Thursday, August 24, 2017

අපි දුක අතාරින්නේ සතුට අල්ල ගන්න



දුකෙහි කෙළවර සතුටක් තියෙනවා කියලා නිකං කතාවට කියනවා. දුකෙහි කෙළවර සතුට තියෙන්නේ දුක කියන්නේ මොකක්ද කියලා අවබෝධ වුණාම. එහෙම නැතුව දුක් විඳලා විඳලා සතුටක් ලබාගන්න බෑ. මොකද එහෙම දුක් විඳලා ලබාගන්න සතුට තුළත් දුකක් තියෙනවා. සතුට තුළ තියෙන දුක අවබෝධ කර ගත්තාම තමයි සැබෑ සතුට ලබාගන්න පුළුවන් වෙන්නේ. අපි කවදාවත් සතුට තුළ තිබෙන දුක අවබෝධ කර ගන්න උත්සාහ කරන්නෙ නෑ. දුක දකින්නේ දුක තුළ විතරයි. සතුට තුළ අවබෝධයෙන් දුක දැක්කාම මාර සතුටක් දැනෙනවා. සතුට තුළ සතුට විතරක් දකින්න යාමෙන් අපි විශාල දුකකට පත්වෙනවා. මට අනුව නම් දුක කියන්නේ ජීවිතය තේරුම ගන්න තියෙන විද්‍යාවක්. දුක හරියටම තේරුම් ගන්න මනුෂ්‍යයා තමයි ජීවිතේ උපරිම සතුටින් ජීවත් වෙන්නේ.
දුක අමතක කරලා කවදාවත් සතුටට පත් වෙන්න බෑ. මොකද සතුට පිටිපස්සෙන් දුක එනවා. දුක නොඑන සතුටක් නෑ. බුදු හාමුදුරුවන්ගේ දර්ශනය ගොඩනැගිලා තියෙන්නෙම මේ දුක පිළිබඳ සිතීමේ අදහසත් එක්ක. දුක පිළිබඳ දර්ශනය මතුපිටින් හිතනවා වගේ අසුබවාදී නෑ. දුක පිළිබඳ හිතන මනුෂ්‍යයා සතුටට පත්වෙන්නේ කොහොමද කියන එක බුදු දහමේ උගන්වනවා. මනුෂ්‍යයා මොන මතයේ සිටියත්, මොන අදහස් දැරුවත් ඔහුට  දුක මගහැර යා නොහැකියි. සිදුහත් කුමාරයා මහල්ලෙක්, ලෙඩෙක්, මලකඳක් දකිනවා. ඒ තමයි දුක පිළිබඳ අවබෝධයේ මූලික පියවර. අපි මොනතරම් මලු අය, ලෙඩ්ඩු දකිනවාද? මිනිස්සු මැරිලා ඉන්නවා දකිනවාද? හැබැයි දුක අපිට අවබෝධ වෙන්නේ නෑ. අපි දුක දැකලා අතාරිනවා. දුක දැනෙනවා, අතහරිනවා. මොකද දුක අතෑරියාම තාවකාලිකව සතුටක් ලැබෙනවා. දුක අතාරින්නත් පුළුවන්, ඉබේ අතෑරෙන්නත් පුළුවන්. මොකද ජීවත් වෙනවා කියන්නේ දුක මෙනෙහි කරකර දුකේම සිටීමක් නොවන නිසා. හැබැයි දුක අවබෝධකර ගත්ත කෙනා දුක අල්ලාගෙන ඉන්නෙ නෑ. එයත් දුක අතාරිනවා. හැබැයි අපි දුක අතාරින විදිහට නෙමෙයි එයා දුක අතාරින්නේ. අපි දුක අතාරින්නේ සතුට අල්ල ගන්න. හැබැයි එයා දුක අතාරින්නේ සතුට අල්ල ගැනීමේ අදහසින් නෙමෙයි. ඔහුට නැවත කිසිවක් අල්ලා ගැනීමේ අදහසක් නෑ. ඔහු හැරීමත් අතහැරපු මිනිහෙක්.
අතහැරීමත්, අතහැරපු අය අපට ලේසියෙන් හමුවන්නේ නෑ. අපට හමුවෙන්නේ අතහරින්න ඕනේ කියලා අතහැරීම අල්ලගෙන බුදු දහමේ නාමයෙන් බණ කතා, රස කතා, ජාතක කතා කියකිය පිනට ලෝභකමේ ඉන්න අය විතරයි.

mamatharunaya.blogspot.com 

No comments:

Post a Comment