Thursday, August 24, 2017

සෙවීම අවසාන කරන්න පුළුවන්, සෙවීම මොකක්ද කියලා හරියටම හොයාගත්ත දවසට විතරයි


සොයාගැනීම තව දුරටත් ලියන්න ඕනෙ කියලා හිතුණෙ සොයා ගැනීම ගැන සොයා ගත්ත නිසා නම් නෙමෙයි. සොයා ගැනීම ගැන, සොයා ගැනීම හිතන තරම් ලේසි වැඩක් නොවන නිසා.
බටහිර විද්‍යාවෙන් හොයාගන්න දේවල් තියෙනවා කියලා හොයන්න පටන්ගත්තා. එයාලා විද්‍යාවෙන් එකඑක දේවල් හොයාගත්තා. අභ්‍යවකාශයට ගියා. හඳට ගියා. අඟහරුට යානා යැව්වා. හැබැයි මේ සෙවීම අවසන් නෑ. තාම හොයනවා. බටහිර විද්‍යාවට සෙවීමේ අවසානයක් නෑ. හොයලා ඉවර වෙච්ච තැනින් ආපහු හොයනවා. සෙවීම කියන්නේ මොකක්ද කියලා හොයන්න පටන් ගත්තාම ගොඩක් සේවල් හම්බ වෙනවා. අනාගතයේදී තව තව බොහෝ දේ හොයාගනියි. සත්‍ය වශයෙන්ම නොපවතින දෙයක් හොයාගන්න බටහිර විද්‍යාවට බෑ. තිබෙන, එහෙත් නොදන්න දෙයක් තමයි හොයාගන්නේ. හොයන දේ තිබෙන දේට සම්බන්ධයි. තිබෙන දෙය හොයන දෙයට සම්බන්ධයි.
පෙරදිග දර්ශනය ගැන මම තරමක් දුරට කියවලා තියෙන නිසා මට තේරුණ දෙයක් තමයි, පෙරදිග දාර්ශනිකයන් විද්‍යාත්මක දේවල් හොයන්න ගියේ නෑ. එයාලා ජීවිතේ අර්ථය හෙව්වා. මොකක්ද මේ ජීවිතේ කියලා හිතුවා. ජීවිතේ තුළින්ම තමයි ජීවිතය හොයාගන්න උත්සාහ කළේ. ජීවිතේ පිටතින් දෙයක් හොයනවට වඩා ඇතුළින් තමයි ගොඩක් දේ හොයන්න පටන් ගත්තේ. ඒ නිසා පෙරදිගින් හොයාගත්ත භෞතික දේ හරි අඩුයි. ඇසට පෙනෙන ස්පර්ශ වන දේ හරි අඩුයි. පෙරදිග දාර්ශනිකයන් හොයාගත්තේ ආධ්‍යාත්මික දේවල්.
බුදු හාමුදුරුවෝ සොයාගත්තේ %නිවන^ කියලා අපි කියනවානේ. හැබැයි %නිවන^ කියන්නේ සොයාගත්ත දෙයක් වුණාට, නිවන සමග සොයා ගැනීමක් සොයාගත්තා.  නිවන පන්සල්වලින්, බෝධි පූජාවෙන්, පිංකම්වලින්, මල් පෙරහැරින් නම් කවදාවත්ම හම්බවෙන්නේ නෑ. නිවන ස්ථානයක්, දෙයක්, වස්තුවක් නෙමෙයි හම්බවෙන්න. %නිවන^ හම්බවෙයි කියලා හෙව්වට හම්බ වෙන්න දෙයක් නෙමෙයි. නිවන පාරභෞතික දෙයක් කියලා බැහැර කරන්න බෑ. නිවන කියලා වචනයක් දීලා තිබුණට මේ වැඩේ වචනයට, අර්ථයට අහුවෙන්නෙ නෑ. හිතීම් දිගේ දුර ගමනක් යන ඕනෑම කෙනෙකුට නොහිතන අමුතු අමුතු සිතීම් පහළ වෙනවා. ජීවිතේ ගැන හිතෙන්න පටන්ගන්නවා. විශාල කලකිරීම් ඇතිවෙනවා. ඒ කලකිරීම් දිගේ ගියාම සතුටු වෙන්න පුළුවන් කෙළෙවරක් හම්බවෙනවා.
සෙවීම අවසාන කරන්න පුළුවන්, සෙවීම මොකක්ද කියලා හරියටම හොයාගත්ත දවසට විතරයි කියලා මේ ලිවීම අවසාන කරනවා.

mamatharunaya.blogspot.com

No comments:

Post a Comment