Thursday, August 24, 2017

දැන් අපට අවශ්‍ය බුද්ධිය මෙහෙයවා අභියෝගයන්ට මුහුණදී ඒවා ජයගන්නා දේශප්‍රේමීන්ය

දැන් අපට අවශ්‍ය බුද්ධිය මෙහෙයවා අභියෝගයන්ට මුහුණදී ඒවා ජයගන්නා දේශප්‍රේමීන්ය
ජාතික වීරයෝවීමට පහසු මඟක් නිර්මාණය වී තිබේ. ඒ සඳහා අවශ්‍ය වන්නේ ජංගම දුරකථනයක් හා ෆේස්බුක් ගිණුමක් පමණි. ජංගම දුරකථනයකින් ජාතික වීරයෙක් වන්නේ කෙසේද? එය හරිම සරලය. පහසුය. එනම්, කළ යුත්තේ ජංගම දුරකථනයේ කැමරාව ඔන් කර රෙකෝඩ් බොත්තම ඔබා සෙල්ෆි විඩීයෝවක් ලබාගැනීම පමණි. මෙම සෙල්ෆි විඩීයෝවට රට, ජාතිය, ආගම ගැන ඇඟේ මවිල් කෙළින් වන ආකාරයේ කතාවක් පැවැත්වීම අනිවාර්ය වේ. සිංහල ජාතිය සහ බුද්දාගම මහා අනතුරක බවත්, මුස්ලිම් ජාතිය රට ආක්‍රමණය කරන බවත්, කොටි අවදි වෙමින් සිටිය යුතු බවත් පැවසිය යුතුය. නිදා සිටින සිංහයන් නැගිට වරෙව්! යනුවෙන්ද පැවසිය යුතුය. එසේ පැවසූ විට ඔහු ජාතික වීරයෙකි. ඇය ජාතික වීරවරියකි.
කවුරුන් කෙසේ කීවද මේ නව තත්ත්වය වන්නේ කිසියම් ප්‍රමාණයකට සමාජය සංවිධානය කිරීමට හැකියාව ලැබී තිබීමය. පසුගිය දිනවල සිංහල ජාතිය රකින සංවිධාන හා පුද්ගලයන් බිහිවුණේ මා පෙර සඳහන් කළ ආකාරයෙනි. ඔවුහු එසේ සංවිධානය වී උද්ඝෝෂණ කරති. සිරිපාදයට බුදු පිළිම වඩම්වති.
මෙහි සාධනීය හා නිෂේධනීය බොහෝ දේ තිබේ. සාධනීය දෙය වන්නේ සමාජ ජාල වෙබ් අඩවිවලට සාමජය විවිධ අරමුණු වටා සංවිධානය කර ගැනීමේ හැකියාව ලැබීමය. මීට පෙර එම කාර්ය කළේ පත්තර, ටී.වී., ගුවන්විදුලි වැනි ප්‍රධාන මාධ්‍ය ආයතන විසිනි. සමාජය විවිධ අරමුණු වටා සංවිධානය කිරීමට පෙර කල විශාල මුදලක් වැය විය. මාධ්‍ය ආයතනවල ත්‍යාගපත්‍ර අනුව මාධ්‍ය හැසිරුණේය. ආණ්ඩුවට හිතවාදීවීම හෝ විරුද්ධ වීම අදාළ මාධ්‍ය ආයතනයේ න්‍යාය පත්‍රයට සමපාත විය.
අද වගේ නෙවේ. ඕනෑම පුද්ගලයෙකුට අන්තර්ජාලය ඔස්සේ තොරතුරු ලබාදිය හැකිය. තොරතුරු ලබාගත හැකිය. ස්මාර්ට් ජංගම දුරකථනයකින් ෆේස්බුක් හරහා සජීවීව ඕනෑම තැනක සිදුවන සිදුවීම වීඩියෝ මාධ්‍ය‘යෙන් බෙදා හැරිය හැකිය. දැන් සඟවා තබාගැනීම් කළ නොහැකිය. ප්‍රධාන මාධ්‍ය තුළ වාරණය වන තොරතුරු අන්තර්ජාලයෙන් ලබාගත හැකිය. මේ නව මාධ්‍ය ශක්‍යතාවයන් සමාජ සම්බන්ධතා පමණක් නොව මානුෂික බැඳීම්ද වෙනස් කර තිබේ.
ජාති ආගම් බදාගෙන ඒ වෙනුවෙන් හඬ නගන තරුණ පිරිස තව බොහෝ දේ ඉගෙනගත යුතුව තිබේ. අවේගය, චණ්ඩිකම, කැපී පෙනීමට උත්සහ දැරීම බැහැර කොට බුද්ධිය හා චින්තනමය වශයෙන් පෝෂණය විය යුතුව තිබේ. එඩිතරකම පමණක් මේ සඳහා ප්‍රමාණවත් නැත. බොහෝ තරුණයේ මෙකල ජාතික ආගම පිළිබඳ කෑගසන්නේ කිසිදු අවබෝධයකින් හෝ දැකීමකින් නොවේ. මෙම සංවිධාන තවදුරටත් මෝඩ චණ්ඩිපාට් දමනු වෙනුවට, කරුණු කරාණා සහිතව හරයක් හා චින්තනයක් සහිත පිරිසක් නිර්මාණය කර ගැනීමට කටයුතු කළ යුතුය.

දැන් අපිට අවශ්‍ය කඩා බිඳ දමන, විනාශ කරන, මරා දමන, දේශප්‍රේමීන් නොවේ. බුද්ධිය මෙහෙයවා අභියෝගයන්ට මුහුණදී ඒවා ජයගන්නා දේශප්‍රේමීන්ය. බුද්ධිය භාවිත කිරීම යනු නිවට වීම නොවන බවද මෙහිදී මතක් කළ යුතුව තිබේ.

No comments:

Post a Comment