Sunday, February 7, 2016

අම්මා ගැනත්, වැස්ස ගැනත් මම ලීවෙමි... තවත් බොහෝ දේ ලියන්නට තිබේ..........


 
 
වර්ෂා කාලය පැමිණ තිබේ. හොඳින් ඉර පායා තිබෙන පැහැදිලි අහසට වඩා කළු පාට වලාකුළු වලින් බර වූ අඳුරු අහසට මම බොහෝ සෙයින් ප්‍රියවෙමි. හම ස්පර්ශ කරමින් ඇද වැටෙන සීතල වැහි බිදු අමුතු ආස්වාදයකින් හිත පුරවයි. කුඩා කල මම වැස්සට ප්‍රිය වූයේ උදෑසන අධික වැසි වැටෙන විට පාසල් නොයා යුතු බැවිණි. කුඩා කලම මා රාත්‍රි‘යේ නින්දට යන්නේ  අනේ ! හෙට උදේට වැහැපන්^ යන සිතුවිල්ලෙනි. රාත්‍රී නින්දට වැටී පාන්දර යාමයේ ඇස් හරින විට වහලට වැටෙන වැහි බිදුවල හඬ මට කියන්නේ අද පාසල් නොයා යුතු බවයි. එළිය වැටුණු පසු කාමරයේ කොට ජනේලය අරින අම්මා ඇඳ අසලට කිරි කෝප්පය ගෙනැවත් දෙන විට &හොඳටම වහනිවා නේද ?* කියා ආසාවෙන් මම අසන්නෙමි.  මොන වැස්සක්ද ? හොඳටම ඉර පායලා... අර පේන්නෙ නැද්ද ?* කියා අම්මා කොට ජනේලයෙන් පායා එන ඉර දෙස බලා කියන්නීය.
කොට ජනේලයෙන් පාන්දර යාමයේ එබිකම් කරන ඉරට මම බොහෝ සෙයින් වෛර කළෙමි. ඇතැම් දිනවල කොට ජනේලයෙන් පෙනෙන වර්ෂාව දෙස බලා මම අතිශයින් සතුටට පත්වී  අද නම් හොඳටම වහිනවා නේද?* කියා අම්මාගෙන් අසන විට මගේ සූත්තරය ගැන දන්නා  අම්මා වැස්සට ඉස්කෝලේ යන්න පුළුවන් හා... හා... නැගිටිනවා* කියා කෑගසන්නීය. සංසාරයම එපා වූවෙකු ලෙස ඇඳෙන් නැගිටින මා පාසල් යාමට සූදානම් වෙන්නේ පායා එන ඉරට සාප කරමිනි. මස් කඩයට දක්කාගෙන යන හරකෙකු සේ අම්මා මා පාසලට ඇදගෙන යන්නීය. අම්මා පාසලට ඇරලවා ගිය පසු මට මහා තනිකමක් හා පාළුවක් දැනෙයි. ගෙදර මතකයට පැමිණ දුකින් හුස්ම හිරවෙයි. පාසලෙන් පැන ගෙදර යාමට සිතෙයි. අම්මා මතකයට නැගී දෑස් කඳුළින් පිරෙයි. පාසල් පොත්වල පිටකවරයේ මගේ නමත්, පාසලත්, පංතියත් අම්මාගේ අත් අකුරින් ලියා තිබෙයි.
අම්මාගේ අත් අකුරු දකින විට අම්මා මතකයට නැගී පාසල තුළ මම අනන්තවත් හඬා ඇත්තෙමි. පාසල ඇරෙන විට අම්මා ගේට්ටුව අසලට පැමිණ සිටින්නීය. පාසල ඇරී මා අම්මා අසලට දුවගෙන එනවිට අම්මා ඉස්සී ඉස්සී මා කොහෙදැයි කියා සොයන්නීය. අම්මාගේ අතේ එල්ලෙන මම හයිලෙවල් පාර දිගේ නිවසට පැමිණෙන තෙක්ම අම්මාගේ අත අතහරින්නේම නැත. නිවසට පැමිණෙන විට ගෙදර සිටින පූසන් ද, ගස්වල සිටින කපුටන් ද, ගිරවුන් ද, මයිනන් ද මදෙස බලා  අනේ ! මම ලබන ආත්මයේ පූසෙක්, මයිනෙක්, ගිරවෙක්, කපුටෙක් වෙලා ඉපදියන්^ කියා ප්‍රාර්ථනා කරන්නේ උන් පාසල් නොයන බැවිනි. උන් මොන තරම් වාසනාවන්ත සත්තුන් දැයි මම එකල සිතුවේ පාසල් යාම මට අතිශය වේදනාකාරී එපා වුණ අත්දැකීමක් වූ නිසාය.
බොහෝ දෙනෙක් පාසල් කාලය ජීවිතයේ සුන්දරතම කාලය ලෙස හැඳින්වුව ද මට නම් ජීවිතයේ අසුන්දරම කාලය පාසල් කාලයයි. එක් වරක් මම තුනේ පංතියේ සිටියදී ද පාසල් යාම අතහැර දමා ගෙදරට වී සිටියෙමි. සැර-වැර කිරීමෙන් ද, ගුටි බැට දීමෙන් ද මා පාසල් යැවිය නොහැකි වූ තැන අම්ම හඬා වැටුණාය. අම්මා මගේ කේන්දරය රැගෙන කේන්දරකරුවන් පසු පස ගියාය. අපල දුරු වෙන්නට බෝධි පූජා තිබ්බාය. අහල පහල වැඩිහියෝ පැමිණ &අනේ ! පුතේ, ඕලෙවෙල් වෙනකම්වත් ඉස්‍කෝලෙ යන්න ඕනෙ නේද ?* කියා මට උපදෙස් දුන්නේය. පාසල් ගුරුවරියක් නිවසට පැමිණ මා පාසල් නොයාමට හේතුව සොයා බැලුවාය. මා විශ්වවිද්‍යාල උපාධිය ලබා ඡායාරූපය දෙස බලමින් අම්මා මගේ අතීත සිදුවීම් මතකයට නගා දැනුදු සිනාසෙන්නීය. විශ්වවිද්‍යාලයට තේරීපත් වී මා එහි ගියේ තනිවමය. අනෙක් සියල්ලෝම වෑන් රථ වලින් දෙමව්පියන් ද, නෑදෑයන් ද සමග විශ්වවිද්‍යාලයට පැමිණ සිටියෝය. විශ්වවිද්‍යාලයට තේරී පත්වූ බව සඳහන් ලිපිය අමතක වී ගෙදර දමා ගොස් තිබූ නිසා ගේට්ටුවෙන් ඇතුළට වීමට නොහැකිව එළියේ සිටියදී වෙනත් ශිෂ්‍ය‘යෙකුගේ සහෝදරයෙකු ලෙස පෙනී සිටිමින් මම විශ්වවිද්‍යාලයේ ඇතුළට ගියෙමි. එවකට සිටි ජ්‍යෙෂ්ඨයෝ මා ශිෂ්‍ය‘යෙක් කියා නොපිළිගත්තේය. දෙමාපියන් සමග පැමිණි සිටි මා මිතුරු මිතුරියන්ගේ සතුටු සිනා මුහුණු මට අද මෙන් මතකය. හොස්ටල් එකට පැමිණි දෙමව්පියෝ තම දරුවාට වෙන් කරගත් ඇඳ අසලට පැමිණ බඩු බාහිරාදිය තබමින් කතා බහ කරන ආකාරය දෙස මම බලාගෙන සිටියෙමි.
ඇතැම් දෙමව්පියෝ එදින තම දරුවන් නේවාසිකාගාරයට ඇරලවා ගම් බිම් බලා පිටව ගියේ කඳුළු පිරි දෙනතින්ය. මම ද නේවාසිකාගාරයේ ඇඳක් වෙන්කර ගෙන වාඩි වී සිටියෙමි.  අද හැමෝම හොස්ටල් එකේ නැවතිය යුතු* යැයි ජ්‍යෙෂ්ඨයෝ පැවසුවද එදින මම හොස්ටල් එකෙන් පැන ගෙදර ආවෙමි. එදා සිට ඇඳක් වෙන්කර තිබණද හොස්ටල් එකේ ස්ථීර පදිංචියට මම නොගියෙමි. විභාග කාලවලදීත්, ඇතැම් දිනවලදීත් හැරෙන්නට අනෙක් අවස්ථා ලද විගස මම ගෙදර එන්නෙමි. ඒ අම්මාව නොදැක සිටින විට හිත අවුල් වන නිසාය. තනිකමක්, පාළුවක් දැනෙන නිසාය. විශ්වවිද්‍යාලය තුළ පෙම්වතියක් මුණ ගැසුණ ද, පසුව ඇය බිරිඳ වුවද අම්මා සමග ඇති ආත්මීය බැඳීම වෙනසක් නොවන්නේමය. මම අම්මාටත්, තාත්තාටත් වැඳ ඇත්තේ අතේ ඇඟිලි ගණනටත් අඩුවෙන්ය. අලුත් අවුරුද්දටවත් මම දෙමව්පියන් නොවඳිමි. මම කුඩා කලදීවත් අම්මා මට වඳින්න කියා නොකිව්වාය. ආදරය තිබෙන්නේ වැදීම තුළ නොවන බව අම්මා වටහා ගෙන තිබෙන බව මම දනිමි.  හොඳ පුරුදු ඔයාලගෙ අම්මලා, තාත්තලා ඔයාලට කියලා දීලා නෑ* කියා බිරිඳ කියන විට,  මගේ දරුවෙක් වුණත් මට වඳින්න ඕන නෑ* කියා මම කියමි. මම රෝගී වී ආහාර නොගෙන සිටින විට අම්මාද ආහාරපාන නොගනියි. මට ලෙඩ වන විට අම්මා ද ලෙඩ වෙයි. අම්මා සෑම පෝය දිනකම සිල් සමාදන් වෙයි. නිර්මාංශ ජීවිතයක් ගත කරයි. අම්මා කිසිදු දිනක මස් වර්ග නොකෑ නිසා මම ද ජීවිතයේ කිසිදු දිනෙක මස් වර්ග ආහාරයට නොගත්තෙමි.
දැනුදු මට මාළු හැරෙන්නට මස් වර්ග කෑමටත්, කටු සූප්පු කරමින් මස් කන මිනිසුන් දෙස බලා සිටීමටත් නොහැකිය. එය පව්-පින් හෝ ආගමික චර්යාවෙන් ආ දෙයක් නොව අම්මාගෙන් ආ පුරුද්දක් නිසා සිදු වූ දෙයකි. විවාහ වී වෙනම නිවසක මම ජීවත් වුණද දැනුදු මම අම්මා සොයා යන්නෙමි. කුඩා කළ අම්මා ගැන උපන් අනුකම්පා සහගත ශෝකී සිතිවිල්ල දැනුදු මගේ සිතේ එලෙසම තිබෙයි. මම අම්මාට ආදරෙයි කියා කිසිදු දිනෙක කියා නැත. ඉදිරියට කියන්නේද නැත. අම්මා ද එසේය. මට මතක ඇති කාලයක අම්මා ද මට ආදරෙයි කියා පවසා නැත. එහෙත් ඇය ආදරය ඉක්මවා ගිය අප්‍රමාණ වූ හැඟීමකින් මා දෙස බලා සිටින බව මම දන්නෙමි. මහ ගෙදරට ගොස් නැවත මා පැමිණෙන විට අම්මා කළුවරේම මා පසුපස පාර අයිනට පැමිණ ඈතට යන මා දෙස බලා සිටින්නීය. මුදල් හිඟ පාඩු ඇති වූ කල කොහේ හෝ සඟවා තබාගෙන සිටින දාහේ කොළ මට දෙන්නීය. මගේ මුදල් පසුම්බිය මේසය උඩ තිබෙන විට එය ඇර බලා එහි මුදල් යහමින් නොමැති විට අතිශය දුකට පත්වන අම්මා මට සල්ලි දෙන විට මම එපා කියමි. එහෙත් ඇය කෙසේ හෝ පෙරැත්ත කර සල්ලි මට දෙන්නීය.
මීට වසර කිහිපයකට පෙර මා රැකියාව කළ ස්ථානයේ ඔස්ට්‍රේලියානු ජාතික තරුණයෙක් සිටියේය. එක් දිනක් මමත් එම ආයතනයේ සේවය කළ රියදුරාත් දහවල් ආහාරය ගනිමින් සිටියදී අප අසලට ආ ඕස්ට්‍රේලියානු ජාතික තරුණයා කෙසෙල් කොළ වල ඔතා තිබූ අපගේ බත් පාර්සල්  දෙස හොඳින් බලා ඒවා කොහෙන්ද කියා ඇසුවේය. මම  ගෙදරින්* යැයි කියන විට,  ඔයාලා කෑමත් හදාගෙනද එන්නේ* කියා ඔහු අසන විට මම  නෑ... මේ කෑම හදල දෙන්නේ අම්මා* කියා කීවෙමි. අවුරුදු හතලිස් පහක් වූ රියදුරාගේ බත් පාර්සලය ද අම්මා හදා දෙන බව ඇසූ විට ඔහු පුදුම වුණේය.  උඹලට තාමත් කෑම හදලා දෙන්නේ අම්මාද ?* කියා ඉහනිකට පැහැණු රියදුරාත් කදබඩ මහත මා දෙසත් බලමින් සුද්දා සිනාසුනේය. අප රටේ ජීවත් වන දහසකුත් අම්මලා හෙට දිනත් උදේ පාන්දර නැගිට කුස්සියට වැදී දරුවන් වෙනුවෙන් ආහාර සාදන්නෝය. දරුවන් වෙනුවෙන් සියලු දහදුක විඳින අම්මලා දරුවන්ගේ දරුවන් වෙනුවෙන්ද ඒ දුකම විඳින්නෝය.
දැනුදු පාන්දර යාමයට වර්ෂාව ඇද වැටෙයි. මා අසල නිදා සිටින බිරිඳගේ මුහුණ දෙස බලන  මම  අද නම් වැඩට යන්න බැරි වෙයි... ඔන්න ඔහේ ගෙදර ඉන්න* කියා මම කියමි.  පිස්සුද ගෙදර ඉඳලා බෑ... වැඩ ගොඩක් තියෙනවා අද* කියා ඇය ඇඳෙන් නැගිටියි. මට ද  කෑ ගසා නැගිට්ටවයි. වයසින් මුහුකුරා ගියද වර්ෂාවත් සමග බැඳී තිබෙන මගේ අලස සුවය වින්දනය කිරීම මානසිකත්වය කුඩා කල මෙන් තවමත් පවතින්නේය. අම්මා ගැනත්, වැස්ස ගැනත් මම ලීවෙමි... තවත් බොහෝ දේ ලියන්නට තිබේ..........

No comments:

Post a Comment