Thursday, August 24, 2017

ජීවිතය සැහැල්ලුවෙන් ගෙවන්න


දිගු නිවාඩු මිනිස්සුන්ට ජීවිතය ලබාදෙන්නේය. නිවාඩුවට රැකියා කරන අය ගමේ යන්නෝය. ට්‍රිප් යන්නෝය. මිතුරු මිතුරියන් හමුවන්නෝය. දරුවන් සමග සෙල්ලම් කරන්නෝය. දෙමවුපියන් බලන්නට ගොස් කතාබහ කරමින් කාලය ගත කරන්නෝය. මේ මනුෂ්‍යය සම්බන්ධතා සුන්දරය. මිනිසා ජීවත් වන්නේ කෙටි කාලයකි. එම කාලය තුළ මිනිසුන් එකිනෙකා හමුවිය යුතුය. කතාබහ කළ යුතුය. අද්දැකීම් බෙදාහදා ගත යුතුය. අතීත මතක ආවර්ජනය කළ යුතුය. නාට්‍ය‘ය, චිත්‍රපට බැලිය යුතුය. එසේ නොමැතිව යන්ත්‍ර සූත්‍ර මෙන් එක දිගට වැඩ කරමින් මුදල් පසුපස හඹායාමේ තේරුමක් තිබේද?
අපට දෙමවුපියන්, නෑදෑයන්, මිතුරු මිතුරියන්, දරුවන් හමුවන්නේ ජීවත්ව සිටින කාලය තුළ පමණි. එම කාලය කොතෙක් දැයි අපි කිසිවෙකුත් නොදනිමු.  අනේ අපිට තව බොහෝ කාලයක් ජීවත් වීමට තිබෙනවා  කියා මානුෂික බැඳීම් පසුපසට තල්ලු කර දමා මගහැර ජීවත් විය හැකිද? හෙට කුමක් සිදුවේවිද? ඊළඟ නිමේෂයේ කුමක් සිදුවේවිද කියා අපි නොදනිමු. ඒ අවිනිශ්චිතතාවය නිසා එළැඹෙන සෑම මොහොතකම මනුෂ්‍ය සම්බන්ධතවයක් වෙනුවෙන් කාලය ගත කළ යුතුය. මනුෂ්‍ය සම්බන්ධතා වෙනුවෙන් කලාය ගත කිරීම කාලය කා දැමීමක් නොවේ. පෙම්වතිය, බිරිඳ, සැමියා, පෙම්වතා වෙනුවෙන් කාලය ගත කිරීම කාලය අපතේ හැරීමක් නොවේ. මිනිසුන් නම් ඔවුනොවුන් හමුවිය යුතුය. කතාබහ කළ යුතුය.
අතීතයේ සෝවියට් දේශයේ කම්කරුවන් වැඩ කළ යුතු  පැය අට, පැය හයේ සිට පැය පහ දක්වා අඩුකළේ කම්කරුවන්ට පවුල් සමග ජීවත් වීමටත්, සංස්කෘතික ජීවිත ගත කිරීමටත් ඉඩලබාදීමටය. එය නිකරුණේ කාලය කා දැමීමක් නොවේ. එහෙත් වර්තමානයේ හැම පණ්ඩිතයාම අපට උගන්වන්නේ කාල කළමනාකරණය ගැනය. කාලය රන් හා සමාන යැයි කියමින් වැඩ කරන හැටිය. පැය අට, පැය දොළහ, දාසය දක්වා දක්වා වැඩ කර ගන්නා හැටිය.

දැන් මිනිසුන්ට නිදහසේ සිටීමේ විද්‍යාවක් ඉගැන්විය යුතුය. විනෝදවීමේ ආකාරයත් ඉගැන්විය යුතුය. සමහර පුද්ගලයෝ ආයතනවලට වැඩ  කරන්නේ ප්‍ර‘වේනිදාසයන් ආකාරයටය. තමන් වැටුපකට වැඩ කරන කම්කරුවන් බව නොසිතා ආයතනයේ හිමිකරුවාටත් වඩා ආයතනයට කරදර කරමින් දිවා රෑ වෙහෙසෙමින් ගොනෙකු සේ වැඩ කරන්නේය. ප්‍ර‘වේනි දාසයා ඉඩමට බැඳ දමා තිබූ ආකාරයට මේ නූතන ප්‍ර‘වේනිදාසයා ටයි පටියට, වාහනයට, තනතුරට ආයතනයට බැඳී සිටින්නේය. මනුෂ්‍ය සම්බන්ධතා වෙනුවට ආයතනයේ ලාභය වෙනුවෙන් අමනුෂ්‍ය‘යෙකු ලෙස හැසිරෙන්නේය. නිවාඩු ගන්න, ජීවිතය විඳින්න, අතහැරීම පුරුදුවන්න. එවිට ජීවිතයේ සැහැල්ලුබව ඔබට දැනේවි.

දැන් අපට අවශ්‍ය බුද්ධිය මෙහෙයවා අභියෝගයන්ට මුහුණදී ඒවා ජයගන්නා දේශප්‍රේමීන්ය

දැන් අපට අවශ්‍ය බුද්ධිය මෙහෙයවා අභියෝගයන්ට මුහුණදී ඒවා ජයගන්නා දේශප්‍රේමීන්ය
ජාතික වීරයෝවීමට පහසු මඟක් නිර්මාණය වී තිබේ. ඒ සඳහා අවශ්‍ය වන්නේ ජංගම දුරකථනයක් හා ෆේස්බුක් ගිණුමක් පමණි. ජංගම දුරකථනයකින් ජාතික වීරයෙක් වන්නේ කෙසේද? එය හරිම සරලය. පහසුය. එනම්, කළ යුත්තේ ජංගම දුරකථනයේ කැමරාව ඔන් කර රෙකෝඩ් බොත්තම ඔබා සෙල්ෆි විඩීයෝවක් ලබාගැනීම පමණි. මෙම සෙල්ෆි විඩීයෝවට රට, ජාතිය, ආගම ගැන ඇඟේ මවිල් කෙළින් වන ආකාරයේ කතාවක් පැවැත්වීම අනිවාර්ය වේ. සිංහල ජාතිය සහ බුද්දාගම මහා අනතුරක බවත්, මුස්ලිම් ජාතිය රට ආක්‍රමණය කරන බවත්, කොටි අවදි වෙමින් සිටිය යුතු බවත් පැවසිය යුතුය. නිදා සිටින සිංහයන් නැගිට වරෙව්! යනුවෙන්ද පැවසිය යුතුය. එසේ පැවසූ විට ඔහු ජාතික වීරයෙකි. ඇය ජාතික වීරවරියකි.
කවුරුන් කෙසේ කීවද මේ නව තත්ත්වය වන්නේ කිසියම් ප්‍රමාණයකට සමාජය සංවිධානය කිරීමට හැකියාව ලැබී තිබීමය. පසුගිය දිනවල සිංහල ජාතිය රකින සංවිධාන හා පුද්ගලයන් බිහිවුණේ මා පෙර සඳහන් කළ ආකාරයෙනි. ඔවුහු එසේ සංවිධානය වී උද්ඝෝෂණ කරති. සිරිපාදයට බුදු පිළිම වඩම්වති.
මෙහි සාධනීය හා නිෂේධනීය බොහෝ දේ තිබේ. සාධනීය දෙය වන්නේ සමාජ ජාල වෙබ් අඩවිවලට සාමජය විවිධ අරමුණු වටා සංවිධානය කර ගැනීමේ හැකියාව ලැබීමය. මීට පෙර එම කාර්ය කළේ පත්තර, ටී.වී., ගුවන්විදුලි වැනි ප්‍රධාන මාධ්‍ය ආයතන විසිනි. සමාජය විවිධ අරමුණු වටා සංවිධානය කිරීමට පෙර කල විශාල මුදලක් වැය විය. මාධ්‍ය ආයතනවල ත්‍යාගපත්‍ර අනුව මාධ්‍ය හැසිරුණේය. ආණ්ඩුවට හිතවාදීවීම හෝ විරුද්ධ වීම අදාළ මාධ්‍ය ආයතනයේ න්‍යාය පත්‍රයට සමපාත විය.
අද වගේ නෙවේ. ඕනෑම පුද්ගලයෙකුට අන්තර්ජාලය ඔස්සේ තොරතුරු ලබාදිය හැකිය. තොරතුරු ලබාගත හැකිය. ස්මාර්ට් ජංගම දුරකථනයකින් ෆේස්බුක් හරහා සජීවීව ඕනෑම තැනක සිදුවන සිදුවීම වීඩියෝ මාධ්‍ය‘යෙන් බෙදා හැරිය හැකිය. දැන් සඟවා තබාගැනීම් කළ නොහැකිය. ප්‍රධාන මාධ්‍ය තුළ වාරණය වන තොරතුරු අන්තර්ජාලයෙන් ලබාගත හැකිය. මේ නව මාධ්‍ය ශක්‍යතාවයන් සමාජ සම්බන්ධතා පමණක් නොව මානුෂික බැඳීම්ද වෙනස් කර තිබේ.
ජාති ආගම් බදාගෙන ඒ වෙනුවෙන් හඬ නගන තරුණ පිරිස තව බොහෝ දේ ඉගෙනගත යුතුව තිබේ. අවේගය, චණ්ඩිකම, කැපී පෙනීමට උත්සහ දැරීම බැහැර කොට බුද්ධිය හා චින්තනමය වශයෙන් පෝෂණය විය යුතුව තිබේ. එඩිතරකම පමණක් මේ සඳහා ප්‍රමාණවත් නැත. බොහෝ තරුණයේ මෙකල ජාතික ආගම පිළිබඳ කෑගසන්නේ කිසිදු අවබෝධයකින් හෝ දැකීමකින් නොවේ. මෙම සංවිධාන තවදුරටත් මෝඩ චණ්ඩිපාට් දමනු වෙනුවට, කරුණු කරාණා සහිතව හරයක් හා චින්තනයක් සහිත පිරිසක් නිර්මාණය කර ගැනීමට කටයුතු කළ යුතුය.

දැන් අපිට අවශ්‍ය කඩා බිඳ දමන, විනාශ කරන, මරා දමන, දේශප්‍රේමීන් නොවේ. බුද්ධිය මෙහෙයවා අභියෝගයන්ට මුහුණදී ඒවා ජයගන්නා දේශප්‍රේමීන්ය. බුද්ධිය භාවිත කිරීම යනු නිවට වීම නොවන බවද මෙහිදී මතක් කළ යුතුව තිබේ.

සෙවීම අවසාන කරන්න පුළුවන්, සෙවීම මොකක්ද කියලා හරියටම හොයාගත්ත දවසට විතරයි


සොයාගැනීම තව දුරටත් ලියන්න ඕනෙ කියලා හිතුණෙ සොයා ගැනීම ගැන සොයා ගත්ත නිසා නම් නෙමෙයි. සොයා ගැනීම ගැන, සොයා ගැනීම හිතන තරම් ලේසි වැඩක් නොවන නිසා.
බටහිර විද්‍යාවෙන් හොයාගන්න දේවල් තියෙනවා කියලා හොයන්න පටන්ගත්තා. එයාලා විද්‍යාවෙන් එකඑක දේවල් හොයාගත්තා. අභ්‍යවකාශයට ගියා. හඳට ගියා. අඟහරුට යානා යැව්වා. හැබැයි මේ සෙවීම අවසන් නෑ. තාම හොයනවා. බටහිර විද්‍යාවට සෙවීමේ අවසානයක් නෑ. හොයලා ඉවර වෙච්ච තැනින් ආපහු හොයනවා. සෙවීම කියන්නේ මොකක්ද කියලා හොයන්න පටන් ගත්තාම ගොඩක් සේවල් හම්බ වෙනවා. අනාගතයේදී තව තව බොහෝ දේ හොයාගනියි. සත්‍ය වශයෙන්ම නොපවතින දෙයක් හොයාගන්න බටහිර විද්‍යාවට බෑ. තිබෙන, එහෙත් නොදන්න දෙයක් තමයි හොයාගන්නේ. හොයන දේ තිබෙන දේට සම්බන්ධයි. තිබෙන දෙය හොයන දෙයට සම්බන්ධයි.
පෙරදිග දර්ශනය ගැන මම තරමක් දුරට කියවලා තියෙන නිසා මට තේරුණ දෙයක් තමයි, පෙරදිග දාර්ශනිකයන් විද්‍යාත්මක දේවල් හොයන්න ගියේ නෑ. එයාලා ජීවිතේ අර්ථය හෙව්වා. මොකක්ද මේ ජීවිතේ කියලා හිතුවා. ජීවිතේ තුළින්ම තමයි ජීවිතය හොයාගන්න උත්සාහ කළේ. ජීවිතේ පිටතින් දෙයක් හොයනවට වඩා ඇතුළින් තමයි ගොඩක් දේ හොයන්න පටන් ගත්තේ. ඒ නිසා පෙරදිගින් හොයාගත්ත භෞතික දේ හරි අඩුයි. ඇසට පෙනෙන ස්පර්ශ වන දේ හරි අඩුයි. පෙරදිග දාර්ශනිකයන් හොයාගත්තේ ආධ්‍යාත්මික දේවල්.
බුදු හාමුදුරුවෝ සොයාගත්තේ %නිවන^ කියලා අපි කියනවානේ. හැබැයි %නිවන^ කියන්නේ සොයාගත්ත දෙයක් වුණාට, නිවන සමග සොයා ගැනීමක් සොයාගත්තා.  නිවන පන්සල්වලින්, බෝධි පූජාවෙන්, පිංකම්වලින්, මල් පෙරහැරින් නම් කවදාවත්ම හම්බවෙන්නේ නෑ. නිවන ස්ථානයක්, දෙයක්, වස්තුවක් නෙමෙයි හම්බවෙන්න. %නිවන^ හම්බවෙයි කියලා හෙව්වට හම්බ වෙන්න දෙයක් නෙමෙයි. නිවන පාරභෞතික දෙයක් කියලා බැහැර කරන්න බෑ. නිවන කියලා වචනයක් දීලා තිබුණට මේ වැඩේ වචනයට, අර්ථයට අහුවෙන්නෙ නෑ. හිතීම් දිගේ දුර ගමනක් යන ඕනෑම කෙනෙකුට නොහිතන අමුතු අමුතු සිතීම් පහළ වෙනවා. ජීවිතේ ගැන හිතෙන්න පටන්ගන්නවා. විශාල කලකිරීම් ඇතිවෙනවා. ඒ කලකිරීම් දිගේ ගියාම සතුටු වෙන්න පුළුවන් කෙළෙවරක් හම්බවෙනවා.
සෙවීම අවසාන කරන්න පුළුවන්, සෙවීම මොකක්ද කියලා හරියටම හොයාගත්ත දවසට විතරයි කියලා මේ ලිවීම අවසාන කරනවා.

mamatharunaya.blogspot.com

සොයා ගැනීම සොයා ගත්ත මිනිහෙකුට හොයන්න දෙයක් ඉතුරු වෙන්නේ නෑ.



අපි ජීවිත කාලය පුරාම මොකක්දෝ දෙයක් හොයනවා. හැබැයි හොයන්නෙ මොකක්ද කියලා දන්නෙ නැතුව. ඔය විදියට සමහරු දේවල් හොයනකොට ඒ දේවල් හම්බ වෙනවා. හැබැයි හම්බඋනාට පස්සේ හිතනවා තව මොකක්දෝ මන්දා අඩුවක් තියෙනවා කියලා. ඒ විදිහට අඩුවක් දැනුණම තමයි හෙව්ව දේ හම්බවෙලා නෑ කියලා හිතෙන්නේ. හැම මිනිහම මොනවදෝ හොයනවා. හොයලා ඉවරවෙලා පැත්තකට වෙලා ඉන්න මිනිස්සු වෙනුවට, නැති වෙච්ච දේ හොයන මිනිස්සු තමයි අපි හැමෝටම හම්බ වෙන්නේ. හැමෝම හොයන කොට  හෙවීම කියන්නේ මොකක්ද කියලා හිතන්නෙ නෑ. එහෙම හොයන දෙන්නෙක් පෙම්වතුන් වෙනවා. පස්සෙ විවාහ වෙනවා. සෙවීම ඉවර වෙනවද? නෑ. තවත් මොනවදෝ හොයනවා. කවදාවත් සෙවීම නතර වෙන සෙවීමක් හම්බවෙන්නේ නෑ. සෙවීම නතර  වෙන සොයා ගැනීමක් කවුද හොයා ගත්තේ. ඇල්බට් අයිස්ටයින් තව දුරටත් සෙවීම නතර වෙන දෙයක් හොයාගත්තද? නෑ... සොයා ගත්ත දේ කියලා එයා මැරුණා. ඔහු සොයා ගත්ත තැන ඉඳන් තව තියනවා හොයන්න. ඉවර නෑ. මම කියන්නේ බුදු හාමුදුරුවෝ මොනවත් සොයා ගත්තේ නෑ. බුදු හාමුදුරුවෝ මොකක්ද හොයාගත්තේ. බුදු හාමුදුරුවෝ හොයාගත්තේ හොයා ගැනීම කියන්නේ මොකක්ද කියලා. සොයා ගැනීම සොයා ගත්ත මිනිහෙකුට හොයන්න දෙයක් ඉතුරු වෙන්නෙ නෑ. හොයාගැනීම හිතේ තියාගෙන, වෙන දේවල් හිතේ තියාගෙන හොයන අයට ගොඩක් දේවල් හම්බවෙනවා. විද්‍යාඥයන් ගොඩක් දේ හොයා ගන්නවා. එහෙම හොයා ගන්නේ සොයා ගැනීම මොකක්ද කියලා සොයන්නෙ නැති හින්දා. සොයා යාම සොයන අයට මොනවත්ම හම්බ වෙන්නේ නෑ. මොකද එයාලා හම්බවෙන දේවල් සොයන්නෙ නැති හින්දා. නිවන කියන්නේ සොයා ගැනීමක් නෙමෙයි, අපිට භාෂාවෙන් හරියටම පහදාගන්න බැරි නිසා නිවන හොයාගත්තා කියලා අපි කියනවා. නිවන කියන්නේ සොයා ගැනීම පිළිබඳ සොයාගැනීමක්. නිවන යනුවෙන් දෙයක් හම්බ වෙන්නේ නෑ. දෙවියන් වහන්සේ කියන්නේ සොයා ගැනීමක්. දෙවියෝ කොහේ හරි ඉන්නවා. බොරුවට හරි දෙවියෝ මිනිස්සුන්ගේ ඔළුවෙ ඉන්නවා. නිවන එහෙම නෑ. නිවන හොයන්න යන්න එපා. හොයන්නෙ නැති වෙච්ච දෙයක්, එහෙම නැත්නම් තියනවා කියලා හිතන දෙයක්. නිවන නැතිවෙලත් නෑ. තිබිලත් නෑ. ඒක සොයාගන්න පුළුවන්, සෙවීම ගැන හෙව්වොත් විතරයි.

ඇතැම් ආගමික ඉගැන්වීම් ශිෂ්ට සම්පන්න ලෝකයට කිසිසේත් නොගැළපෙයි


 සිංහල ජාතිවාදය කිසියම් ප්‍රමාණයකින් යටපත් වනවිට මුස්ලිම් ජාතිවාදය ගෝත්‍රික ලෙස හිස එසවීම බෙහෙවින් කනගාටුදායකය. මේ අන්තවාදී මුස්ලිම්වරු රටේ නීතියට ඉහළින් ආගමික සම්ප්‍රදාය රැකිය යුතු බව පවසයි. මුස්ලිම් ගැහැනු දරුවෙකු විවාහවීමේ වයස තීරණය කරනු ලබන්නේ රටේ නීතිය මිස ආගම් නොවේ. කවර ආගමික ඉගැන්වීම් තිබුණද, ඒ සියල්ල රටේ නීතියට යටය. ආගම තිබෙන්නේ රජය තුළ මිස රාජ්‍යයට ඉහළින් නොවේ. ඇතැම් ආගමික ඉගැන්වීම් ශිෂ්ට සම්පන්න ලෝකයට කිසිසේත් නොගැළපෙයි. ගැහැනු ළමයෙක් මල්වර වූ පසු විවාහය සඳහා  සුදුසු යැයි පවසන්නේ අශිෂ්ට ගෝත්‍රිකයන් මිස ශිෂ්ට සම්පන්න මිනිසුන් නොවේ.
මානව සමාජය පරිණාමය වී ආවේ කෙසේද? ශිෂ්ටාචාරය බිහි වී ශිෂ්ට සමාජයක් ගොඩනැගුනේ කෙසේද? ගල්යුගයේ දී සියල්ලෝ එකට ජීවත් වූහ. ඔවුන්ට ලිංගික තහංචි නොතිබුණි. පවුලේ සියල්ලෝම ලිංගික සම්බන්ධතා පැවැත්තුවෝය. අම්මා, පුතා, තාත්තා, දුව  කියා වෙනසක් නොතිබුණි. මානව ශිෂ්ටාචාරයේ එක්තරා අවදියක සහෝදර සහෝදරියන් අතර ලිංගික සම්බන්ධතා පැවැත්වීම චාරිත්‍රයක් බවට පත්ව තිබුණි. පසු කලෙක පවුල් ඒකකය තුළ ලිංගික සම්බන්ධතා පැවැත්වීම් තහනම් කළේය. පසුව එය නීතියක් බවට පත්විය. පියා දියණිය සමග ලිංගික සම්බන්ධතා පැවැත්වීම නීතියෙන් දඬුවම් ලැබිය හැකි වරදකි. සදාචාරයට, සංස්කෘතියට  එරෙහිවීමකි. මල්වර වූ අවුරුදු දහයේ දොළහේ ගැහැනු දරුවන් විවාහයට සුදුසු බව කියන මේ අන්තවාදී ගෝත්‍රිකයන් වහාම රෙදිගලවා වනාන්තරයට දැක්කිය යුතුය. අවාසනාවට කාරණය මෙය නොවේ.  විවාහ වීමට වයස් සීමාවක් අවශ්‍ය නොවන බව පවසව මුස්ලිම් ස්ත්‍රීන්ද සිටීමය. ගෝත්‍රික මුස්ලිම් පිරිමින්ට සහය දක්වමින් ගෝත්‍රික ගැහැනුන්ද විශාල පිරිසක් මේ උද්ඝෝෂණය පිටුපසින් ගමන් කිරීම ලැජ්ජා සහගතය.
බොහෝ ප්‍රගතිශීලී බෞද්ධයෝ සිංහල ජාතිවාදයට විරුද්ධව හඬනැගුවෝය. එහෙත් මේ අන්තවාදී මුස්ලිම් සංවිධානයට විරුද්ධව හඬනගන මුස්ලිම්වරුන් නැති තරම්ය. මුස්ලිම් දේශපාලකයෝ ගල්ගිලූ ඉබ්බන්සේ නිහඬව සිටිති. මේ නිහඬ බව නිසා  ජාතිවාදයට විරුද්ධ සිංහලයන්ද ජාතිවාදය දෙසට ඉබේම තල්ලු වී යන්නේය. ඤාණසාරහිමිට බැණ වැදීමෙන් ජාතිවාදී නොවන සිංහලයන් සතුටුවෙතැයි සිතීම මෝඩකමයි. මුස්ලිම්වරු අන්තවාදය කරට ගන්නේ නම් ප්‍රගතිශීලී ජාතිවාදී නොවන සිංහලයන්ද ජාතිවාදය කරට නොව, ඔළුවටම ගැනීමට සූදානම් බව මේ අන්තවාදී ගෝත්‍රික මුස්ලිම්වරුන්ට මතක් කර දිය යුතුව තිබේ.

Friday, September 2, 2016

විජය නන්දසිරි යනු අපූර්වතම හාස්‍ය නළුවෙකි. ඔහුගේ රංගනය වඩාත් සමීප වුණේ චාලි චැප්ලීන්ට නොව මිස්ට බීන්ටය.



ලංකාවේ බහුතරයක් දෙනා හාස්‍යෝත්පාදක නාට්‍ය රස විඳිමින් විනෝද උවද, හාස්‍ය නාට්‍යකරුවන්ට හෝ නළු නිළියන්ට උසස් පිළිගැනීමක් නැත.  මේ අර ජෝකර්නේ  යන අදහසින් ඇත්ත ජීවිතය තුළ දිත් පොදු ජනයා හාස්‍ය නළුනිළි දෙස බලති. හාස්‍ය නළුවා ඇත්ත ජීවිතය තුළත් විහිළුකාරයෙකු යැයි සිතන්නට පොදු ජනයා කැමති වෙති. හාස්‍ය ඉතා නරක බාල වැඩක් කියාද බොහෝ දෙනා සිතති. දුක වේදනාව ගුඹුරු ලෙසද, සිනහව, විනෝදය නොගැඹුරු බාලදෙයක් ලෙසද සිතීම අද ඊයේ සිදු වූ දෙයක් නොවේ. ඉපැරණි ග්‍රීක වේදිකාව තුළ පවා හාස්‍ය නාට්‍යවලට තිබුණේ අඩු පිළිගැනීමකි. ඇරිස්ටෝටල් පවා හාස්‍ය උසස්කොට සැලකුවේය. දුක උසස්ය, සතුට බාලය යන අදහස නාට්‍ය ඉතිහාසය තුළ මුලදීම ලබා දී තිබේ.
මට මේ පිළිබඳව ලිවීමට සිතුනේ විජය නන්දසිරි මහතාගේ අභාවය නිසාය. විජය නන්දසිරි යනු අපූර්වතම හාස්‍ය නළුවෙකි. ඔහුගේ රංගනය වඩාත් සමීප වුණේ චාලි චැප්ලීන්ට නොව මිස්ට බීන්ටය. චැප්ලීන් මතුකළ හාසය තුළ බරපතළ දේශපාලන අදහසක්, මතවාදයක් තිබුණේය. මිස්ට බීන්ට එවැනි දේශපාලන අදහසක්, මතවාදයක් නොතිබුණේය. චැප්ලීන්ගේ හාස්‍ය තුළ සමාජවාදී අදහසත්, හිට්ලර් නම් ෆැසිස්ට්වාදියාට විරෝධය පෑමත් ගැබ්ව තිබුණේය. මිස්ට බීන්ගේ හාස්‍ය තුළ තිබුණේ ධනවාදී ක්‍රමයේ පිළිවෙළ අවුලක් බවට පත්කිරීමෙන් ගොඩනැගුණු මතුපිටින් දිවෙන  හාස්‍යයක් පමණි. විජය නන්දසිරි මහතාටද සිදුවුණේ ධනවාදී දේශපාලන නායකයන්ගෙන් සිදුවිය හැකි යැයි ළාමක ලෙස උපකල්පනය කළ මතුපිට හාස්‍ය ගොඩනැගීම පමණි. ඒ තුළින් දේශපානය නායකයන් උපහාසයටලක් නොවුණු අතර, පොදුවේ දේශපාලකයා ලෙස උපකල්පනය කළ පුද්ගලයෙකුට හාස්‍ය මුසුවීමක් පමණක් සිදුවිය. විජය නන්දසිරි මහතා රඟපෑ දේශපාලකයාගේ භූමිකාව නිසා දේශපාලකයා කෙරේ  මිනිසා තව තවත් බැඳුනා විනා ඈත් වීමක් සිදුනොවුණි. විජය නන්දසිරි මහතා රඟපෑ දේශපාලකයාගේ භූමිකාව ඇත්ත දේශපාලකයාට වඩා සම්පූර්ණයෙන්ම වෙනස්ය. එවන් මරි මෝඩ දේශපාලකයෝ ඇත්ත දේශපාලන ලෝකයේ නැත. අඩුම තරමේ මර්වින් සිල්වාවත් එසේ නැත. විජය නන්දසිරි මහතා රඟපෑ දේශපාලකයාගේ භූමිකාව නරඹා මිනිසුන් තව තවත් මේ ක්‍රමය සමග බැඳුනා  විනා විචාර බුද්ධිය වඩවා දේශපානඥා දෙස බැලීමට යොමු නොවුණි. හැමෝම හිනා වෙමින් නිකන් සිටියා පමණි. චාලි චැප්ලීන් හිට්ලර් මෙන් රඟපා හිට්ලර්ට එරෙහිව මතවාදවයක්, විරෝධයක් ගොඩනැගුවද, විජය නන්දසිරි මහතා එවැනි චරිතයකට පණ පොවා විරෝධයක් ගොඩනැගුවේ නැත. ඒ වෙනුවට ඔහු යු.එන්.පී., ජේ.වී.පී., ශ්‍රී ලංකා ආදි සියලු පාක්ෂිකයන්ට හිනා විය හැකි බීන් ගනයේ දේශපාලකයෙකු ගොඩනැගුවේය. ඇත්ත දේශපාලනය දරුණුය, කපටිය, ප්‍රචණ්ඩය, සුක්ෂමය. විජය නන්දසිරි ගොඩනැගූ දේශපාලනය මෝඩය, ළාමකය, ගොන් චූන්ය. රටේ බහුතරය එම ළාමක දේශපාන හාස්‍ය පිළිගත්තේ ඒ නිසාය. මෙය විජය නන්දසිරි මහතාගේ රංගන ප්‍රතිභාවයට කරන අපහාසයක්, අවතක්සේරුවක් නොව, ඔහුට රඟපෑමට සිදුවූ චරිත එසේ විය.
කවුරු කෙසේ කීවද විජය නන්දසිරි මහතා මෝඩ ජෝක් හාස්‍යයට ප්‍රියතාවයක් දැක්වූවෙකු නොවේ. හාස්‍ය තුළ ඔහු කිසියම් ප්‍රමිතියක් නඩත්තු කරන්නට මහන්සි ගත්තේය. ඒ  පිළිබඳ අද්දැකීමක් මටද තිබේ. මමත්, තවත් රචකයෙකුත් ලියූ හාස්‍යය නාට්‍යයකට විජය අයියා රංගනයෙන් දායක විය. ඔහු රඟපෑ පසුතලයට මාද යන්නේය. ඔහු සමග කතාබහ කරන්නේය. ඔහු කවර විටකදීවත් හිස උදුම්මාගත් පණ්ඩිතයෙකු නොවුණි. පිටපතට ගරු කළේය. ඇතැම් නළුවෝ තමන්ගේ පණ්ඩිතකම පෙන්වීමට පිටපත නොසලකා තමන්ගේ දෙබස් එබීමට දඟලන්නේය. විජය අයියා එසේ නොවීය. &මල්ලී, මේ දෙබස මෙහෙම කිව්වාට අවුලක් නෑ නේද?* කියා අසන්නේය. ඔහු යොදන දෙබස නාට්‍යයට අලෝකයක් මිස, අවැඩක් නම් සිදු නොවුණි.
එත් දිනක් විජය අයියා රංගනයේදී විවේකය ලද මොහොතක බොහෝ වේලාවක් මා සමග කතා කරමින් සිටියේය. ඔහු රඟපෑ ඇතැම් හාස්‍ය නාට්‍ය පිළිබඳව එතරම් පැහැදීමක් ඔහුට නොතිබුණි. &මල්ලී පොඩි ළමයින්ට මොකක් හරි නාට්‍යයක් ලියලා කරමුද? මට නිෂ්පාදකයෙක් හොයාගන්නත් පුළුවන්.* යැයි ඔහු කීවේය. එවිට මා පැවසුවේ &අපි යක්ෂයන් සම්බන්ධ කර ගෙන ළමා ටෙලි නාට්‍යයක් කරමු* කියාය. &හැබැයි බන් යක්ෂයෝ දාලා ළමයි බය වෙයිද දන්නෙ නෑ. එහෙම නම් යක්ෂයෝ ටික හුරතල් කරලා දාමු.* කියා ඔහු පැවසුවේය. කුමක් හෝ අවසානාවකට එම පිටපත මට ලිවීමට නොහැකි විය. විජය අයියා, මිහිර සිරිතිලක ගැන බොහෝ ආදරයෙන් කතා කළේය.  &මිහිර කොයි වෙලාවකටවත් කට නිකන් තියාගෙන ඉන්නෙ නෑනේ. මොන මොනවා හරි කියවනවා. ඒකයි මිහිරගේ කොමඩි පන්ච් වෙන්නේ.* කියා විජය අයියා මිහිර දෙස බලමින් මට කීවේය. ඒ කතාව ඇත්තය. මිහිර නාට්‍ය තුළ හාස්‍යයට  වඩා හාස්‍යයක් නාට්‍ය‘යෙහි පිටත කරන්නේය. මිහිරද, විජය අයියා මෙන් පිටපත් රචකයන්ව අගය කරන, ගරු කරන නළුවෙකු වන්නේය. එයද මා අද්දැකීමෙන් දනිමි. විජය අයියා රංගන පසුතලයට පැමිණි පසු එයට මුල්තැන දෙන පුද්ගලයෙකු වන්නේය. අධ්‍යක්‍ෂකයන්ට කරදරයක් නොවන නිහතමානි නළුවෙකි. දැනමුතුකම්, පණ්ඩිතකම් දෙසමින් නවක නළු නිළියන් බියට පත්කරන, පොරවීමට උත්සහ නොදරන නළුවෙකි. එවැනි පුද්ගලයන් නම් මේ ක්ෂේත්‍ර‘යේ දුර්ලභය. හාස්‍ය රංගය තුළ විජය අයියාට කිසිවෙකුගෙන් අභියෝගයක් නොතිබුණි. බන්දුව අනුකරණය කරන්නට බිංදුට පුළුවන් වුවද, විජය නන්දසිරිට අනුණරණය කරන්නට සමතෙක් නොවුණි. ඔහු තුළ තිබුණේ රංගන ප්‍රසන්තභාවයයි. එය හඬ පමණක් අනුකරණයෙන් ලබාගත නොහැක්කි.
විජය අයියා රංගය තුළ හෝ රංගයෙන් උපයාගත් සිවිල් බලය තුළ දේශපාලන මතය සමාජ ගත නොකළේය.
මා ලියූ එක් දෙබසක් තුළ එකල පැවැති රාජපක්ෂ පාලනය විවේචනය වන්නට විය. එම දෙබස පැවසීම නිළිය ප්‍රතික්ෂේප කළාය.  ඒක කියලා මට මැරුම් කන්න බෑ* කියා නිළිය පවසන විට, විජය අයියා ඔහුට කීමට තිබූ දෙබස කිසිම විරෝධයකින් තොරව කීමට සුදානම්ව සිටියේය. පසුව අධ්‍යක්ෂතුමාගේ උපදෙස් පරිදි මම දෙබස් කණ්ඩය වෙනස් කර දුන්නෙමි. තවත් හාස්‍යමය රූපවාහිනී දේශපාලන සාකච්ඡාමය වැඩසටහනක් මෙහෙය වීමට විජය අයියාව තෝරා ගෙන තිබුණි. ඒ මොහොතේද ඔහු අසා තිබුණේ පිටපත ලියන්නේ කවුද කියාය. මා ලියන බව දැන ගත් විට ඔහු සතුටු වූ බව මම පසුව දැන ගත්තෙමි. මුල්ම වැඩසටනට සහභාගි වුණේ විමල් වීරවංශ හා අනුර කුමාර දිසානායක යන දේශපාන නායකයන් අනුකරණය කරන නළුවන්ය. එය මෙහෙය වූයේ විජය අයියාය. එමගින් ඇත්ත ලෝකයේ දේශපාලන නායකයන් විවේචනයට ලක් කළේය. කුමන හෝ හේතුවක් නිසා විජය අයියා පළමු වැඩසටහනින් පසු ඉන් ඉවත් වී ගියේය.
පසුව විජය අයියා හමුවූ අවස්ථාවක මා ඒ පිළිබඳව විමසූ විට ඔහු පැවසුවේ මූල්‍යමය හේතුවක් මත ඔහු ඉවත් වූ බවයි. එහි සත්‍යයක් බව මම පසුව දැන ගත්තෙමි.
අප ලියූ අනෙක් නාට්‍ය කොටස් විසිපහෙන් නවතා දමන්නට ආයතනය තීරණය කළ විට, විජය අයියා ඒ පිළිබඳව දුක් විය. &ඇයි මේක නවත්වන්නේ. හොඳට ගිය වැඩේ. ගොන් පාට්ම තමයි නේද ඉල්ලන්නේ. මිනිස්සුන්ගේ ජීවිතවල වෙන්න පුළුවන් දේවල් හාසය්‍යට ලක්කරන එක නියමනේ* කියා ඔහු පැවසීය.
මගේ මතකය නිවැරදි නම් රයිගම් සම්මාන උලෙළක හොඳම හාස්‍ය නළුවාට හිමි සම්මානය විජය අයියා හිමිකර ගත්තේ මෙම නාට්‍ය‘යේ රංගනය උදෙසාය. එහි නිරිදේශිත නළුවා බවට පත්වූයේ මිහිරය.
විජය අයියා යොදාගෙන චිත්‍රපටයක් නිර්මාණ කිරීමේ  සිහිනයක් මගේ හිතේ තිබුණි. දල වශයෙන් සකස් කළ පිටපතක්ද විය. එහෙත් දැන් ඔහු නික්ම ගොසිනි. ඔහු වැනි රංග පරාසයක් ඇති නළුවෙකු සොයා ගැනීම ලෙහෙසි පහසු නැත. සම්භාව්‍ය රංගන මිනුම් දඬුවලට ඔහුගේ රංගනය හසු නොවුණද, එවැනි රංගනයක් කළ හැකි වෙනත් නළුවෙක් අපට නැත. එයට වෙනම එකකි. ඒ දෙස බැලිය යුත්තේද වෙනමය. ඔබට සුබ ගමන්.
mamatharunaya.blogspot.com

දුක හට ගැනීමේ හේතුව අවබෝධ කර ගැනීමෙන් දුක නැති කර ගන්න පුළුවන්ද?





මේ සතියේ මොනවද ලියන්නේ කියලා කල්පනා කරන කොට දුක පිළිබඳව දෙයක් ලියන්න ඕනේ කියලා හිතුණා.

දුකක් දැනෙන්න නම් යමක් සිදුවෙන්න ඕනේ. දුක කියන්නේ කිසියම් ක්‍රියාවලියක්. අපි ආදරේ කරන, අපි ආස කරන දේවල් නැති වුණාම දුක හිතෙනවා. අපි ශරීරය වේදනාවට පත් වුණාම දුක දැනෙනවා. අපි ආස නැති අකමැති දේවල් වෙනකොට, ඒවා කරන්න වෙනකොට දුක හිතෙනවා. දුක හිතෙන්න යමක් විය යුතුයි. යමක් තිබිය යුතුයි. දුකට හේතුව තමයි යමක් විය යුතුයි, යමක් තිබිය යුතුයි කියන එක. ඒක භෞතිකමය, ද්‍රව්‍යමය දෙයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සංකල්පමය දෙයක් වෙන්න පුළුවන්. දුක හට ගැනීමේ හේතුව අවබෝධ කර ගැනීමෙන් දුක නැති කර ගන්න පුළුවන්ද? හේතුව නිශ්චිතද, හේතුව අවසානයද, හේතුඵල වාදයට අනුව යම් ඵලයක් ඇතිවීමට හේතුවක් තියෙනවා. හේතුවක් ඇතිවීමටත් යම් ඵලයක් බලපානවා. හේතුවෙන් තොර ඵලයටත්, ඵලයෙන් තොර හේතුවටත් පැවැත්මක් නෑ. ඕනෑම දෙයක් සම්බන්ධයෙන් අපිට හේතු නිර්මාණය කර ගන්න පුළුවන්. ඕනෑම ඵලයක් පිටුපසින් හේතු නිර්මාණය කරගන්න පුළුවන්. ඒ හේතු ඇත්තද බොරුද කියලා බලන එක වෙනම වැඩක්. හේතුව ඇත්තවීම හෝ බොරුවීම සොයා ගන්නවාට වඩා අමාරු වැඩක් තමයි හේතුව යනු කුමක්ද කියා සොයා ගැනීම. හේතු අපි පිළිගන්නවා. හේතුව යන්න කුමක්ද කියලා දන්නෙ නැතුව. ප්‍රශ්නයකදී හේතුව ළඟ අපි නතර වෙලා උත්තර හොයනවා. හැබැයි ඒ හේතුව ඇති වෙන්නත් තව හේතු තියෙනවා. එතකොට හේතුව හැමවෙලාවෙම පලය වෙනවා. හේතුවක් ඇති වෙන්න හේතුවක් තියෙනවා. ඒ හේතුව ඇති වෙන්න තව හේතුවක් තියෙනවා. ඔය විදිහට හේතුවම පලය වෙවී හේතුව ඈතට යනවා. අවසානයේ හේතුව නවතින තැන තමයි අපි කැමති තැන. හේතුවේ අවසානය අනන්තයට ගියොත් සියල්ල ශූන්‍ය වෙනවා. හේතුව නතර කරපු තැන ඉඳන් තමයි ලෝකය ගොඩනැගිලා තියෙන්නේ. හේතු පිටි පස්සේ කෙළවරට යන මිනිහෙකුට මේ ලෝකය මායාවක් කියලා අවබෝධ වෙනවා. අවසානයක් නෑ.... ඉවරයක් නෑ..... ඈතටම යන්නනෙකුට ආපසු පැමිණීමක් නෑ. ලෝකයේ සියලුම මතවාද දර්ශනයන් ආපසු පැමිණීම්, යමක් තියෙනවා. යමක් කරන්නට තියෙනවා යැයි සිතීම් ආපසු පැමිණීම්.... සත්‍ය සොයා යන්නෙකුට ආපසු පැමිණීමක් නෑ. ආපසු පැමිණීමක් නෑ කියලා මා මෙලෙස පැවසී මම නැවත ආපසු පැමිණීමක් කියලා ඔබ තේරුම් ගන්න ඕනේ. හේතුවක් ළඟ නතර වෙලානේ මේ වචන වාක්‍ය ආපහු එන්නේ. අර්ථයක් හදනවා, ඔබ එහි ගොදුරක් වෙනවා. ඒ නිසා මෙය තමයි සත්‍ය ලෙස සිතීම සත්‍යයක් නොවන බව තේරුම් ගන්න ඕනේ.

අපිට යම් යම් දේවල් සම්බන්ධව දුක හිතෙනවා. හැබැයි අපිට කවදාවත් දුක හිතීම ගැන දුක හිතලා තියෙනවද? ඔන්න මගේ පෙම්වතිය මා හැරදා යනවා.  එතකොට මම ඇය පිළිබඳ සිතමින් දුක් වෙනවා. මට දුක් වෙන්න ද්‍රව්‍යමය යමක් (පෙම්වතිය) හා සංකල්පමය දේවල් ටිකක් තියෙනවා. ඒ කියන්නේ මට දුක් වෙන්න අමුද්‍රව්‍ය තියෙනවා. හැබැයි දුක් වීම පිළිබඳ දුකක් අපිට නෑ. දුක් වෙන්න දෙයක් තියෙන නිසා දුක්වීම පිළිබඳ දුක් වීම අපිට මඟ හැරෙනවා. අවබෝධය කරා යන්නන් දුක ඇතිවීමට හේතුව පමණක් හඳුනාගෙන වැඩක් නෑ. දුක්වීම පිළිබඳවත්, දුක් වෙමින් දුක් වීම, දුක යනු කුමක්ද කියලා පුළුල් අර්ථයෙන් හඳුනා ගන්න ඕනේ.

ජීවිතේ එපා වුණාම අපිට මැරෙන්න හිතෙනවා. හැබැයි එපා වීම  එපා වුණාම මැරෙන්න හිතෙන්නෙ නෑ. එපා වීමත් එපා වීමක් කියන්නේ අවබෝධය ලැබීමක්. මං කියන්නේ දුක හිතෙන කොට දුක හිතීම ගැන දුක හිතන්න. එතකොට දුක පිළිබඳ හිතෙන අවබෝධයට දොර ඇරෙනවා. ජීවිතේ එපා වුණාම, එපා වීම එපා කරන්න. එතකොට ජීවත් වෙන්න   හිතෙනවා  .

mamatharunaya.blogspot.com