Thursday, August 24, 2017

පැවැත්ම තියෙන්නේ සිතීම උඩ


දුක සිතීම පිළිබඳව දුක සිතෙන්න ගත්තම, දුක සිතීම මොකක්ද කියලා තේරෙන්න පටන් ගන්නවා. අපිට යම් දෙයක් අහිමි වුණොත් දුක හිතෙනවා. අකමැති දෙයක් හිමි උනත් දුක හිතෙනවා. කැමති දෙයක් නැති වුණත් දුක හිතෙනවා. අපිට දුක හිතෙන කොට දුක සිතීම මොන වගේ දෙයක්ද කියලා තේරෙන්නේ නෑ. සිතෙන් හැමදේටම හිතෙන්න ඇරලා අපි බලාගෙන ඉන්නවා. අපිට තියෙන්නේ සිතත් එක්ක ගැටුමක් නෙමෙයි, හිතෙන දේ එක්ක ගැටුමක්. දුක, සතුට, වෛරය, ඊරිසියාව, කෝපය, හිතෙන දේවල් සිතට  දැනෙන දේවල්. අපිට ගැටුම තියෙන්නෙ මෙන්න මේවා එක්ක. සිත එක්ක අවුලක් නෑ. සිත ස්වභාවික නෑ. ඇයි දුක, සතුට, වෛරට සිතට හිතෙන්නේ. සිතට හිතීම අවබෝධ කර ගැනීම හිතන තරම් ලේසි නෑ. සිත, සිත සිත තේරුම් ගැනීම මොන තරම් අමාරු වැඩක්ද කියලා හිතලම තේරුම් ගන්න බලන්න.
සිතේ අවබෝධය කාටවත් දෙන්න බෑ. කාටවත් බෑ සිතෙන දේවල් තේරුම් ගන්න. සිතම සම්බන්ධ වෙනකොට සිත මොකක්ද කියලා තේරුම් ගැනීම අමාරු වැඩක් වෙනවා. සිත මොකක්ද කියලා තේරුම් ගත්ත මිනිස්සු සිතෙන දේවල් එක්ක ගැටුමට යන්නෙ නෑ. විශාල බොරුවක් කියලා දැනගෙන බොරුව උඩ ඇත්ත සෙවීම තේරුමක් නැති වැඩක් කියලා එයාලා දන්නවා. එයාලා සිහියෙන් ජීවත් වෙනවා. ඒ අය ජීවිතේ බදාගත්තු අය නෙමෙයි. ඕනෙම වෙලාවක සතුටින් ජීවිතය  අතරහැර දාන්න සූදානමින් ඉන්න අය.
මුළු ලෝකයම ගොඩනැගිලා තියෙන්නේ හිතින් අල්ල ගත්තු දේවල් එක්ක. හිතට දැනෙන, හිතට සිතෙන දේවල් එක්ක. මිනිස්සු ඉතිහාසය පුරාම සිතුවා. තාමත් සිතනවා. සිතීම නවත්වලා නෑ. සිත සිතා ශිෂ්ටාචාරය ඉස්සරමට අරගෙන යනවා. සිතීම තමයි මානව ශිෂ්ටාචාරයේ ගොඩනැගීම. නොසිතන මිනිහෙකුට පවතින්න විදිහක් නෑ. පැවැත්ම තියෙන්නේ සිතීම උඩ. මිනිස්සු කවදා හරි සිතීම ගැන සිතන්න පටන් ගන්නවා. අන්න එදාට තමයි ලෝකය වෙනස් වෙන්නේ. සිතින් සිතා මොන දේවල් නිර්මාණය කරලා ලස්සන කළත්, සිතීම ගැන සිතලා සිත අවබෝධ කරගත්තාම, ලෝකය මීට වඩා යහපත් තැනක් වෙනවා. ගැටුම් නැති වෙනවා. වෛරය, ඊරිසියාව නැති වෙනවා. මුළු ලෝකයම අවුල් කරලා දාන්නත්, ලස්සන කරන්නත් හිතට පුළුවන්.

Mamatharunaya.blogspot.com

ජීවත් වෙනවා කියලා අපි මාර රඟපෑමක් නේද කරන්නේ



උදේ හවස රැකියාවට යන එන විට එකම මිනිස්සු පිරිසක් හමුවෙති. එකම තැනින් පසුවී යති. සමහරු සිනාසෙති. ඇතැම්හු හඳුනන බව හැඟවීමට මෙන් ඇස් ලොකු කර බලති. එකම තැන විවිධ ඇඳුමින් සැරසුණ මිනිසුන් සහ ගැහැනුන් සතියේ දින පහේදීම මේ ආකාරයට මුණගැසෙයි. ලෝභ හිතෙන එම දෑස් දෙස මමද බලමි. කසාදබැඳ ඇති බව මුහුණෙන් හෝ ශරීරයෙන් නොපෙනෙන නිසා ඇතැම් ගැහැනුන් අතේ මුද්දක් පලැඳ ඇත්දැයි කියා   විමසිලිමත් වෙයි. අතේ මුදු පැලඳ සිටීම මට බොහෝ සෙයින් අපසුවක් දැනෙන නිසා විවාහ වන දින බිරිඳ විසින් දැමූ මුද්ද මම නොපලඳිමි. ඒ නිසා මා විවාහ වුණු එක්දරු පියෙකු බව දෑස් ගැටෙන තරුණියෝ නොදනිති. දෑස් ගැටෙන තරුණියන් පිළිබඳ මම සිතමි. මා අවුරුදු දහ අටේ දී විවාහ වුණේ නම්, අවුරුදු දහ අටේ දරුවෙකුගේ පියයෙකු වීමේ සම්භාවිතාවක් මට තිබේ. මා උනන්දුවෙන් බලන තරුණියන් අවුරුදු විස්සේ විසිදෙකේ තරුණියන් යැයි සිතන කල, බරපතළ අපරාධකාරී හැඟීමකින් මගේ සිත අවුල්වෙයි. . එහෙත් අපි පෘථග්ජනයෝ වෙමු. ලස්සන ස්ත්‍රීන් දෙස බැලෙන්නේ ස්වභාවිකවමය. නොබලා සිටිනවා නම්, එය දැඩි   දැඩි සිතින් . මම ස්ත්‍රීන් දෙස නොබලමි යැයි ස්ථාවරයට පැමිණ නොබලා සිටිය යුතුය. එය හිතට පනවන දැඩි නීතියක් බඳුය. එතරම් අපහසුවකින් අප ජීවත් විය යුතු ද . ලස්සන ස්ත්‍රීන් දෙස බැලුවාට වරදක් නැත. අවුල වන්නේ බැලීමෙන් නොනැවතී බැඳීමකට යාමය. කතාබහ කොට සම්බන්ධතා ගොඩනගා ගැනීමය. ලිංගික සම්බන්ධතා පැවැත්වීමට යාමය. සියලු අනියම් සම්බන්ධතා හිසට මහා බරකි. අවංකව ජීවත් වීමට එය බාධාවකි. බොරු පවසමින් ව්‍යාජව ජීවත්වීමට එය හේතුවෙයි.
&ඔයා මුද්ද නොදා පාරේ යනකොට මටයි ලැජ්ජ. හරියට ඔයා බැඳපු ගැනියෙක් එක්ක යනවා වගේ. මාත් ගලවනවා මුද්ද* කියා ගමන් බිමන් යෑමට සූදානම් වූ අවස්ථාවල බිරිඳ නෝක්කාඩුවට මෙන් මට පවසන්නීය. ඒ නිසා විවාහකයන්ගේ මුදු සංකේතය පැලඳ ගත යුතුය. බැඳලත් මුද්ද නොදා යන්නේ මනමාලයෝ, වනචරයෝ කියාද බිරිඳ පවසන්නීය.
බිරිඳ පවසන දෙය තුළ සත්‍යයක් තිබේ. බොහෝ විවාහක පිරිමින් ස්ත්‍රීන් රවටන ආකාරය මම දැක ඇත්තෙමි. ඇතැම් ස්ත්‍රීන් නම් මූ බැඳපු මිනිහෙක් නේද කියාවත් නොසලකමින් සම්බන්ධතා පටන් ගනියි. මෙය නම් මඟුල් සක්වළකි. දුම්රියේ පෙම්වතා සමග එන ස්ත්‍රිය දුම්රියෙන් බැස සැමියාගේ මෝටර් බයිසිකලයේ නැගී යන හැටි මම දැක ඇත්තෙමි. ඇතැම්හු පවුල් ජීවිතයට අංශු මාත්‍රයක හෝ බපපෑමක් හානියක් සිදුනොවන ආකාරයට අනියම් පවුල් සම්බන්ධතා පවත්වාගෙන යති. මේ සියලු දේ නිරීක්ෂණය කිරීමෙන් මම එක දෙයක් සිතමි. &ජීවත් වෙනවා කියලා අපි මාර රඟපෑමක් නේද කරන්නේ*

mamatharunaya.blogspot.com

මිනිසුන්ට වෛර කිරීමෙන් සංසිඳුවා ගතහැකි කෝපයක් දැන් මා තුළ නැත.


ඇතැම් කාරණා සම්බන්ධයෙන් අපි කෝපයට පත්වෙමු. අපට වෛරයක්ද ඇති වෙයි. තරහක් ගොඩ නැගෙයි. එම වෛරයට, තරහට හේතුවන්නා පුද්ගලයෙකු නම් මනුෂ්‍ය‘යෙකු නම් ඔහු පිළිබඳ වෛරයෙන්, තරහෙන් පසුවීම සාමාන්‍ය ස්වභාවයයි. %මූ තමයි මට මෙහෙම කළේ, මූට ගේම දෙන්න ඕනේ.... මුව කපලා දාන්න ඕනේ...^ වැනි හැඟීම් මගේ සිතේ නැත. සියලු දේ සම්බන්ධව මට දැන් තිබෙන්නේ විශාල කලකිරීමක් හා අනුකම්පාවක් පමණි. දැන් මා ජීවිතය සම්බන්ධයෙන් බොහෝ සෙයින් දුක් වෙමින් සතුටක් අත්පත් කර ගැනීමට වෙහෙසෙන මිනිසෙකි.
බිරිඳ පවසන පරිදි මගේ ඇතැම් ප්‍රකාශ නිසා මිනිසුන්ගේ සිත් බොහෝ සෙයින් රිදෙන අතර, එම මිනිස්සු ඒ පිළිබඳව  කම්පා වෙති. ඇතැම් විට මා කෝපයෙන් පවසන වදන් නිසා වැඩිපුරම හඬා ඇත්තේ බිරිඳය. අතීතයේ මම බොහෝ සෙයින් දරුණු වදන් භාවිත කරමින් ගැටුම් ඇති කර ගත්තෙමි. විශ්වවිද්‍යාලය තුළ දී මතවාදී හරඹ සැමවිටම අනෙකාගේ සිත රිදවන සුළු විය. අනෙකාව තර්කයෙන් පරාජය කර මම අසීමිත සතුටක් භුක්ති වින්දෙමි. දැන් මා තුළ එම සතුට නැත. අනෙකාව තර්කයෙන් පරාජය කර %ඌට දුන්නා වැඩේ^ කියා සතුටුවීමේ මානසිකත්වයක් දැන් මට නැත. දැන් මම ඊට වඩා ගැඹුරින් ලෝකය තේරුම් ගැනීමට උත්සාහ කරමි.
මේ සියල්ලේ අර්ථශුන්‍යභාවය දැන් දැන් මට දැනෙමින් පවතියි. ඒ නිසාම කිසිවක් හඹායාමේ ආශාවක් මට නැත. තනතුරු, තානාන්තර දැරීමේ කිසිදු ආශාවක්ද නැත. පෙර මා පැවසූ පරිදි ජීවත්වීමට තරම් මුදලක් මා සතු වේ නම්, මේ ලිවීම් සියල්ල මම නවතා දමමි.
රැකියාවක් කරන විට බොහෝ කරුණු කාරණා අවබෝධ වෙයි. මා සෑම විටම සිතන්නේ මා මෙන්ම අනෙකාද රැකියාවක් කරන්නේ ජීවත්වීමට බවය. මට ලැබෙන වැටුපෙන් මගේ අඹුදරුවන් පෝෂණය කරන්නා සේ, අනෙකාද වැටුපෙන් අඹුදරුවන් ආරක්ෂ කරන්නේය. ඒ නිසා සෑම විටම මා, මා ගැන සිතන ආකාරයෙන් අනෙකා ගැනද සිතිය යුතුය.
යමක් සිදු වූ විට දැන් මා කනගාටුවට පත් වන්නේ මා ගැනය. කෝප වී ප්‍රකාශ කළ වදනකින් අනෙකාගේ සිත රිදුණු විට ඒ පිළිබඳව සිතමින් මමද බොහෝ සෙයින් සිත රිදවා ගත්තෙමි. ඒ නිසා හැකි තරම් ගැටුමෙන්, වෛරයෙන් ඈත්ව සිටීමට මම උත්සාහ කරමි.
එවිට සිතට පුදුම සැහැල්ලුවක් දැනෙයි. මම දැන් එම සැහැල්ලුව විඳිමින් සිටිමි.

mamatharunaya.blogspot.com 

අපි දුක අතාරින්නේ සතුට අල්ල ගන්න



දුකෙහි කෙළවර සතුටක් තියෙනවා කියලා නිකං කතාවට කියනවා. දුකෙහි කෙළවර සතුට තියෙන්නේ දුක කියන්නේ මොකක්ද කියලා අවබෝධ වුණාම. එහෙම නැතුව දුක් විඳලා විඳලා සතුටක් ලබාගන්න බෑ. මොකද එහෙම දුක් විඳලා ලබාගන්න සතුට තුළත් දුකක් තියෙනවා. සතුට තුළ තියෙන දුක අවබෝධ කර ගත්තාම තමයි සැබෑ සතුට ලබාගන්න පුළුවන් වෙන්නේ. අපි කවදාවත් සතුට තුළ තිබෙන දුක අවබෝධ කර ගන්න උත්සාහ කරන්නෙ නෑ. දුක දකින්නේ දුක තුළ විතරයි. සතුට තුළ අවබෝධයෙන් දුක දැක්කාම මාර සතුටක් දැනෙනවා. සතුට තුළ සතුට විතරක් දකින්න යාමෙන් අපි විශාල දුකකට පත්වෙනවා. මට අනුව නම් දුක කියන්නේ ජීවිතය තේරුම ගන්න තියෙන විද්‍යාවක්. දුක හරියටම තේරුම් ගන්න මනුෂ්‍යයා තමයි ජීවිතේ උපරිම සතුටින් ජීවත් වෙන්නේ.
දුක අමතක කරලා කවදාවත් සතුටට පත් වෙන්න බෑ. මොකද සතුට පිටිපස්සෙන් දුක එනවා. දුක නොඑන සතුටක් නෑ. බුදු හාමුදුරුවන්ගේ දර්ශනය ගොඩනැගිලා තියෙන්නෙම මේ දුක පිළිබඳ සිතීමේ අදහසත් එක්ක. දුක පිළිබඳ දර්ශනය මතුපිටින් හිතනවා වගේ අසුබවාදී නෑ. දුක පිළිබඳ හිතන මනුෂ්‍යයා සතුටට පත්වෙන්නේ කොහොමද කියන එක බුදු දහමේ උගන්වනවා. මනුෂ්‍යයා මොන මතයේ සිටියත්, මොන අදහස් දැරුවත් ඔහුට  දුක මගහැර යා නොහැකියි. සිදුහත් කුමාරයා මහල්ලෙක්, ලෙඩෙක්, මලකඳක් දකිනවා. ඒ තමයි දුක පිළිබඳ අවබෝධයේ මූලික පියවර. අපි මොනතරම් මලු අය, ලෙඩ්ඩු දකිනවාද? මිනිස්සු මැරිලා ඉන්නවා දකිනවාද? හැබැයි දුක අපිට අවබෝධ වෙන්නේ නෑ. අපි දුක දැකලා අතාරිනවා. දුක දැනෙනවා, අතහරිනවා. මොකද දුක අතෑරියාම තාවකාලිකව සතුටක් ලැබෙනවා. දුක අතාරින්නත් පුළුවන්, ඉබේ අතෑරෙන්නත් පුළුවන්. මොකද ජීවත් වෙනවා කියන්නේ දුක මෙනෙහි කරකර දුකේම සිටීමක් නොවන නිසා. හැබැයි දුක අවබෝධකර ගත්ත කෙනා දුක අල්ලාගෙන ඉන්නෙ නෑ. එයත් දුක අතාරිනවා. හැබැයි අපි දුක අතාරින විදිහට නෙමෙයි එයා දුක අතාරින්නේ. අපි දුක අතාරින්නේ සතුට අල්ල ගන්න. හැබැයි එයා දුක අතාරින්නේ සතුට අල්ල ගැනීමේ අදහසින් නෙමෙයි. ඔහුට නැවත කිසිවක් අල්ලා ගැනීමේ අදහසක් නෑ. ඔහු හැරීමත් අතහැරපු මිනිහෙක්.
අතහැරීමත්, අතහැරපු අය අපට ලේසියෙන් හමුවන්නේ නෑ. අපට හමුවෙන්නේ අතහරින්න ඕනේ කියලා අතහැරීම අල්ලගෙන බුදු දහමේ නාමයෙන් බණ කතා, රස කතා, ජාතක කතා කියකිය පිනට ලෝභකමේ ඉන්න අය විතරයි.

mamatharunaya.blogspot.com 

පුංචි කෝච්චිය වෙනුවට ලොකු කෝච්චි යාම සඳහා රේල් පාර ලොකු කළ හැටිද මට මතකය



මා දැන් උදේ සවස රැකියාවට යන්නේ %කැලණිවැලි^ දුම්රියෙනි. %කැලණිවැලි^ මාර්ගයේ ගමන් ගන්නා දුම්රියේ හූ හඬ සමග අපගේ ජීවිත බැඳී තිබේ. අප කුඩා කල මෙම මාර්ගයේ ගමන් කළේ පුංචි කෝච්චියයි. පුංචි කෝච්චියද එය ගමන් කළ රේල් පාරද මට හොඳට මතකය. පන්නිපිටියත්, මහරගමත් අතර පුංචි කෝච්චියේ හූ හඬ කන් දෙදරවන තරමේ ආසන්න නිවසක මම උපත ලැබුවෙමි. ඒ නිසා පුංචි කෝච්චියේ හූ හඬ මට හොඳ හැටි හුරුය. දුම් දමමින් දිවයන අඟරු කෝච්චියේ හූ හඬෙහි මහා වේදනාවක්, දුකක්, පාළුවක්, සාංකාවක් ඇතැයි මට සිතෙයි. දැනුදු අඟරු කෝච්චියක හූ හඬ නාට්‍යයක හෝ චිත්‍රපටයක ඇසෙද්දී මට අතීතය සිහිවෙයි. මියගිය ආච්චිද, ආතාද සිහියට නැගෙයි. පුංචි කෝච්චියේ මූසල හූ හඬ මට ගෙන එන්නේ වේදනාවකි. දුම්රිය නැවතුම් පොළ තිබෙන්නේ මහරගමත්, පන්නිපිටියත් අතරය. ඒ අතර මැද ජීවත්වූ අපගේ නෑසිය හිතමිතුරෝ පන්නිපිටියෙන් බැස ආපස්සට එති. නැතිනම් මහරගමින් බැස ඉදිරියට එති. එය අතර ඇතැම් ජවසම්පන්න තරුණයන් නිවෙස් අසලින් යනවිට දුම්රියෙන් පනින බව ආච්චි කිව්වා මට මතකය. ඒ පන්නිපිටිය ආසන්නයේ ඇති වංගුවෙනි.
දිනක් පුංචි කෝච්චිය නවත්වා එක දිගට හූ කියනවා මට ඇසුණේය. කෝච්චිය නවත්වා ඇත. අනේ දෙයියනේ කවුරු හරි කෝච්චියට බෙල්ල තියලද කියා ආච්චි කනගාටු උනුහැටි මට හොඳට මතකය.
ආච්චිගේ නිගමනය හරිය. කවුදෝ කෝච්චියට බෙල්ල තබා තිබේ. නිවසේ සිටි මාමලා, පුංචිලා, නැදෑයෝ, ඥාති සහෝදර සහෝදරියන් ටෝච් රැගෙන හුළුඅතු බැඳගෙන කෝච්චියට බෙල්ල තැබූ මිනිහා බලන්නට ගියේය. කිසියම් භීතියක් හා වේදනාවකින් පසු වූ මමත් ආච්චිගේ නිවසේ තනියට උන්නෙමි.
&මේ මිනිසුන්ට මොනව වෙලාද? තමන්ගෙ පණ නැති කරගන්න එකත් පාපයක්* කියා ආච්චි කීවාය. &උඹලාගේ ඔය ආතත් රේල්ලුවට බෙල්ල තියන්න ගියා* කියා ආච්චි පරණ කතාවක් මතක් කළාය.
&ඒ මොකද ඒ* කියා මම ඇසුවෙමි.
&එයාට බඳින්න මම කැමති උනේ නෑ කියලා මේ මනුස්සයා රේල්ලුවට බෙල්ල තියන්න ගියා නේ. ඊට පස්සෙ තමයි මම කැමති උනේ. මම අකමැති උනානම් ආතත් අද ජීවතුන් අතර නෑ.* කියා ආච්චි කීවාය. රේල්ලුවට බෙල්ලු තැබු පුද්ගලයාගේ හිසෙන් වෙන්වී ගිය ශරීරය දෙස බලා පැමිණි ඥාති සහෝදර සහෝදරියන් එදින රාත්‍රියට ආහාර නොගෙන වික්ෂිප්ත වූ සිතින් යුතුව නින්දට වැටුණු සැටිද මට හොඳට මතකය.
පුංචි කෝච්චිය වෙනුවට ලොකු කෝච්චි යාම සඳහා රේල් පාර ලොකු කළ හැටිද මට මතකය. රේල් පාර ලොකු කළේද අපූරු ආකාරයටය. රේල් පාර පළල් කළේ පුංචි කෝච්චියටත්, ලොකු කෝච්චියටත් යා හැකි ආකාරයටය. එවිට රේල් පාරේ පීලි තුනකි. පිලී තුනේ දුම්රිය මාර්ගයක් ලෝකයේම තිබුණේ නම් ඒ කැලණිවැලි දුම්රිය මාර්ගයේ විය යුතුය. පසු කාලෙක පුංචි කෝච්චියට යා හැකිව තිබූ මැද පීල්ල ගැලවී ගියේය. අද මැද පීල්ලත් නැත. පුංචි කෝච්චියත් නැත. අඟරු කෝච්චියත් නැත. මූසල හූ හඬත් නැත. ඒ වෙනුවට ඩීසල් එන්ජිම සහිත යකඩ යකා හෝන් හඬ නංවමින් සුපුරුදු කැලණිවැලි දුම්රිය මාර්ගය ඔස්සේ දුවන්නේය. එදා පුංචි කෝච්චියේ ගිය පිරිස දැන් මහලු වියට පැමිණි තිබේ. ලොකු කෝච්චියේ උදේ හවස රැකියාවට යනවිට ඇතැම් වැඩිහිටියන් පුංචි කෝච්චියේ විස්තර කියනු ඉඳහිට මටද ඇසෙයි.
කැලණිවැලි දුම්රිය මාර්ගය වැටී ඇත්තේ වතුපිටි මැදිනි. ගෙවල්වල සාල, කුස්සි, නාන කාමර අතරිනි. ගෙවල්වල පිළිකන්නෙනි. රෙදිවැල දෙපසිනි. ගෙවල්වල ටකරන් වහල ඇගේ ගෑවෙන සමීපයෙහි කැලණිවැලි දුම්රිය මගෙහි ගමන් ගන්නා විට මේ මිනිසුන්ගේ ජන ජීවිතයද රූප රාමු ලෙස ඇස ගැටෙයි. මේ දුම්රියේ ගමනේ බොහෝ රස කතා, දුක්බර කතා, කාම කතා, ආදර කතා පිරී තිබේ. එම කතාවන්ට මුහුණදෙන ගැහැනු මිනිසුන්ගේ කතා ඉදිරි සතියකදී ලිවීමේ අදහසින් අදට මෙම ලිවීම මෙතෙනින් හමාර කරන්නෙමි.

mamatharunaya.blogspot.com

ජීවිතය සැහැල්ලුවෙන් ගෙවන්න


දිගු නිවාඩු මිනිස්සුන්ට ජීවිතය ලබාදෙන්නේය. නිවාඩුවට රැකියා කරන අය ගමේ යන්නෝය. ට්‍රිප් යන්නෝය. මිතුරු මිතුරියන් හමුවන්නෝය. දරුවන් සමග සෙල්ලම් කරන්නෝය. දෙමවුපියන් බලන්නට ගොස් කතාබහ කරමින් කාලය ගත කරන්නෝය. මේ මනුෂ්‍යය සම්බන්ධතා සුන්දරය. මිනිසා ජීවත් වන්නේ කෙටි කාලයකි. එම කාලය තුළ මිනිසුන් එකිනෙකා හමුවිය යුතුය. කතාබහ කළ යුතුය. අද්දැකීම් බෙදාහදා ගත යුතුය. අතීත මතක ආවර්ජනය කළ යුතුය. නාට්‍ය‘ය, චිත්‍රපට බැලිය යුතුය. එසේ නොමැතිව යන්ත්‍ර සූත්‍ර මෙන් එක දිගට වැඩ කරමින් මුදල් පසුපස හඹායාමේ තේරුමක් තිබේද?
අපට දෙමවුපියන්, නෑදෑයන්, මිතුරු මිතුරියන්, දරුවන් හමුවන්නේ ජීවත්ව සිටින කාලය තුළ පමණි. එම කාලය කොතෙක් දැයි අපි කිසිවෙකුත් නොදනිමු.  අනේ අපිට තව බොහෝ කාලයක් ජීවත් වීමට තිබෙනවා  කියා මානුෂික බැඳීම් පසුපසට තල්ලු කර දමා මගහැර ජීවත් විය හැකිද? හෙට කුමක් සිදුවේවිද? ඊළඟ නිමේෂයේ කුමක් සිදුවේවිද කියා අපි නොදනිමු. ඒ අවිනිශ්චිතතාවය නිසා එළැඹෙන සෑම මොහොතකම මනුෂ්‍ය සම්බන්ධතවයක් වෙනුවෙන් කාලය ගත කළ යුතුය. මනුෂ්‍ය සම්බන්ධතා වෙනුවෙන් කලාය ගත කිරීම කාලය කා දැමීමක් නොවේ. පෙම්වතිය, බිරිඳ, සැමියා, පෙම්වතා වෙනුවෙන් කාලය ගත කිරීම කාලය අපතේ හැරීමක් නොවේ. මිනිසුන් නම් ඔවුනොවුන් හමුවිය යුතුය. කතාබහ කළ යුතුය.
අතීතයේ සෝවියට් දේශයේ කම්කරුවන් වැඩ කළ යුතු  පැය අට, පැය හයේ සිට පැය පහ දක්වා අඩුකළේ කම්කරුවන්ට පවුල් සමග ජීවත් වීමටත්, සංස්කෘතික ජීවිත ගත කිරීමටත් ඉඩලබාදීමටය. එය නිකරුණේ කාලය කා දැමීමක් නොවේ. එහෙත් වර්තමානයේ හැම පණ්ඩිතයාම අපට උගන්වන්නේ කාල කළමනාකරණය ගැනය. කාලය රන් හා සමාන යැයි කියමින් වැඩ කරන හැටිය. පැය අට, පැය දොළහ, දාසය දක්වා දක්වා වැඩ කර ගන්නා හැටිය.

දැන් මිනිසුන්ට නිදහසේ සිටීමේ විද්‍යාවක් ඉගැන්විය යුතුය. විනෝදවීමේ ආකාරයත් ඉගැන්විය යුතුය. සමහර පුද්ගලයෝ ආයතනවලට වැඩ  කරන්නේ ප්‍ර‘වේනිදාසයන් ආකාරයටය. තමන් වැටුපකට වැඩ කරන කම්කරුවන් බව නොසිතා ආයතනයේ හිමිකරුවාටත් වඩා ආයතනයට කරදර කරමින් දිවා රෑ වෙහෙසෙමින් ගොනෙකු සේ වැඩ කරන්නේය. ප්‍ර‘වේනි දාසයා ඉඩමට බැඳ දමා තිබූ ආකාරයට මේ නූතන ප්‍ර‘වේනිදාසයා ටයි පටියට, වාහනයට, තනතුරට ආයතනයට බැඳී සිටින්නේය. මනුෂ්‍ය සම්බන්ධතා වෙනුවට ආයතනයේ ලාභය වෙනුවෙන් අමනුෂ්‍ය‘යෙකු ලෙස හැසිරෙන්නේය. නිවාඩු ගන්න, ජීවිතය විඳින්න, අතහැරීම පුරුදුවන්න. එවිට ජීවිතයේ සැහැල්ලුබව ඔබට දැනේවි.

දැන් අපට අවශ්‍ය බුද්ධිය මෙහෙයවා අභියෝගයන්ට මුහුණදී ඒවා ජයගන්නා දේශප්‍රේමීන්ය

දැන් අපට අවශ්‍ය බුද්ධිය මෙහෙයවා අභියෝගයන්ට මුහුණදී ඒවා ජයගන්නා දේශප්‍රේමීන්ය
ජාතික වීරයෝවීමට පහසු මඟක් නිර්මාණය වී තිබේ. ඒ සඳහා අවශ්‍ය වන්නේ ජංගම දුරකථනයක් හා ෆේස්බුක් ගිණුමක් පමණි. ජංගම දුරකථනයකින් ජාතික වීරයෙක් වන්නේ කෙසේද? එය හරිම සරලය. පහසුය. එනම්, කළ යුත්තේ ජංගම දුරකථනයේ කැමරාව ඔන් කර රෙකෝඩ් බොත්තම ඔබා සෙල්ෆි විඩීයෝවක් ලබාගැනීම පමණි. මෙම සෙල්ෆි විඩීයෝවට රට, ජාතිය, ආගම ගැන ඇඟේ මවිල් කෙළින් වන ආකාරයේ කතාවක් පැවැත්වීම අනිවාර්ය වේ. සිංහල ජාතිය සහ බුද්දාගම මහා අනතුරක බවත්, මුස්ලිම් ජාතිය රට ආක්‍රමණය කරන බවත්, කොටි අවදි වෙමින් සිටිය යුතු බවත් පැවසිය යුතුය. නිදා සිටින සිංහයන් නැගිට වරෙව්! යනුවෙන්ද පැවසිය යුතුය. එසේ පැවසූ විට ඔහු ජාතික වීරයෙකි. ඇය ජාතික වීරවරියකි.
කවුරුන් කෙසේ කීවද මේ නව තත්ත්වය වන්නේ කිසියම් ප්‍රමාණයකට සමාජය සංවිධානය කිරීමට හැකියාව ලැබී තිබීමය. පසුගිය දිනවල සිංහල ජාතිය රකින සංවිධාන හා පුද්ගලයන් බිහිවුණේ මා පෙර සඳහන් කළ ආකාරයෙනි. ඔවුහු එසේ සංවිධානය වී උද්ඝෝෂණ කරති. සිරිපාදයට බුදු පිළිම වඩම්වති.
මෙහි සාධනීය හා නිෂේධනීය බොහෝ දේ තිබේ. සාධනීය දෙය වන්නේ සමාජ ජාල වෙබ් අඩවිවලට සාමජය විවිධ අරමුණු වටා සංවිධානය කර ගැනීමේ හැකියාව ලැබීමය. මීට පෙර එම කාර්ය කළේ පත්තර, ටී.වී., ගුවන්විදුලි වැනි ප්‍රධාන මාධ්‍ය ආයතන විසිනි. සමාජය විවිධ අරමුණු වටා සංවිධානය කිරීමට පෙර කල විශාල මුදලක් වැය විය. මාධ්‍ය ආයතනවල ත්‍යාගපත්‍ර අනුව මාධ්‍ය හැසිරුණේය. ආණ්ඩුවට හිතවාදීවීම හෝ විරුද්ධ වීම අදාළ මාධ්‍ය ආයතනයේ න්‍යාය පත්‍රයට සමපාත විය.
අද වගේ නෙවේ. ඕනෑම පුද්ගලයෙකුට අන්තර්ජාලය ඔස්සේ තොරතුරු ලබාදිය හැකිය. තොරතුරු ලබාගත හැකිය. ස්මාර්ට් ජංගම දුරකථනයකින් ෆේස්බුක් හරහා සජීවීව ඕනෑම තැනක සිදුවන සිදුවීම වීඩියෝ මාධ්‍ය‘යෙන් බෙදා හැරිය හැකිය. දැන් සඟවා තබාගැනීම් කළ නොහැකිය. ප්‍රධාන මාධ්‍ය තුළ වාරණය වන තොරතුරු අන්තර්ජාලයෙන් ලබාගත හැකිය. මේ නව මාධ්‍ය ශක්‍යතාවයන් සමාජ සම්බන්ධතා පමණක් නොව මානුෂික බැඳීම්ද වෙනස් කර තිබේ.
ජාති ආගම් බදාගෙන ඒ වෙනුවෙන් හඬ නගන තරුණ පිරිස තව බොහෝ දේ ඉගෙනගත යුතුව තිබේ. අවේගය, චණ්ඩිකම, කැපී පෙනීමට උත්සහ දැරීම බැහැර කොට බුද්ධිය හා චින්තනමය වශයෙන් පෝෂණය විය යුතුව තිබේ. එඩිතරකම පමණක් මේ සඳහා ප්‍රමාණවත් නැත. බොහෝ තරුණයේ මෙකල ජාතික ආගම පිළිබඳ කෑගසන්නේ කිසිදු අවබෝධයකින් හෝ දැකීමකින් නොවේ. මෙම සංවිධාන තවදුරටත් මෝඩ චණ්ඩිපාට් දමනු වෙනුවට, කරුණු කරාණා සහිතව හරයක් හා චින්තනයක් සහිත පිරිසක් නිර්මාණය කර ගැනීමට කටයුතු කළ යුතුය.

දැන් අපිට අවශ්‍ය කඩා බිඳ දමන, විනාශ කරන, මරා දමන, දේශප්‍රේමීන් නොවේ. බුද්ධිය මෙහෙයවා අභියෝගයන්ට මුහුණදී ඒවා ජයගන්නා දේශප්‍රේමීන්ය. බුද්ධිය භාවිත කිරීම යනු නිවට වීම නොවන බවද මෙහිදී මතක් කළ යුතුව තිබේ.