Sunday, February 7, 2016

සල්ලි කියන්නේ ජීවිතය නෙමෙයි කියලා පණිඩිතයෝ කිව්වට, සල්ලි නැත්නම් ජීවිතයකුත් නෑ කියලා මිනිස්සු දන්නවා.



ලංකාවේ පෞද්ගලික මාධ්‍ය ආයතන සියල්ලම පාහේ ගොඩ නැගී තිබෙන්නේ ජනතාවට සේවා කිරීමේ ජනතාවාදී මූලයෙන් නොව කෙසේ හෝ ලාභ ලැබීමේ අරමුණෙනි. ලාභය ඉපැයීම වෙනුවෙන් මාධ්‍ය ආයතන ජනතාවාදී මානුෂික වෙස් මවාගෙන ජන සමාජය තුළ හැසිරෙමින් ජනතාව රවට්ටන්නේ දේශපාලනඥයටත් වඩා සූක්ෂම ආකාරයටය.
එක් අතකින් එය රැවටීමක් නොව ධනවාදී සමාජයක ස්වභාවය මෙය යැයි පෙන්වා දීමක් වන්නේය. මාධ්‍ය ආයතනවල මූලික අරමුණ ලාභ ලැබීම නම් ලාභය වෙනුවෙන් සියලු දේ පෙළ ගැස්සවීම වැරැද්දක් නොව ස්වභාවයක් වන්නේය. වැරැද්දක් නම් එය නිවැරදි කර ගැනීමේ විභවයක් මාධ්‍ය ආයතන සතු විය යුතුය. එහෙත් එවැනි විභවයක් මාධ්‍ය ආයතන සතු නොවන්නේ එය වැරද්දකට වඩා සමාජ ක්‍රමය විසින්ම ඇති කරන ස්වභාවයක් වන නිසාය.
රූපවාහිනී නාලිකා ලාභ ලැබීමට නම් ජනතාව අතර ජනප්‍රිය විය යුතුය. ජනතාවට වැඩි වශයෙන් නරඹන නාලිකාවල රේටින් හෙවත් ජනතාව වැඩ සටහන් නරඹන ප්‍රතිශතය ඉහළ යයි. එවිට වෙළෙඳ සමාගම් එම නාලිකා වලට වෙළෙඳ දැන්වීම් ලබා දෙයි. එවිට නාලිකාවේ ආදායම ඉහළ යයි. ඒ නිසා පෞද්ගලික රූපවාහිනී නාලිකා, ගුවන් විදුලි නාලිකා ජනතාව අතර ජනප්‍රිය කරවීමට නොකරන දෙයක් නැත. ඔබ නරඹන්නේ ස්වර්ණවාහිනිය නම්, රාත්‍රී කාලයේ ස්වර්ණවාහිනියෙන් නිවසට පැන මෝටර් සයිකලයක් තෑගි දෙයි. ස්වර්ණවාහිනී තිරයේ හරහට යන කාර් එක ගණන් කර එස්.එම්.එස්. කළ පසු අවසන් මහා තරගයට තේරී පත් වී සුපිරි මෝටර් රථයක් දිනා ගැනීමේ වාසනාව උදාවෙයි. දැන් නාට්‍ය බැලිල්ල කෙසේ වෙතත් තිරය හරහා යන කාර් එක ගණන් කිරීමට මිනිස්සු ස්වර්ණවාහිනිය බලයි.
හිරු නාලිකාවත් ගෙවල් වලට පැන නරඹන්නේ හිරු නම් සල්ලි දෙයි. මග තොටේදී හම්බවෙලා මොන චැනල් එකද අහන්නේ කියලා අහනවා. එතකොට ඉතිං හිරු කිව්වොත් සල්ලි තමයි. දෙරණත් සල්ලි බෙදනවා. සිරසත් සල්ලි බෙදනවා. පත්තරත් තව ටික දවසකින් සල්ලි බෙදයි. තමන්ගෙ පත්තරේ බල බල ඉන්නවා නම් ඒ බලන මනුස්සයාට සල්ලි කීයක් හරි දීලා ෆොටෝ එකක් ගහලා පත්තරේ දායි. අපේ පත්තරේ කියෙව්වොත් සල්ලි තමයි කියලා. චැනල් වලින් බෙදන මේ සල්ලි හම්බවෙච්ච මිනිස්සු ඒ සල්ලි අතට අරගෙන පිස්සුවෙන් වගේ කියවන ඒවා ඇහුවම හිතෙනවා මිනිස්සුන්ට සල්ලි මොනතරම් වැදගත්ද කියලා. සල්ලි කියන්නේ ජීවිතය නෙමෙයි කියලා පණිඩිතයෝ කිව්වට, සල්ලි නැත්නම් ජීවිතයකුත් නෑ කියලා මිනිස්සු දන්නවා. මේ කාලේ සල්ලි කියන්නේ ජීවිතය තමයි. සල්ලි නැති මිනිහාගේ ජීවිතය අමුඅපායක්.... ඛේදවාචකයක්....
සල්ලි තියනවා නම් ලෙඩක් හැදුනම ආණ්ඩුවේ ඉස්පිරිතාලවල පෝලිම්වල ඉන්න ඕනෙ නෑ. දොස්තරලා, නර්ස්ලා වර්ජනය කළා කියලා ප්‍රශ්නයක් නෑ... බේත් නැති වෙන්නෙ නෑ... බේත් නොදී ඉන්නෙත් නෑ... සල්ලි තියනවා නම් පෞද්ගලික රෝහලක සුපිරි කාමරයක ඒසී දාගෙන ටී.වී.එක බලාගෙන කරුණාවන්ත දොස්තරලාගේ, නර්ස්ලාගේ ප්‍රතිකාර ලබාගෙන හෝටලයක ඉන්නවා වගේ ඉන්න පුළුවන්.
හොඳට මතක තියාගන්න. ආණ්ඩුවෙ ඉස්පිරිතාලවල ඔබ අද දුක් විඳින්නේ සල්ලි නැති හින්දා කියලා. සල්ලි තිබ්බ නම් මොකටද කොන්දොස්තර ළමයාගෙන් බැණුම් අහ අහා පොල් පැටෙව්වා වගේ හිරවෙච්ච ප්‍රයිවට් බස්වල යන්නේ... ගන්නවනෙ කාර් එකක්. සල්ලි තිබ්බ නම් මොනවටද රජයේ විශ්වවිද්‍යාල වලට ගිහිල්ලා... උද්ඝෝෂණ කරලා... පොලීසියෙන් ගුටිකාලා... හරියට කෑමක් බීමක් නැතුව අමාරුවෙන් ඉගෙන ගෙන නිතරම අරින වහන කැම්පස්වල ලඟින්නේ... ලක්ෂ ගණන්වලට උපාධි දෙන කැම්ස් ඔය ඕනතරම් තියෙන්නේ.
එහෙම නැත්නම් උපාධිය ගන්න යනවනේ පිටරට. ඔය තියෙන්නේ ඔස්ට්‍රේලියාවෙ ඕන තරම් උපාධි කඩ. මොකටද මෙහෙ පරිප්පු කන්නේ. උපාධිධාරී ගුරුවරයාගේ මාසික පඩිය විසිහතරදාහයි. මං කියන්නේ ළඟදි උපාධි ගුරු රස්සාවකට ගිය මගේ මිත්‍ර‘යගෙ වැටුප ගැන. ළමයි ඉස්කොලෙ යවන්න ඕනේ. කන්න බොන්න ඕනේ. අදින්න ඕනේ. බස් ගාස්තු, ලෙඩක් දුකක් හැදුනොත් මරණ ගෙයක්, මඟුල් ගෙයක් ආවොත්? තනියෙන් ගියත් මඟුල් ගෙදරකට ගියත් රුපියල් දෙදාහක්වත් නොදී පුළුවන්ද ? මුළු පවුලටම මඟුල කිව්වොත් විනාසයි.
කමක් නෑ මචං... පැන්ෂන් එක තියනවනේ... පැන්ෂන් එක තියනවා කියලා සොච්චම් වැටුපක් අරගෙන හිත හදාගෙන අමාරුවෙන් ජීවත්වෙන රජයේ සේවකයාට හිරු අහන්නේ කියලා දහ පහළොස් දාහක් හම්බ වෙනකොට සතුටු නැද්ද අප්පා... හතර වටේටම ණයවෙලා ණය ගෙවා ගන්න බැරුව දරුවෝ තුන් දෙනෙක්ගේ අම්මා කෙනෙක් නිල්වලා ගඟට පැනලා මැරුණා.
ණය වෙච්ච මිනිස්සු ඒ ණය ගෙවා ගන්න බැරුව ගං වලට පනින්න ගත්තොත්, මළ මිනී වලින් ගංගා වැහිලා යයි. ඒ තරමට ණයකාරයෝ.. ඔන්න ආසියාවෙ ආශ්චර්යය. දැන් තියෙන්නෙ ආත්ම ගෞරවය, සදාචාරය, ප්‍රතිපත්ති අරවා මේවා සේරම වීසි කරලා දාලා නොපමාව සල්ලි හොයන්න. සල්ලි කියන්නේ ජීවිතය නෙමෙයි කියලා කියන්නේ සල්ලි තියන අය. සල්ලි නැති එකාට ජීවිතය වෙන්නේ සල්ලි තමයි... අතේ සතේ නැති මිනිහට චැනල් වලින් ගෙදරට සල්ලි ගෙනත් දෙනවා නම් සතුටු නැද්ද?
ටී.වී.චැනල් ජනප්‍රිය කරවන්න හා කරන අලුත්ම ප්‍රවර්ධන වැඩ සටහන තමයි සර්වඥ ධාතු වන්දනාව. කවර කාලෙකටත් වඩා මේ කාලේ මිනිස්සු ආගමික, ජාතික උමතුවකින්, සිහිය විකල් කරගෙන ඉන්නවා. මේ විකල් වූ සිහියෙන් ප්‍ර‘යෝජන ගන්නේ දේශපාලනඥයෝ විතරක් නෙමෙයි. මාධ්‍ය ආයතනත් ප්‍ර‘යෝජන ගන්නවා. සර්වඥධාතුන් වහන්සේ වන්දනා කරන ප්‍ර‘මෝෂන් ප්‍රෝග්‍රෑම් එකත් ඒ වගේ රැවටීමක් තමයි. ඔය චැනල්වල අයිතිකාරයන්ට සුදු රෙදි බැනියම් ඇඳගෙන මරු කියවන චැනල්වල ලොක්කන්ට නිවේදක නිවේදිකාවන්ට සර්වඥධාතූන් වහන්සේලාගෙන් ඇති වැඩක් නෑ. ජනයා බුරුතු පිටින් රැස් වෙනවා නම්, එච්චරයි දේශපාලනඥයාට ඕනෙ. බලය ලබා ගන්න පොදු ජන කැමැත්ත. චැනල් වලට ඕනේ ලාභය ලබා ගන්න පොදු ජන කැමැත්ත. ධාතු වැඳලා පොදු ජන පිරිමි ගෑනු චැනල් වලට පින් දෙන හැටිත්, ඒ ඒ නාලිකා වලින්ම පෙන්නවා. මිනිස්සුන්ගෙ ආධ්‍යාත්මික ආගමික වස්තු චැනල් කාරයෝ කැත විදිහට පාවිච්චි කරනවා. මේ චැනල් දළඳා හාමුදුරුවො ප්‍රදර්ශනය කිරීමේ අයිතිය ලබා ගත්තත් මම නම් පුදුම වෙන්නෙ නෑ. කවුරු වුණත් හොඳ දෙයක් කරනවා නම් ඒක විවේචනය කරන්නේ මොකටද? ටී.වී. චැනල් ධාතුන් වහන්සේලා ප්‍රදර්ශනය කරන එක හොඳයිනේ. මෙහෙම හිතන මිනිස්සු තමයි වැඩිපුර ඉන්නේ. මේ තරම් ආගමික ප්‍ර‘බෝධයක්... දේශප්‍රේමීත්වයක් නියත රටේ තමයි මේ තරම් අපරාධ වෙන්නේ. බැංකු කඩනවා, මිනී මරණවා, ගංගාවලට පනිනවා, බෙල්ලෙ වැල දාගන්නවා, මිනිස්සු තව එකෙක් මරන්න හරි තමන් මැරෙන්න හරි තමයි බලගෛන ඉන්නේ.... ඇයි මේ ???

No comments:

Post a Comment