Tuesday, February 9, 2016

විද්‍යාඥයා සොයන්නේ මායාවේ සත්‍යයයි





ජීවිතය යනු රැවටීමකි. ජීවිතයට අයත් සියලුම ප්‍ර‘දේශ රැවටීමට අයත් වෙයි. ශරීරයේ සැබෑ ස්වරූපය සමෙන් වසාගෙන අපිව රවටන්නේය. අපි සමට රැවටී ස්ත්‍රී පුරුෂයන් පසුපස දිව යන්නෙමු. එහෙත් සම වෙනම ගලවා දුන්නොත් අපි ඊට කැමති නොවෙමු. කත්‍රිනා කයිෆ්ගේ ශරීරයට පිරිමි කැමතිය. ඇගේ ශරීරය කණපිට ගසා දුන්නොත් පිරිමින් පැත්තවත් නොබලා දුවන්නෝය. මේ කත්‍රිනාගේ බඩ බොකුය, මේ කත්‍රිනාගේ වකුගඩුය, මේ කත්‍රිනාගේ පෙනහළු, මේ කත්‍රිනාගේ මොළය යැයි කියා වෙන වෙනම කොටස් ගලවා දුන්නොත් ආදරයෙන් ඒවා බදා වැලඳ ගන්නේ කවුරුන්ද? එහෙත් මේ සියලු ශරීර කොටස් සුසිනිඳු රන්වන් පැහැයෙන් වසා ඇති විට එම ශරීරය බදා වැලඳ ගැනීමට පුරුෂයෝ ප්‍රිය වෙති. ආශා කරති. මනසින් රමණයේ යෙදෙති.  රමණයේ යෙදෙන විට බඩ බොකු, ඇට මිඳුළු, සෙම් සොටු සිහියට නොනැගෙන්නේය. මේ නම් දිව්‍යම ශරීරයක් යැයි සිතෙයි. දැන දැනම කුණු ශරීරයකට රැවටෙයි. එසේ නොරැවටී ජීවත් වියද නොහැකිය. ජීවත් වෙනවා නම් අනිවාර්යෙන්ම රැවටිය යුතු වෙයි.
ඒ ශරීරයේ පිටත හා ඇතුළත අප රවටන විදියයි. ඇසද අප රවටන්නේය. අපේ ඇසට පෙනෙන ආකාරයට ලෝකය පවතින්නේ නැත. අපේ ඇසට පෙනෙන දෙය ඒ ආකාරයෙන්ම නොපවතියි. මේසය, පුටුව දෙස අතිශය දියුණු කරන ලද අන්වීක්ෂයකින් බැලූ කළ කුඩා පරමාණු අංශ එහි පෙනෙනු ඇත. එවිට මේසය යනු අපේ ඇසට පෙනෙන ආකාරයට සකස් වී තිබෙන ද්‍රව්‍යයකි. ඇසට නොපෙනන මානය අපට අන්වීක්ෂයකින් පෙන්වයි. සියලු ඇස් අන්වීක්ෂ බවට පත් වූ විට ලෝකයට කුමක් සිදුවේවිද? අන්වීක්ෂ, දුරේක්ෂ සාදා ඇත්තේ අපේ ඇසට සාපේක්ෂව අපේ ඇසට නොපෙනෙන දේ බලා ගැනීමටය. එනම්, පෙනෙන දේ නොපෙනන පැත්ත බලා ගැනීමටය. අභ්‍යවකාශයේ ආලෝක වර්ෂ ලක්ෂ ගාණක් පවතී. එහි තිබෙන තාරකා අපට නොපෙනන්නේ දුර නිසාය. එහෙත් දුරේක්ෂය දුර ප්‍රමාණය ජය ගන්නේය. දුරේක්ෂයේ හෝ අන්වීක්ෂයේ පෙනීම ජය ගන්නේ ඇසට නොපෙනීම මිස, පෙනීම යනු කුමක්ද, දර්ශනය වීම යනු කුමක්ද යන්න නොවේ. එවිට මේසයද මේසයේ පරමාණු අංශුද මායාවට යටත් වෙයි. සමස්තය දර්ශන වීම හා ඇසට පෙනීම මායාවක් නම් විද්‍යාඥයා සොයන්නේ මායාවේ සත්‍යයයි. මේසයේ දර්ශනය වීම බොරුවක් නම් මේසයේ පරමාණු අංශු ගැන සෙවීමෙන් ඵලක් නැත. මනසින් පිටත භෞතික ලෝකය සත්‍ය වශයෙන්ම පවතින්නේ නම් සියලු සත්ත්වයන්ට ලෝකය එකම විදිහට පෙනිය යුතුය. එසේ නොවී එක් එක් සතුන්ට ලෝකය එක එක විදිහට පෙනෙයි. සමහර සතුන්ට වර්ණ නොපෙනෙයි. කළු, සුදු පාටින් ලෝකය පෙනෙන ආකාරයට සාපේක්ෂව අපි ලෝකය නිර්මාණය කරගෙන ඇත. ඇසට නොපෙනෙන ආහාර ගැන අපි නොදනිමු. ඇසට නොපෙනන නිසා නොපවතින බව විශ්වාස කළ හැකිද?
රැවටීමෙන් ප්‍ර‘දේශ තුළ රවට්ටමින්, රැවටෙමින් අපි ජීවත් වන්නෙමු. බොරු කියා රැවැට්ටවීමට වඩා රැවටීමත් අපේ ජීවිත තුළ තිබේ.

No comments:

Post a Comment