Thursday, August 24, 2017

ජීවිතය සැහැල්ලුවෙන් ගෙවන්න


දිගු නිවාඩු මිනිස්සුන්ට ජීවිතය ලබාදෙන්නේය. නිවාඩුවට රැකියා කරන අය ගමේ යන්නෝය. ට්‍රිප් යන්නෝය. මිතුරු මිතුරියන් හමුවන්නෝය. දරුවන් සමග සෙල්ලම් කරන්නෝය. දෙමවුපියන් බලන්නට ගොස් කතාබහ කරමින් කාලය ගත කරන්නෝය. මේ මනුෂ්‍යය සම්බන්ධතා සුන්දරය. මිනිසා ජීවත් වන්නේ කෙටි කාලයකි. එම කාලය තුළ මිනිසුන් එකිනෙකා හමුවිය යුතුය. කතාබහ කළ යුතුය. අද්දැකීම් බෙදාහදා ගත යුතුය. අතීත මතක ආවර්ජනය කළ යුතුය. නාට්‍ය‘ය, චිත්‍රපට බැලිය යුතුය. එසේ නොමැතිව යන්ත්‍ර සූත්‍ර මෙන් එක දිගට වැඩ කරමින් මුදල් පසුපස හඹායාමේ තේරුමක් තිබේද?
අපට දෙමවුපියන්, නෑදෑයන්, මිතුරු මිතුරියන්, දරුවන් හමුවන්නේ ජීවත්ව සිටින කාලය තුළ පමණි. එම කාලය කොතෙක් දැයි අපි කිසිවෙකුත් නොදනිමු.  අනේ අපිට තව බොහෝ කාලයක් ජීවත් වීමට තිබෙනවා  කියා මානුෂික බැඳීම් පසුපසට තල්ලු කර දමා මගහැර ජීවත් විය හැකිද? හෙට කුමක් සිදුවේවිද? ඊළඟ නිමේෂයේ කුමක් සිදුවේවිද කියා අපි නොදනිමු. ඒ අවිනිශ්චිතතාවය නිසා එළැඹෙන සෑම මොහොතකම මනුෂ්‍ය සම්බන්ධතවයක් වෙනුවෙන් කාලය ගත කළ යුතුය. මනුෂ්‍ය සම්බන්ධතා වෙනුවෙන් කලාය ගත කිරීම කාලය කා දැමීමක් නොවේ. පෙම්වතිය, බිරිඳ, සැමියා, පෙම්වතා වෙනුවෙන් කාලය ගත කිරීම කාලය අපතේ හැරීමක් නොවේ. මිනිසුන් නම් ඔවුනොවුන් හමුවිය යුතුය. කතාබහ කළ යුතුය.
අතීතයේ සෝවියට් දේශයේ කම්කරුවන් වැඩ කළ යුතු  පැය අට, පැය හයේ සිට පැය පහ දක්වා අඩුකළේ කම්කරුවන්ට පවුල් සමග ජීවත් වීමටත්, සංස්කෘතික ජීවිත ගත කිරීමටත් ඉඩලබාදීමටය. එය නිකරුණේ කාලය කා දැමීමක් නොවේ. එහෙත් වර්තමානයේ හැම පණ්ඩිතයාම අපට උගන්වන්නේ කාල කළමනාකරණය ගැනය. කාලය රන් හා සමාන යැයි කියමින් වැඩ කරන හැටිය. පැය අට, පැය දොළහ, දාසය දක්වා දක්වා වැඩ කර ගන්නා හැටිය.

දැන් මිනිසුන්ට නිදහසේ සිටීමේ විද්‍යාවක් ඉගැන්විය යුතුය. විනෝදවීමේ ආකාරයත් ඉගැන්විය යුතුය. සමහර පුද්ගලයෝ ආයතනවලට වැඩ  කරන්නේ ප්‍ර‘වේනිදාසයන් ආකාරයටය. තමන් වැටුපකට වැඩ කරන කම්කරුවන් බව නොසිතා ආයතනයේ හිමිකරුවාටත් වඩා ආයතනයට කරදර කරමින් දිවා රෑ වෙහෙසෙමින් ගොනෙකු සේ වැඩ කරන්නේය. ප්‍ර‘වේනි දාසයා ඉඩමට බැඳ දමා තිබූ ආකාරයට මේ නූතන ප්‍ර‘වේනිදාසයා ටයි පටියට, වාහනයට, තනතුරට ආයතනයට බැඳී සිටින්නේය. මනුෂ්‍ය සම්බන්ධතා වෙනුවට ආයතනයේ ලාභය වෙනුවෙන් අමනුෂ්‍ය‘යෙකු ලෙස හැසිරෙන්නේය. නිවාඩු ගන්න, ජීවිතය විඳින්න, අතහැරීම පුරුදුවන්න. එවිට ජීවිතයේ සැහැල්ලුබව ඔබට දැනේවි.

No comments:

Post a Comment