Friday, September 2, 2016

විජය නන්දසිරි යනු අපූර්වතම හාස්‍ය නළුවෙකි. ඔහුගේ රංගනය වඩාත් සමීප වුණේ චාලි චැප්ලීන්ට නොව මිස්ට බීන්ටය.



ලංකාවේ බහුතරයක් දෙනා හාස්‍යෝත්පාදක නාට්‍ය රස විඳිමින් විනෝද උවද, හාස්‍ය නාට්‍යකරුවන්ට හෝ නළු නිළියන්ට උසස් පිළිගැනීමක් නැත.  මේ අර ජෝකර්නේ  යන අදහසින් ඇත්ත ජීවිතය තුළ දිත් පොදු ජනයා හාස්‍ය නළුනිළි දෙස බලති. හාස්‍ය නළුවා ඇත්ත ජීවිතය තුළත් විහිළුකාරයෙකු යැයි සිතන්නට පොදු ජනයා කැමති වෙති. හාස්‍ය ඉතා නරක බාල වැඩක් කියාද බොහෝ දෙනා සිතති. දුක වේදනාව ගුඹුරු ලෙසද, සිනහව, විනෝදය නොගැඹුරු බාලදෙයක් ලෙසද සිතීම අද ඊයේ සිදු වූ දෙයක් නොවේ. ඉපැරණි ග්‍රීක වේදිකාව තුළ පවා හාස්‍ය නාට්‍යවලට තිබුණේ අඩු පිළිගැනීමකි. ඇරිස්ටෝටල් පවා හාස්‍ය උසස්කොට සැලකුවේය. දුක උසස්ය, සතුට බාලය යන අදහස නාට්‍ය ඉතිහාසය තුළ මුලදීම ලබා දී තිබේ.
මට මේ පිළිබඳව ලිවීමට සිතුනේ විජය නන්දසිරි මහතාගේ අභාවය නිසාය. විජය නන්දසිරි යනු අපූර්වතම හාස්‍ය නළුවෙකි. ඔහුගේ රංගනය වඩාත් සමීප වුණේ චාලි චැප්ලීන්ට නොව මිස්ට බීන්ටය. චැප්ලීන් මතුකළ හාසය තුළ බරපතළ දේශපාලන අදහසක්, මතවාදයක් තිබුණේය. මිස්ට බීන්ට එවැනි දේශපාලන අදහසක්, මතවාදයක් නොතිබුණේය. චැප්ලීන්ගේ හාස්‍ය තුළ සමාජවාදී අදහසත්, හිට්ලර් නම් ෆැසිස්ට්වාදියාට විරෝධය පෑමත් ගැබ්ව තිබුණේය. මිස්ට බීන්ගේ හාස්‍ය තුළ තිබුණේ ධනවාදී ක්‍රමයේ පිළිවෙළ අවුලක් බවට පත්කිරීමෙන් ගොඩනැගුණු මතුපිටින් දිවෙන  හාස්‍යයක් පමණි. විජය නන්දසිරි මහතාටද සිදුවුණේ ධනවාදී දේශපාලන නායකයන්ගෙන් සිදුවිය හැකි යැයි ළාමක ලෙස උපකල්පනය කළ මතුපිට හාස්‍ය ගොඩනැගීම පමණි. ඒ තුළින් දේශපානය නායකයන් උපහාසයටලක් නොවුණු අතර, පොදුවේ දේශපාලකයා ලෙස උපකල්පනය කළ පුද්ගලයෙකුට හාස්‍ය මුසුවීමක් පමණක් සිදුවිය. විජය නන්දසිරි මහතා රඟපෑ දේශපාලකයාගේ භූමිකාව නිසා දේශපාලකයා කෙරේ  මිනිසා තව තවත් බැඳුනා විනා ඈත් වීමක් සිදුනොවුණි. විජය නන්දසිරි මහතා රඟපෑ දේශපාලකයාගේ භූමිකාව ඇත්ත දේශපාලකයාට වඩා සම්පූර්ණයෙන්ම වෙනස්ය. එවන් මරි මෝඩ දේශපාලකයෝ ඇත්ත දේශපාලන ලෝකයේ නැත. අඩුම තරමේ මර්වින් සිල්වාවත් එසේ නැත. විජය නන්දසිරි මහතා රඟපෑ දේශපාලකයාගේ භූමිකාව නරඹා මිනිසුන් තව තවත් මේ ක්‍රමය සමග බැඳුනා  විනා විචාර බුද්ධිය වඩවා දේශපානඥා දෙස බැලීමට යොමු නොවුණි. හැමෝම හිනා වෙමින් නිකන් සිටියා පමණි. චාලි චැප්ලීන් හිට්ලර් මෙන් රඟපා හිට්ලර්ට එරෙහිව මතවාදවයක්, විරෝධයක් ගොඩනැගුවද, විජය නන්දසිරි මහතා එවැනි චරිතයකට පණ පොවා විරෝධයක් ගොඩනැගුවේ නැත. ඒ වෙනුවට ඔහු යු.එන්.පී., ජේ.වී.පී., ශ්‍රී ලංකා ආදි සියලු පාක්ෂිකයන්ට හිනා විය හැකි බීන් ගනයේ දේශපාලකයෙකු ගොඩනැගුවේය. ඇත්ත දේශපාලනය දරුණුය, කපටිය, ප්‍රචණ්ඩය, සුක්ෂමය. විජය නන්දසිරි ගොඩනැගූ දේශපාලනය මෝඩය, ළාමකය, ගොන් චූන්ය. රටේ බහුතරය එම ළාමක දේශපාන හාස්‍ය පිළිගත්තේ ඒ නිසාය. මෙය විජය නන්දසිරි මහතාගේ රංගන ප්‍රතිභාවයට කරන අපහාසයක්, අවතක්සේරුවක් නොව, ඔහුට රඟපෑමට සිදුවූ චරිත එසේ විය.
කවුරු කෙසේ කීවද විජය නන්දසිරි මහතා මෝඩ ජෝක් හාස්‍යයට ප්‍රියතාවයක් දැක්වූවෙකු නොවේ. හාස්‍ය තුළ ඔහු කිසියම් ප්‍රමිතියක් නඩත්තු කරන්නට මහන්සි ගත්තේය. ඒ  පිළිබඳ අද්දැකීමක් මටද තිබේ. මමත්, තවත් රචකයෙකුත් ලියූ හාස්‍යය නාට්‍යයකට විජය අයියා රංගනයෙන් දායක විය. ඔහු රඟපෑ පසුතලයට මාද යන්නේය. ඔහු සමග කතාබහ කරන්නේය. ඔහු කවර විටකදීවත් හිස උදුම්මාගත් පණ්ඩිතයෙකු නොවුණි. පිටපතට ගරු කළේය. ඇතැම් නළුවෝ තමන්ගේ පණ්ඩිතකම පෙන්වීමට පිටපත නොසලකා තමන්ගේ දෙබස් එබීමට දඟලන්නේය. විජය අයියා එසේ නොවීය. &මල්ලී, මේ දෙබස මෙහෙම කිව්වාට අවුලක් නෑ නේද?* කියා අසන්නේය. ඔහු යොදන දෙබස නාට්‍යයට අලෝකයක් මිස, අවැඩක් නම් සිදු නොවුණි.
එත් දිනක් විජය අයියා රංගනයේදී විවේකය ලද මොහොතක බොහෝ වේලාවක් මා සමග කතා කරමින් සිටියේය. ඔහු රඟපෑ ඇතැම් හාස්‍ය නාට්‍ය පිළිබඳව එතරම් පැහැදීමක් ඔහුට නොතිබුණි. &මල්ලී පොඩි ළමයින්ට මොකක් හරි නාට්‍යයක් ලියලා කරමුද? මට නිෂ්පාදකයෙක් හොයාගන්නත් පුළුවන්.* යැයි ඔහු කීවේය. එවිට මා පැවසුවේ &අපි යක්ෂයන් සම්බන්ධ කර ගෙන ළමා ටෙලි නාට්‍යයක් කරමු* කියාය. &හැබැයි බන් යක්ෂයෝ දාලා ළමයි බය වෙයිද දන්නෙ නෑ. එහෙම නම් යක්ෂයෝ ටික හුරතල් කරලා දාමු.* කියා ඔහු පැවසුවේය. කුමක් හෝ අවසානාවකට එම පිටපත මට ලිවීමට නොහැකි විය. විජය අයියා, මිහිර සිරිතිලක ගැන බොහෝ ආදරයෙන් කතා කළේය.  &මිහිර කොයි වෙලාවකටවත් කට නිකන් තියාගෙන ඉන්නෙ නෑනේ. මොන මොනවා හරි කියවනවා. ඒකයි මිහිරගේ කොමඩි පන්ච් වෙන්නේ.* කියා විජය අයියා මිහිර දෙස බලමින් මට කීවේය. ඒ කතාව ඇත්තය. මිහිර නාට්‍ය තුළ හාස්‍යයට  වඩා හාස්‍යයක් නාට්‍ය‘යෙහි පිටත කරන්නේය. මිහිරද, විජය අයියා මෙන් පිටපත් රචකයන්ව අගය කරන, ගරු කරන නළුවෙකු වන්නේය. එයද මා අද්දැකීමෙන් දනිමි. විජය අයියා රංගන පසුතලයට පැමිණි පසු එයට මුල්තැන දෙන පුද්ගලයෙකු වන්නේය. අධ්‍යක්‍ෂකයන්ට කරදරයක් නොවන නිහතමානි නළුවෙකි. දැනමුතුකම්, පණ්ඩිතකම් දෙසමින් නවක නළු නිළියන් බියට පත්කරන, පොරවීමට උත්සහ නොදරන නළුවෙකි. එවැනි පුද්ගලයන් නම් මේ ක්ෂේත්‍ර‘යේ දුර්ලභය. හාස්‍ය රංගය තුළ විජය අයියාට කිසිවෙකුගෙන් අභියෝගයක් නොතිබුණි. බන්දුව අනුකරණය කරන්නට බිංදුට පුළුවන් වුවද, විජය නන්දසිරිට අනුණරණය කරන්නට සමතෙක් නොවුණි. ඔහු තුළ තිබුණේ රංගන ප්‍රසන්තභාවයයි. එය හඬ පමණක් අනුකරණයෙන් ලබාගත නොහැක්කි.
විජය අයියා රංගය තුළ හෝ රංගයෙන් උපයාගත් සිවිල් බලය තුළ දේශපාලන මතය සමාජ ගත නොකළේය.
මා ලියූ එක් දෙබසක් තුළ එකල පැවැති රාජපක්ෂ පාලනය විවේචනය වන්නට විය. එම දෙබස පැවසීම නිළිය ප්‍රතික්ෂේප කළාය.  ඒක කියලා මට මැරුම් කන්න බෑ* කියා නිළිය පවසන විට, විජය අයියා ඔහුට කීමට තිබූ දෙබස කිසිම විරෝධයකින් තොරව කීමට සුදානම්ව සිටියේය. පසුව අධ්‍යක්ෂතුමාගේ උපදෙස් පරිදි මම දෙබස් කණ්ඩය වෙනස් කර දුන්නෙමි. තවත් හාස්‍යමය රූපවාහිනී දේශපාලන සාකච්ඡාමය වැඩසටහනක් මෙහෙය වීමට විජය අයියාව තෝරා ගෙන තිබුණි. ඒ මොහොතේද ඔහු අසා තිබුණේ පිටපත ලියන්නේ කවුද කියාය. මා ලියන බව දැන ගත් විට ඔහු සතුටු වූ බව මම පසුව දැන ගත්තෙමි. මුල්ම වැඩසටනට සහභාගි වුණේ විමල් වීරවංශ හා අනුර කුමාර දිසානායක යන දේශපාන නායකයන් අනුකරණය කරන නළුවන්ය. එය මෙහෙය වූයේ විජය අයියාය. එමගින් ඇත්ත ලෝකයේ දේශපාලන නායකයන් විවේචනයට ලක් කළේය. කුමන හෝ හේතුවක් නිසා විජය අයියා පළමු වැඩසටහනින් පසු ඉන් ඉවත් වී ගියේය.
පසුව විජය අයියා හමුවූ අවස්ථාවක මා ඒ පිළිබඳව විමසූ විට ඔහු පැවසුවේ මූල්‍යමය හේතුවක් මත ඔහු ඉවත් වූ බවයි. එහි සත්‍යයක් බව මම පසුව දැන ගත්තෙමි.
අප ලියූ අනෙක් නාට්‍ය කොටස් විසිපහෙන් නවතා දමන්නට ආයතනය තීරණය කළ විට, විජය අයියා ඒ පිළිබඳව දුක් විය. &ඇයි මේක නවත්වන්නේ. හොඳට ගිය වැඩේ. ගොන් පාට්ම තමයි නේද ඉල්ලන්නේ. මිනිස්සුන්ගේ ජීවිතවල වෙන්න පුළුවන් දේවල් හාසය්‍යට ලක්කරන එක නියමනේ* කියා ඔහු පැවසීය.
මගේ මතකය නිවැරදි නම් රයිගම් සම්මාන උලෙළක හොඳම හාස්‍ය නළුවාට හිමි සම්මානය විජය අයියා හිමිකර ගත්තේ මෙම නාට්‍ය‘යේ රංගනය උදෙසාය. එහි නිරිදේශිත නළුවා බවට පත්වූයේ මිහිරය.
විජය අයියා යොදාගෙන චිත්‍රපටයක් නිර්මාණ කිරීමේ  සිහිනයක් මගේ හිතේ තිබුණි. දල වශයෙන් සකස් කළ පිටපතක්ද විය. එහෙත් දැන් ඔහු නික්ම ගොසිනි. ඔහු වැනි රංග පරාසයක් ඇති නළුවෙකු සොයා ගැනීම ලෙහෙසි පහසු නැත. සම්භාව්‍ය රංගන මිනුම් දඬුවලට ඔහුගේ රංගනය හසු නොවුණද, එවැනි රංගනයක් කළ හැකි වෙනත් නළුවෙක් අපට නැත. එයට වෙනම එකකි. ඒ දෙස බැලිය යුත්තේද වෙනමය. ඔබට සුබ ගමන්.
mamatharunaya.blogspot.com

No comments:

Post a Comment