Saturday, February 6, 2016

අප තල්ලු වෙමින් යන්නේ මනුෂ්‍යයන් ලෙස ජීවත් විය හැකි සමාජයක් කරා නොවේ.

අප තල්ලු වෙමින් යන්නේ මනුෂ්‍යයන් ලෙස ජීවත් විය හැකි සමාජයක් කරා නොවේ.

රට ආශ්චර්ය වේගෙන එන්නේ දැන්ය. දෙමාපියන් නංගීට වැඩියෙන් ආදරය කරනවා යැයි කියා දහතුන් හැවිරිදි අක්කා හය හැවිරිදි නංගීට පිහියෙන් ඇන මරා දමන්නීය. අම්මාත්, තාත්තාත් දරුවා බෙදා ගැනීමට රණ්ඩු වී එහෙනම් දරුවා උඹටත් නෑ... මටත් නෑ කියා අවුරුදු එකහමාරේ දරුවා පොළොවේ ගසා මරා දමන්නේ තාත්තාය. මේ මොන මිනිසුන් ජීවත්වන සමාජයක් දැයි මට සිතෙයි. මේවා හුදෙකලා සිද්ධීන් ලෙස ගෙන මග හැර යා හැකිද ? දිනෙන් දින අමානුෂික ප්‍රචනණ්ඩත්වයක් අනෙකා හරහා මුදාහැරීමට සමාජය යොමුවෙයි. එහි උපරිම අවස්ථාවට ආශ්චර්යමත් ලංකාව දැන් පත්වී තිබෙයි. හතර දෙනෙකුගෙන් යුත් පවුලක් ජීවත්වීමට පනස් දාහක් අවශ්‍ය බව පවසන්නේ විපක්ෂය නොවේ... සතුටින් ජීවත් විය යුතු පවුල් ජීවිත අසතුටින් පිරීයයි. සල්ලි හොයන්නට අම්මලා, අක්කලා, නැන්දලා, පුංචිලා, නංගිලා, තාත්තලා, අයියලා, මල්ලිලා පිටරට යති.
මේ මහ පොළොවේ මසකට පනස් දාහක් ලැබිය හැකි රැකියාවල් කීයක් තිබේදැයි කියා මම නොදනිමි. උපාධිධාරී ගුරුවරයෙකුග් වැටුප විසිහතර දහසකි. විසිහතර දහසකින් මසක් ජීවත් විය නොහැකි නිසා උදේ පාසලේ උගන්වා රෑ නමය දහය වනතුරු ටියුෂන් දෙන ගුරුවරු ඕනෑ තරම් මෙහි සිටිති. පවුල සමග ආදරයෙන් ගත කළ යුතු සංස්කෘතික ජීවිතය අපේ මිනිසුන්ට වේගයෙන් අහිමි වී යයි. නිවී සැනසිල්ලක් නැත... විවේකයක් නැත... සියල්ලෝම බිසී වී සිටිති. බිසී ජීවිතයෙන් මිදී බෝතල් වටා එකතු වන්නේ එවිටය. පවුල් ජීවිතය තුළ නොමැති සැනසීම අරක්කුවල තිබේ යැයි බොහෝ දෙනෙක් සිතති. ඒ නිසා සෙට් වෙති... කති... බොති... එහෙත් සැනසීමක් නැත. මා දන්නා බොහෝ දෙනෙක් දැන් ජීවත් වන්නේ ජීවිතය අතහැර දැමූවන් ලෙසය. &මට ප්‍රෙෂර් තියෙනවා, කොලස්ට්‍රෝල් තියනවා, ෂුගර් තියෙනවා, මම නම් බේත් බොන්නෙ නෑ... අරක්කු බොනවා. මැරෙන වෙලාවට මැරෙයි මචං. ගෑනි නම් කියනවා අඩු ගානේ ළමයි ලොකු වෙනකම් හරි ජීවත් වෙන්න ඕන නේද කියලා. මොකටද බං ඉක්මනට මැරිලා ගියාම සේරම ඉවරයි* මේ එක මිත්‍රයකුගේ වෙරිමත අදහසකි.
&උඹ හිතනවද ඔය ලොකු වාහනවල යන එවුන් සතුටින් ඉන්නවා කියලා... පිස්සුද ? උනුත් වටේටම ණයවෙලා අමාරුවෙන් ගේම ගහගෙන තමා ඔහොම ඉන්නේ. ගේම හරියට ගහන්න ඕනේ. අනිකා ගැන හිත හිතා දුක් වෙවී මානුෂික වෙලා ජීවත් වෙන්න බෑ. ගේ ඇතුළෙ මේ මොහොතේ අපිට ජීවිතයක් නෑ. ජීවිතේ තියෙන්නේ ගෙයින් එළියෙ. එතන තමයි ගේම තියෙන්නේ. ඒ ගේම හරියට ගහ ගත්තොත් ගොඩේ ගොඩ* ඒ තවත් මිත්‍ර‘යෙකුගේ වෙරිමත අදහසකි.
&උඹ මීයෙක් ගුල ඇතුළටවෙලා ඉන්නවා වගේ ගේ අස්සටවෙලා ඉන්නවා. එළියට වරෙන්, ඇයි උඹ හැංගිලා ඉන්නේ? එළියට නාවොත් උඹටත් වෙන්නේ ගේ අසස්ටවෙලා මැරිලා යන්න* ඒ තවත් මිත්‍ර‘යෙකුගේ වෙරිමත අදහසකි.
මම අලුත උපන් පුංචි පුතාගේ මුහුණ සිප ගනිමි. &හැමදාම ඔහොම පුතාගෙ මූණ ඉඹ ඉඹ ඉඳලා හරියන්නෙ නෑ. ජීවත් වෙන්න තව මොනව හරි කරන්න. ගේ ඇතුළටවෙලා ඉන්න එපා, එළියට යන්න* බිරිඳගේ ගෝරනාඩුව දැන් මට හුරුය. හැමෝටම අවශ්‍ය ජීවත් වීමට තවත් මොනවා හරි කරන්නටය. ඒ කරන දෙය ජීවත් වීමට තරම් ප්‍රමාණවත් නොවන නිසාය. එකල සමාජවාදී සමාජ ක්‍රමයක් පැවති රුසියාවේ වැඩ කරන පැය අට පැය හය දක්වා අඩු කොට, සංස්කෘතික ජීවිතයක් ගත කිරීමට කම්කරු ජනයාට අවස්ථාව ලබාදුන් බව මම දනිමි. මිනිසුන් අමනුෂ්‍යයන් බවට පත්කරන්නේ සමාජ ක්‍රමය මිස, වෙන කිසිවක් නොවේ. උදේ සිට රෑ වන තුරු බණ කීවත් මේ සමාජ ක්‍රමය තුළ නරුමයන්, හොරුන්, මිනීමරුවන් බිහිවීම වැළැක්විය නොහැකිය.
පාරට බැස්ස විට මිනිසුන් හරි සතුටින් ජීවත් වනවා යැයි බැලූ බැල්මට පෙනෙයි. එහෙත් ආර්ථික අස්ථාවරභාවය, ඉච්ඡාභංගත්වය, සැකය, කුහකත්වය, මිනිස් ජීවිත වසාගෙන සිටියි. ගුවන්තොටුපොළ, වරාය, හයිවේ කොතෙක් සෑදුවත් මිනිස් ජීවිත නරකාදිය වෙත ගමන් කරන්නේ ඒ නිසාය. තාත්තලා දරුවන් පොළවේ ගසන්නේ වරායවල්, හයිවේ හදන නිසාද කියා ඔබ මගෙන් අසනු ඇත. රටේ වැඩි බරක් දෙන්නේ භෞතික සංවර්ධනයටය. එයද ගජ මිතුරු පවුල් සංවර්ධනයක් වන්නේය. සමස්ත ජනයාට ප්‍රතිලාභ ලැබෙන සංවර්ධනයක් නොවන්නේය. නැති එකා නට්ටන් වන සංවර්ධනයක් වන්නේය. පොදු ජනයාට තිබෙන්නේ දැනීමෙන් ඇතිවන සතුට පමණි.
මේ කාලයේ විවාහ වීමට තරුණ තරුණියන් සොයන්නේ සල්ලිකාරයන්ය. ආදරය, සෙනෙහස ඉවරය. පට්ට කෑලි හා සිරා පොරවල් ධනවතුන් විය යුතුය. සල්ලි නොමැති නම් ජීවිතයක් නැති බව සියල්ලෝම අවබෝධ කරගෙන සිටිති. ඔයා හොඳ ජොබ් එකකට යන්න, නැත්නම් අපේ ගෙදරින් කැමති වෙන එකක් නෑ. මේ වර්තමාන තරුණයාට පෙම්වතියගෙන් ලැබෙන පොදු උපදෙසයි. පනස් දාහක්වත් මසකයට ලබාගත හැකි රැකියාවක් වර්තමාන තරුණයා සොයා ගත යුතුය. එසේ නොවන විට ජීවිත විශාල හිස් කඩකින් ජීවත් විය යුතු ජීවිතවල ආත්මගෞරවය නැති වී යයි. අනෙකාට වෛර කරයි. ඊර්ෂ්‍යා කරයි. අප තල්ලු වෙමින් යන්නේ මනුෂ්‍යයන් ලෙස ජීවත් විය හැකි සමාජයක් කරා නොවේ.

No comments:

Post a Comment