Friday, September 2, 2016

දුක හට ගැනීමේ හේතුව අවබෝධ කර ගැනීමෙන් දුක නැති කර ගන්න පුළුවන්ද?





මේ සතියේ මොනවද ලියන්නේ කියලා කල්පනා කරන කොට දුක පිළිබඳව දෙයක් ලියන්න ඕනේ කියලා හිතුණා.

දුකක් දැනෙන්න නම් යමක් සිදුවෙන්න ඕනේ. දුක කියන්නේ කිසියම් ක්‍රියාවලියක්. අපි ආදරේ කරන, අපි ආස කරන දේවල් නැති වුණාම දුක හිතෙනවා. අපි ශරීරය වේදනාවට පත් වුණාම දුක දැනෙනවා. අපි ආස නැති අකමැති දේවල් වෙනකොට, ඒවා කරන්න වෙනකොට දුක හිතෙනවා. දුක හිතෙන්න යමක් විය යුතුයි. යමක් තිබිය යුතුයි. දුකට හේතුව තමයි යමක් විය යුතුයි, යමක් තිබිය යුතුයි කියන එක. ඒක භෞතිකමය, ද්‍රව්‍යමය දෙයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සංකල්පමය දෙයක් වෙන්න පුළුවන්. දුක හට ගැනීමේ හේතුව අවබෝධ කර ගැනීමෙන් දුක නැති කර ගන්න පුළුවන්ද? හේතුව නිශ්චිතද, හේතුව අවසානයද, හේතුඵල වාදයට අනුව යම් ඵලයක් ඇතිවීමට හේතුවක් තියෙනවා. හේතුවක් ඇතිවීමටත් යම් ඵලයක් බලපානවා. හේතුවෙන් තොර ඵලයටත්, ඵලයෙන් තොර හේතුවටත් පැවැත්මක් නෑ. ඕනෑම දෙයක් සම්බන්ධයෙන් අපිට හේතු නිර්මාණය කර ගන්න පුළුවන්. ඕනෑම ඵලයක් පිටුපසින් හේතු නිර්මාණය කරගන්න පුළුවන්. ඒ හේතු ඇත්තද බොරුද කියලා බලන එක වෙනම වැඩක්. හේතුව ඇත්තවීම හෝ බොරුවීම සොයා ගන්නවාට වඩා අමාරු වැඩක් තමයි හේතුව යනු කුමක්ද කියා සොයා ගැනීම. හේතු අපි පිළිගන්නවා. හේතුව යන්න කුමක්ද කියලා දන්නෙ නැතුව. ප්‍රශ්නයකදී හේතුව ළඟ අපි නතර වෙලා උත්තර හොයනවා. හැබැයි ඒ හේතුව ඇති වෙන්නත් තව හේතු තියෙනවා. එතකොට හේතුව හැමවෙලාවෙම පලය වෙනවා. හේතුවක් ඇති වෙන්න හේතුවක් තියෙනවා. ඒ හේතුව ඇති වෙන්න තව හේතුවක් තියෙනවා. ඔය විදිහට හේතුවම පලය වෙවී හේතුව ඈතට යනවා. අවසානයේ හේතුව නවතින තැන තමයි අපි කැමති තැන. හේතුවේ අවසානය අනන්තයට ගියොත් සියල්ල ශූන්‍ය වෙනවා. හේතුව නතර කරපු තැන ඉඳන් තමයි ලෝකය ගොඩනැගිලා තියෙන්නේ. හේතු පිටි පස්සේ කෙළවරට යන මිනිහෙකුට මේ ලෝකය මායාවක් කියලා අවබෝධ වෙනවා. අවසානයක් නෑ.... ඉවරයක් නෑ..... ඈතටම යන්නනෙකුට ආපසු පැමිණීමක් නෑ. ලෝකයේ සියලුම මතවාද දර්ශනයන් ආපසු පැමිණීම්, යමක් තියෙනවා. යමක් කරන්නට තියෙනවා යැයි සිතීම් ආපසු පැමිණීම්.... සත්‍ය සොයා යන්නෙකුට ආපසු පැමිණීමක් නෑ. ආපසු පැමිණීමක් නෑ කියලා මා මෙලෙස පැවසී මම නැවත ආපසු පැමිණීමක් කියලා ඔබ තේරුම් ගන්න ඕනේ. හේතුවක් ළඟ නතර වෙලානේ මේ වචන වාක්‍ය ආපහු එන්නේ. අර්ථයක් හදනවා, ඔබ එහි ගොදුරක් වෙනවා. ඒ නිසා මෙය තමයි සත්‍ය ලෙස සිතීම සත්‍යයක් නොවන බව තේරුම් ගන්න ඕනේ.

අපිට යම් යම් දේවල් සම්බන්ධව දුක හිතෙනවා. හැබැයි අපිට කවදාවත් දුක හිතීම ගැන දුක හිතලා තියෙනවද? ඔන්න මගේ පෙම්වතිය මා හැරදා යනවා.  එතකොට මම ඇය පිළිබඳ සිතමින් දුක් වෙනවා. මට දුක් වෙන්න ද්‍රව්‍යමය යමක් (පෙම්වතිය) හා සංකල්පමය දේවල් ටිකක් තියෙනවා. ඒ කියන්නේ මට දුක් වෙන්න අමුද්‍රව්‍ය තියෙනවා. හැබැයි දුක් වීම පිළිබඳ දුකක් අපිට නෑ. දුක් වෙන්න දෙයක් තියෙන නිසා දුක්වීම පිළිබඳ දුක් වීම අපිට මඟ හැරෙනවා. අවබෝධය කරා යන්නන් දුක ඇතිවීමට හේතුව පමණක් හඳුනාගෙන වැඩක් නෑ. දුක්වීම පිළිබඳවත්, දුක් වෙමින් දුක් වීම, දුක යනු කුමක්ද කියලා පුළුල් අර්ථයෙන් හඳුනා ගන්න ඕනේ.

ජීවිතේ එපා වුණාම අපිට මැරෙන්න හිතෙනවා. හැබැයි එපා වීම  එපා වුණාම මැරෙන්න හිතෙන්නෙ නෑ. එපා වීමත් එපා වීමක් කියන්නේ අවබෝධය ලැබීමක්. මං කියන්නේ දුක හිතෙන කොට දුක හිතීම ගැන දුක හිතන්න. එතකොට දුක පිළිබඳ හිතෙන අවබෝධයට දොර ඇරෙනවා. ජීවිතේ එපා වුණාම, එපා වීම එපා කරන්න. එතකොට ජීවත් වෙන්න   හිතෙනවා  .

mamatharunaya.blogspot.com

No comments:

Post a Comment