Wednesday, August 3, 2016

කැමරාව විසින් මානවයාගේ සියලුම ක්ෂේත්‍ර වෙනසකට ලක්කර තිබේ
මෙකල බොහෝ දෙනෙක් අත ජංගම කැමරාවක් තිබේ. ජංගම දුරකථනයට සම්බන්ධ කැමරාව විසින් මානවයාගේ සියලුම ක්ෂේත්‍ර වෙනසකට ලක්කර තිබේ. මේ පිළිබඳව ලිවීමට මා පෙළඹුණු හේතු දෙකක් තිබේ. එකක් පාද යාත්‍රාව ගමන් ගන්නා අතර තුර නාමල් රාජපක්ෂගේ නර්තනයයි. අනෙක ඉන්දියාවේ දුම්රිය අනතුරක් සිදුවී ශරීරයෙන් යට කොටස වෙන්වී කඳ කොටස රේල් පාර මැද වේදනාවෙන් දඟලන විට පිරිසක් එය ජංගම දුරකථනවලින් වීඩියෝ කිරීමයි.
දැන් අපි නාමල්ගේ නැටුම දෙසට යොමු වෙමු. මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ ඒකාබද්ද විපක්ෂය විසින් පාද යාත්‍රාව සංවිධානය කරන්නේ යහපාලන ආණ්ඩුවට ප්‍රබල විරෝධයක් දැක්වීමේ අදහසිනි. ඒ තුළ විහිළුවකට ඉඩක් නැත. පාද යාත්‍රාව විහිළුවක් නොවේ. බරපතළ සීරියස් දේශපාලන වැඩකි. මහින්ද රාජපක්ෂ මහතා අනූතුනේදී යූ.එන්.පී. ආණ්ඩුවට එරෙහි ගිය පාද යාත්‍රාව එවැනි සීරියස් වැඩකි. එහෙත් දැන් යන පාද යාත්‍රාව තුළට ජංගම කැමරා මැදිහත් වීමෙන් එම සීරියස් බව බාල වී හාස්‍යයක් මතුව තිබේ. නාමල් රාජපක්ෂ නටමින් සටන් පාඨ කියයි. එය කවුරුන් හෝ වීඩියෝ කර අන්තර්ජාලයට එක්කර තිබේ. ඒ අනුව දැන් ජනමතය සකස් වී තිබෙන්නේ මේකා නුවර සිට කොළඹට එනකම් බජව්වෙන් නට නට ආවා වැනි හැඟීමකි. ආණ්ඩුවේ මාධ්‍යද, ආණ්ඩුවට හිතැති මාධ්‍යයද මේ රූපරාමු නිතර පෙන්වීමෙන් පාද යාත්‍රාවේ දේශපාලන ගැඹුර හෑල්ලු කර තිබේ . මෙකල ඇස් දෙකෙන් දකිනවා පමණක් නොවේ. දකින දේ එම මොහොතේම පටිගත කර ගැනීමට තරම් තාක්ෂණය දියුණුය.
සියලු මානව ක්‍රියාකාරකම් සියුම්ව පටිගත කරගත හැක. පරණ දේශපාලඥයා මෙන් නොව නූතන දේශපාලනඥයා හතර අත විසිරී තිබෙන කැමරා ඇස්වලින් බේරී දේශපාලනය කළ යුතුව තිබේ.
නාමල් යහපාලනයට විරුද්ධව සටන් පාඨ කියනවාට වඩා, මාධ්‍ය තුළ ඉස්මතුවන්නේ කුණුහරුප සිංදුවලට නට නටා පැමිණීමය. අතීතයේ මාධ්‍ය ස්ථානගත වූයේ ප්‍රධාන අරමුණ වටාය. එහෙත් වර්තමානයේ මාධ්‍ය ස්ථානගත වන්නේ ප්‍රධාන අරමුණ වටා නොව, අතුරු අරමුණ වටාය. ප්‍රධාන අරමුණට ඒවා කිසිසේත් සම්බන්ධ නොවේ. පාද යාත්‍රා‘වේ ප්‍රධාන දේ බවට පත්ව තිබෙන්නේ නාමල්ගේ නැටුමයි. කුණුහරුප සිංදුවයි. දේශපාලකයෝ වාහනවල යාමයි. පොදු ජනයා බාර්වලට රිංගීමයි. කුඩා දරුවෙකු ලවා සටන් පාඨ කියවීමයි . පාද යාත්‍රාව යන්නේ යහපාලන ආණ්ඩුවේ වැරදි අඩුපාඩු නිසා ආණ්ඩුව පළවා හැරීමේ අදහසිනි. එම අදහස් බරපතල ලෙස කෙසේවත් සාකච්ඡා නොවේ. පාද යාත්‍රාව ෆන් වැඩක්, ජොලි වැඩක් වී තිබේ. දේශපාලඥයා මේ නව තත්ත්වය තේරුම්ගත යුතුව තිබේ.
එය හාස්‍යයෙන් යුතුව පවසන්නේ නම් අධෝවාතයෙන් පිටකරන කොටත් දෙපාරක් සිතා පිට කළ යුතු වටපිටාවක් ගොඩනැගී තිබේ. මන්ද අධෝවාතයක් සවුන්ඩ් පිටින් රෙකෝඩ් කර ෆේස්බුක් දැමිය හැකි බැවිනි. රහසිගතව කරන ක්‍රියා කැමරාව මැදිහත් වීමත් සමග ලක්ෂ ගණන් නරඹන වීඩියෝ බවට පත්වීමට ඉඩ තිබේ.
දේශපාලනඥයා අනාගතයේදී කැමරාවෙන් බොහෝ පරිස්සම් විය යුතුව තිබේ.
ඉන්දියාවේ දුම්රිය අනතුර ගැනද යමක් ලිවිය යුතුය. කඳ කොටස දෙකඩවී ශරීරයේ ඉහළ කොටස වේදනාවෙන් ඒ මේ අතට පෙරළීමට උත්සාහ දරන විට අසල වූවෝ එම මනුස්සයා අසලට ගොස් ජංගම දුරකථන මානා වීඩියෝ කළෝය. මාද නැරඹුවේ එසේ කවුරුන් හෝ වීඩීයෝ කළ දර්ශනයකි. මරණය කරා ඇදී යන එම මිනිසාගේ හිත හැදීමට හෝ වතුර උගුරක් පෙවීමට කිසිවෙකුත් ඉදිරිපත් නොවුණි. මෙකල අනතුරක් සිදු වූ විට අනතුර ලක්වූවාට පිහිටවනු වෙනුවට, ජංගම දුරකථන ඇද වීඩියෝ කිරීමට උත්සහ දරන්නෝ බහුල වෙති. ලංකාවේ සිදු වූ ත්‍රීවිල් අනතුරකදී ද එවැනි අමානුෂික රූගත කිරීමක් මම දුටුවෙමි. ත්‍රීවීලය හැප්පී වැටී සිටි තරුණයා රෝහලට රැගෙන යාමට කිසිවෙකුත් ඉදිරිපත් වන බවක් නොපෙනුණි. තරුණයා රුධිරය වගුරවමින් මහපාරේ වැටී සිටියේය. මෙවැනි අනතුරු වීඩියෝ කරමින් දඟලනවා වෙනුවට, රෝහල් ගත කිරීමට උත්සහ නොදරන්නේ ඇයි? මෙය විශාල මානුෂ්‍යවාදී ආචාර ධාර්මික ගැටලුවකි. අතීතයේ කැමරා ආම්පන්න තිබුණේ මාධ්‍යවේදීන් සතුවය. දැන් සියලු දෙනා අතම කැමරා තිබීමෙන් සියලු දෙනාම මාධ්‍ය‘වේදීන් වී සිටිති. අනතුරකදී පිහිට විය යුතු මනුෂ්‍යයන්ද මාධ්‍යයේ කාර්යයට අත ගසා තිබේ. ඔවුහු සියල්ලටම කලින් ජංගම දුරකථන දිගුකරමින් වීඩියෝ කිරීමට උත්සහ කිරීම කණගාටුදායකය.
මේ නව තත්ත්වය විචාරාත්මකව තේරුම්ගත යුතුව තිබේ.
mamatharunaya.blogspot.com

No comments:

Post a Comment