Thursday, August 24, 2017

පුංචි කෝච්චිය වෙනුවට ලොකු කෝච්චි යාම සඳහා රේල් පාර ලොකු කළ හැටිද මට මතකය



මා දැන් උදේ සවස රැකියාවට යන්නේ %කැලණිවැලි^ දුම්රියෙනි. %කැලණිවැලි^ මාර්ගයේ ගමන් ගන්නා දුම්රියේ හූ හඬ සමග අපගේ ජීවිත බැඳී තිබේ. අප කුඩා කල මෙම මාර්ගයේ ගමන් කළේ පුංචි කෝච්චියයි. පුංචි කෝච්චියද එය ගමන් කළ රේල් පාරද මට හොඳට මතකය. පන්නිපිටියත්, මහරගමත් අතර පුංචි කෝච්චියේ හූ හඬ කන් දෙදරවන තරමේ ආසන්න නිවසක මම උපත ලැබුවෙමි. ඒ නිසා පුංචි කෝච්චියේ හූ හඬ මට හොඳ හැටි හුරුය. දුම් දමමින් දිවයන අඟරු කෝච්චියේ හූ හඬෙහි මහා වේදනාවක්, දුකක්, පාළුවක්, සාංකාවක් ඇතැයි මට සිතෙයි. දැනුදු අඟරු කෝච්චියක හූ හඬ නාට්‍යයක හෝ චිත්‍රපටයක ඇසෙද්දී මට අතීතය සිහිවෙයි. මියගිය ආච්චිද, ආතාද සිහියට නැගෙයි. පුංචි කෝච්චියේ මූසල හූ හඬ මට ගෙන එන්නේ වේදනාවකි. දුම්රිය නැවතුම් පොළ තිබෙන්නේ මහරගමත්, පන්නිපිටියත් අතරය. ඒ අතර මැද ජීවත්වූ අපගේ නෑසිය හිතමිතුරෝ පන්නිපිටියෙන් බැස ආපස්සට එති. නැතිනම් මහරගමින් බැස ඉදිරියට එති. එය අතර ඇතැම් ජවසම්පන්න තරුණයන් නිවෙස් අසලින් යනවිට දුම්රියෙන් පනින බව ආච්චි කිව්වා මට මතකය. ඒ පන්නිපිටිය ආසන්නයේ ඇති වංගුවෙනි.
දිනක් පුංචි කෝච්චිය නවත්වා එක දිගට හූ කියනවා මට ඇසුණේය. කෝච්චිය නවත්වා ඇත. අනේ දෙයියනේ කවුරු හරි කෝච්චියට බෙල්ල තියලද කියා ආච්චි කනගාටු උනුහැටි මට හොඳට මතකය.
ආච්චිගේ නිගමනය හරිය. කවුදෝ කෝච්චියට බෙල්ල තබා තිබේ. නිවසේ සිටි මාමලා, පුංචිලා, නැදෑයෝ, ඥාති සහෝදර සහෝදරියන් ටෝච් රැගෙන හුළුඅතු බැඳගෙන කෝච්චියට බෙල්ල තැබූ මිනිහා බලන්නට ගියේය. කිසියම් භීතියක් හා වේදනාවකින් පසු වූ මමත් ආච්චිගේ නිවසේ තනියට උන්නෙමි.
&මේ මිනිසුන්ට මොනව වෙලාද? තමන්ගෙ පණ නැති කරගන්න එකත් පාපයක්* කියා ආච්චි කීවාය. &උඹලාගේ ඔය ආතත් රේල්ලුවට බෙල්ල තියන්න ගියා* කියා ආච්චි පරණ කතාවක් මතක් කළාය.
&ඒ මොකද ඒ* කියා මම ඇසුවෙමි.
&එයාට බඳින්න මම කැමති උනේ නෑ කියලා මේ මනුස්සයා රේල්ලුවට බෙල්ල තියන්න ගියා නේ. ඊට පස්සෙ තමයි මම කැමති උනේ. මම අකමැති උනානම් ආතත් අද ජීවතුන් අතර නෑ.* කියා ආච්චි කීවාය. රේල්ලුවට බෙල්ලු තැබු පුද්ගලයාගේ හිසෙන් වෙන්වී ගිය ශරීරය දෙස බලා පැමිණි ඥාති සහෝදර සහෝදරියන් එදින රාත්‍රියට ආහාර නොගෙන වික්ෂිප්ත වූ සිතින් යුතුව නින්දට වැටුණු සැටිද මට හොඳට මතකය.
පුංචි කෝච්චිය වෙනුවට ලොකු කෝච්චි යාම සඳහා රේල් පාර ලොකු කළ හැටිද මට මතකය. රේල් පාර ලොකු කළේද අපූරු ආකාරයටය. රේල් පාර පළල් කළේ පුංචි කෝච්චියටත්, ලොකු කෝච්චියටත් යා හැකි ආකාරයටය. එවිට රේල් පාරේ පීලි තුනකි. පිලී තුනේ දුම්රිය මාර්ගයක් ලෝකයේම තිබුණේ නම් ඒ කැලණිවැලි දුම්රිය මාර්ගයේ විය යුතුය. පසු කාලෙක පුංචි කෝච්චියට යා හැකිව තිබූ මැද පීල්ල ගැලවී ගියේය. අද මැද පීල්ලත් නැත. පුංචි කෝච්චියත් නැත. අඟරු කෝච්චියත් නැත. මූසල හූ හඬත් නැත. ඒ වෙනුවට ඩීසල් එන්ජිම සහිත යකඩ යකා හෝන් හඬ නංවමින් සුපුරුදු කැලණිවැලි දුම්රිය මාර්ගය ඔස්සේ දුවන්නේය. එදා පුංචි කෝච්චියේ ගිය පිරිස දැන් මහලු වියට පැමිණි තිබේ. ලොකු කෝච්චියේ උදේ හවස රැකියාවට යනවිට ඇතැම් වැඩිහිටියන් පුංචි කෝච්චියේ විස්තර කියනු ඉඳහිට මටද ඇසෙයි.
කැලණිවැලි දුම්රිය මාර්ගය වැටී ඇත්තේ වතුපිටි මැදිනි. ගෙවල්වල සාල, කුස්සි, නාන කාමර අතරිනි. ගෙවල්වල පිළිකන්නෙනි. රෙදිවැල දෙපසිනි. ගෙවල්වල ටකරන් වහල ඇගේ ගෑවෙන සමීපයෙහි කැලණිවැලි දුම්රිය මගෙහි ගමන් ගන්නා විට මේ මිනිසුන්ගේ ජන ජීවිතයද රූප රාමු ලෙස ඇස ගැටෙයි. මේ දුම්රියේ ගමනේ බොහෝ රස කතා, දුක්බර කතා, කාම කතා, ආදර කතා පිරී තිබේ. එම කතාවන්ට මුහුණදෙන ගැහැනු මිනිසුන්ගේ කතා ඉදිරි සතියකදී ලිවීමේ අදහසින් අදට මෙම ලිවීම මෙතෙනින් හමාර කරන්නෙමි.

mamatharunaya.blogspot.com

No comments:

Post a Comment