගසා දුක් මහන්සියෙන් අපි උපයන මුදල සූරාගෙන ආශ්චර්ය මවා පෙන්වති. අපට නොපෙනෙන ලෙස රාජ්‍ය දේපළ කෝටි ප්‍ර‘කෝටි ගණනින් හොරා කති. අපිට නොදන්වා මානව අයිතිවාසිකම් පැහැර ගනිති. එහෙත් විරෝධයක් නැත. මගේ බිරිඳගේ පියාගේ විරයා මහින්ද රාජපක්ෂය. අපට නොකියා කෙක්ක ගත්, එහා ගෙදර මිනිහාට තරම්වත් විරෝධයක් ජනාධිපතිතුමා ගැන නොදන්වයි. කෙක්ක ගත් මිනිහාගේ සධාචාරය ගැන විමසන ඔහු ජනාධිපතිතුමාගේ හෝ ආණ්ඩුවේ සදාචාරය ගැන නොවිමසයි. වයස අවුරුදු අසූවක් පමණ වන මේ මහලු මනුස්සයා නූගතෙක් නොවේ. ඉංග්‍රීසි භාෂාවෙන් අධ්‍යාපනය ලැබූ අධ්‍යාපන අමාත්‍යාංශයේ රැකියාවක් කළ පුද්ගලයෙකි. එහෙත් ඔහුගේ විචාර බුද්ධිය ගැන ගැටලුවක් තිබේ. ඔහු ඇසට පෙනෙණ, තමාට ඇසෙන දෙය සත්‍යය යැයි සිතා ප්‍රතිචාර දක්වන්නෙකි. එසේ වන්නේ ඇයි? මෙහෙම කියන්නේ ඇයි ? මෙහෙම කියන්නේ අරෙහම හින්දනේ කියා නොසිතයි.
ඔහු වඩා ප්‍රියතාවයක් දක්වන්නේ ජාතික රූපවාහිනියේ හා අයි.ටී.එන්. එකේ ප්‍රවෘත්ති නැරඹීමටයි. ඔහු ජනාධිපතිතුමාගේ කතාද, විමල් වීරවංශගේ කතාද ආසාවෙන් බලා සිටිනු මම දැක ඇත්තෙමි. ජාතික රූපවාහිනියේ හා අයි.ටී.එන්. එකේ ප්‍රවෘත්ති අතිශයින්ම අන්තවාදීය. ආණ්ඩුවට පක්ෂපාතීය. අවම මාධ්‍ය සදාචාරයක් නොරකින්නේය. ලෝකයේ ස්වාධීන මාධ්‍ය නොමැති වුවත් මෙතරම් අන්තවාදී, ගෝත්‍රවාදී, මිලේච්ච ස්වරූපයෙන් ජනමාධ්‍ය හසුරවන්නේ ඒකාධිපතියෙක් සිටින රටවල පමණයි. මෙවැනි ආකාරයේ ප්‍රවෘත්ති දෙස බලා සිටිය හැකි මිනිසුන්ගේ සාධාරණය බුද්ධිය පිළිබඳ ගැටලුවක් තිබෙන බව නොපිළිගෙන සිටින්නේ කෙසේද? අයි.ටී.එන්. ප්‍රවෘත්ති හිට්ලර්ට නැරඹීමට ලැබුණේ නම් &තමුසේ කළේ මොන මඟුලක්ද ඕයි* කියා ගොබෙල්ස්ට බණිනු ඒකාන්තය. ආණ්ඩුවට ඡන්දය දෙන බුද්ධිමත් රාජ්‍ය මාධ්‍යයේ ම්ලේච්ච තුප්පහි සාදාචාර පිළිගන්නවාද ? මගේ බිරිඳගේ පියා මෙන් කට ඇරගෙන අයි.ටී.එන්. ප්‍රවෘත්ති බලමින් ඒවා පරම සත්‍ය සේ සිතමින් දේශප්‍රේමී වින්දනයක් ලබන සුවහසක් ජනයා මේ ලංකාදීපයේ ජීවත් වන්නෝය. ඔවුන් සිතා සිටින්නේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති උවහොත් රටේ යුද්ධයක් නැවත ඇතිවෙයි කියාය. දෙමළ සංධානයට උතුර දෙයි කියාය. හකීම්ට නැගෙනහිර වෙනම පාලනයක් දෙයි කියයි. අධ්‍යාපනය මුදල් ගෙවා ලාබා ගැනීමට සිදුවනු ඇති කියාය. බටහිර අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයකින් රට අරාජිත වනු ඇති කියාය. ඇමරිකන් සෙබළු රට ආක්‍රමණය කරනු ඇත කියාය. ජනාධිපතිතුමා විදුලි පුටුවට ගෙන යනු ඇති කියාය. ඒ තරම් දැවැන්ත බිල්ලෙක් මවා තිබේ. දැන් අපි ඒ බිල්ලට බය වී ජනාධිපතිතුමාට ඡන්දය දිය යුතුව තිබේ. ජනවාරි හය හත වනවිට තවත් භයානක බිල්ලන් මවනු ඇත. බය වෙන්න, බය වෙන්න, බයවෙලා බුලත් කොළේට කතිරය ගසන්න කියනු ඇත.
මගේ බිරිඳගේ පියා වැනි උගතුන්ට මෙය නොවැටහෙන්නේ ඇයි කියා මට නොතේරෙයි. පොල් කඩන ගුණේට, දවසේ කුලියට ගෙවල්වල වැඩට යන පියදාසට මෙය නොවැටහුණාට ගැලුටවක් නැත. එහෙත් ප්‍රාචීණික උගතුන් මේ අශිෂ්ට පාලනය අනුමත කරමින් කතා කිරීම බරපතළ ගැටලුවකි. ඇතැම් උගත්හු කලාකරුවන් ආණ්ඩුවෙන් ලැබෙන වාසි, ප්‍ර‘යෝජන, තනතුරු, තානාන්තර වෙනුවෙන් කඩේ යති. එහෙත් ඒ කිසිවක් නොලැබ ජනමාධ්‍ය මගින් ...... ව්‍යාජ දේශප්‍රේමි මතවාදයන් චූන් වී ආණ්ඩුවට පක්ෂව කතා කරන බිරිඳගේ පියා වැනි පුද්ගලයන් ගැන මට ඇත්තේ දුකකි, කනගාටුවකි, ලැජ්ජාවකි. මේ මහලු මිනිස්සු ජීවිත කාලයම රජයේ සේවයට කැපවී වැඩ කළහ. අවංකවම තම රාජකාරිය ඉටු කළහ. සොච්චම් වැටුපක් ලැබුවෝය. දරුවන්ට ඉගැන්වීමත්, ජීවිතය පවත්වා ගැනීමට ආහාර සඳහා වියදම් කළා හැරෙන්නට වෙනත් සැපතක් නොලැබූවෝය. යාන වාහන, මහා මාලිගා නොගත්තෝය. දැනට ලැබෙන සොච්චම් විශ්‍රාම වැටුපද බෙහෙත්හේත්, චැනල් දොස්තරලා සඳහාද වියදම් කළ පසු සුවපහසු ජීවිතයක් සඳහා මුදලක් ඉතිරි නොවේ. ඔවුන්ටත් වඩා ඛේදජනක ඉරණමකට ඔවුන්ගේ දරුවන් වන අපි මුහුණ දෙමින් සිටිමු. ඔවුන්ගේ සොච්චම් විශ්‍රාම වැටුපෙන් මුදලක් අප වෙනුවෙන්ද වියදම් කරති. මේ සියලු ඛේදජනක අත්දැකීම් විඳිමින් ඒ සියල්ල කරුමයට බාර දී &අපි මේ ලබා උපන් හැටි* කියා මනුෂ්‍ය ජීවිත ඛේදවාචකයක් බවට පත් කළ පාලකයන්ට කතිරය ගසමු. මීට වඩා යහපත් ජීවිතයක් පිළිබඳ අත්දැකීමක් අපට නැත. &කවුරු ආවත් මෙච්චර තමා, කවුරු ආවත් හොරකම් කරනවා කියන්නේ ඒ නිසාය. එබැවින් පත්කර ගන්නා හොරුන්ට වැඩිය පත්වී සිටින හොරුන් හොඳ වී තිබේ.
කුඹුක්ගැටේ දී කලාකරුවන්ට පහරදීම හරිද කියා මම බිරිඳගේ පියාගෙන් ඇසුවෙමි.  ඒක වැරදියි, හැබැයි ඕවා ජනාධිපතිතුමා කියල කරන දේවල් නෙමෙයිනේ.. ජනාධිපතිතුමා ඕවා දන්නෙවත් නැතුව ඇති* බිරිඳගේ පියාට අනුව ජනාධිපතිතුමා හරි හොඳය. නරක, ජනාධිපතිතුමාගේ වටේ ඉන්න අයයි. වටේ ඉන්න අයගේ නරකට ජනාධිපතිතුමා පලිනැත. වර්තමානයේ ඕනෑම වැරැද්දක් නිර්දෝෂවීමට අතීතයේ වැරදි ඕන තරම් තිබේ. සරත්චන්ද්‍ර මහත්තයාට කාණු පල්ලේ දමා පහර දුන් නිසා වර්තමාන කලාකරුවන් ගුටිකෑවට කමක් නැත. චන්ද්‍රලේකලාට, රූකාන්තලාට, අනෝජා විරසිංහලාට සිදුවූ කරදර කියමින් වර්තමාන කලාකරුවෝ තව කොපමණ කාලයක් ගුටි කා යුතුද කියා පවසන්න. සමනලී ෆොන්සේකා ගුටි කෑ බව පෙන්වමින් කර ඇත්තේ බොරුවක් බව අයි.ටී.එන්. ජාතික රූපවාහිනියේ පෙන්වන විට, බිරිඳගේ පියා සතුටු වෙයි. හිටපු ජනාධිපතිනිය වූ චන්ද්‍රිකා ප්‍රභාකරන්ට %මිස්ට ප්‍රභාකර^ කීම ගැන දේශප්‍රේමයෙන් ලේ රත්කරගෙන ඇයට බැණ වදියි. එහෙත් ජාත්‍යන්තරව කොටින්ට අරමුදල් රැස් කරදෙමින් අහිංසක ජනයා බෝම්බවලින් කැබලි බවට පත්කරන්නට දායක වූවෝයි අද සිටින්නේ කොහෙද කියා අමතක කරති. කේ.පී. , කරුණා, පිල්ලෙයාන් අයි.ටී.එන්. එකට අනුව අද කොටි නොව පූසන්ය. චන්ද්‍රිකා කොටි දෙනය. මේ සත්‍ය පිළිගැනීමට අද අපට බලකරමින් තිබේ. අධිවේගී මාර්ග, වරාය, ගුවන් තොටුපොළ, නෙළුම් කුලුනු, ව්‍යායාම් මංතීරු, ආකේඩ්, රුපියල් දෙසීයට ආප්ප විකුණන කඩ සංවර්ධනය වෙයි. මේ සංවර්ධන සහනයන් පිළිගැනීමට බලකරමින් තිබේ. කෘෂිරසායන ද්‍රව්‍ය භාවිතයෙන් ලක්ෂ ගණන් මිනිස්සු වකුගඩු රෝගීන් බවට පත්වී ආකාලයේ මියැදෙමින් සිටිති.  කෝටි ගණන් වියදම් කරමින් අඩි සීයට ගැසූ ජනාධිපතිතුමාගේ කටවුටු හන්දි ගානේ තබා තිබේ. රෝහල්වල බෙහෙත් නැත. වෛද්‍ය උපකරණ නැත. පරීක්ෂණ පෞද්ගලික තැන්වලින් කරගෙන ඒමට ලියා දෙයි. %ඒ^ තුනක් ගත්තද ඉඩපහසුකම් නැති නිසා විශ්වවිද්‍යාලවරම් අහිමිය. ආත්ම ගෞරවයක් ඇතිව ජීවත්වීමට පඩිය මදිය. මේ ආසියාවේ ආශ්චර්යයි. &විධායක බලය සහිත ජනාධිපතිවරයෙක්* මා නම් ඒවා දන්නෙ නෑ කියා මගහැර යා හැකිද? සියලු පහරදීම්, මිණී මැරුම්, දූෂණ වංචා ජනාධිපතුමාගේ උපදෙස් පිට නොකෙරෙන බව ඇත්තය. එහෙත් ඉහත වැරදි සම්බන්ධව නීතිය හරියට ක්‍රියාත්ම නොවන්නේ කාගේ වරදක් නිසාද? ෆයිල් තියනවා කියමින් හොරුන්, දූෂිතයන්, මැරයන් බැඳගෙන තබාගෙන සිටින්නේ කවුද ? ආණ්ඩුවෙන් පැන්නාම හොර වෙන, මිනීමරුවන් වෙන එකා ආණ්ඩුව ඇත්ළේ සිටිද්දී උපාසකයා දේශප්‍රේමියාය.
මෙවැනි පාලන ක්‍රමයක් කොන්දේසි විරහිතව ප්‍රතික්ෂේප කළ යුතු නැද්ද ? මෛත්‍රී යුගය සුපිරිසුදු, අවංක යුගයක් බිහිකරන්නේ නැති බව අපි දනිමු. අතිශයින් බිහිසුණු ඛේදජනක ඉරණමක් කරා ඇදී යන අපගේ ජීවිත ඉන් ගලවා ගත හැකි දියුණු දේශපාලන ව්‍යාපාරය ජනතා විමුක්ති පෙරමුණ පමණි. එහෙත් ඔවුන්ට බලයක් ලබාදීමට බිරිඳගේ පියා වැනි මනුෂ්‍යන් අකමැතිය. ජේ.වී.පී. කිවූ සැණින් ඔවුහු 88–89 යුගයට යති. ඕකුන් කරපුවා අපිට මතක යැයි කියති. ජේ.වී.පී. බලයට පැමිණියහොත් අතීතයේ වේදනාකාරී ජීවිත ගත කරනවා. අප වැනි පීඩිතයන්ගේ ජීවිත ලස්සන වන බව මම දනිමි.  එහෙත් අවාසනාවට ජීවිතයේම ජ.වි.පෙ. ප්‍රතික්ෂේප කරති. මගේ පියා ගැන මම සතුටට පත්වන්නේ ඔහුට සමාජ සාධාරණත්වය ගැන අදහසක් ඇති නිසාය. තමන්ගෙ අයියා ජ.වි.පෙ. විසින් 88-89 කාලයේ මරා දැම්මද ඔහු ජ.වි.පෙ. ඡන්ද දෙන්නේය. මොනවා උනත් ජ.වි.පෙ. විතරයි ඇත්ත කියන්නේ කියා කියයි. අතීත වෛරයෙන් ජ.වි.පෙ. දිහා නොබලයි. ඒ ප්‍රගතිශිලීත්වය, ඒ දැක්ම වර්තමානයට අවශ්‍ය වී තිබේ. මගේ බිරිඳගේ පියාට එක යෝජනාවක් මම කරමි. මේ යුක්ති සහගත අසාධාරණ ව්‍යාජ ආශ්චර්ය මායාවෙන් පිස්සු වට්ටනු ලැබූ රටක මියැදෙන්නට පෙර, මීට එරෙහි වූවකු ලෙස අභිමානයෙන් මියැදෙන්ට හිතන්න. එවිට මගේ දරුවා සීයා ගැන ආඩම්බර වනු ඇත. එවිට අනාගත පරපුර නගන අදෝනා සහගත වේදනාවන්ට වඩා වග නොකියනු ඇත. ජනවාරි 08 අපි ගන්න තීරණය තීරණාත්මකය.  අනාගතය ඔබට හිසනමා ගෞරව කරන්නෙත්, වෛර කරන්නෙත්, ජනවාරි 08 ඔබ ගන්නා තීරණය මත බව දැනගන්න.

No comments:

Post a Comment