Wednesday, August 3, 2016

ක්‍රිකට් තව දුරටත් රට ජාතිය දේශප්‍රේමය නියෝජනය කරන ක්‍රීඩාවක් නොවේ.
ක්‍රිකට් යනු සුදු ජාතිකයන් අව්වේ තැපීම සඳහා සාදාගත් ක්‍රීඩාවකි. පන්දු යවන්නාත්, පන්දුවට පහර දෙන්නාත් හැරුණු විට අනෙක් පිරිස පන්දුව පැමිණෙන තුරු කටවක්කර ගෙන ඔහේ බලා සිටිති. ක්‍රිකට් ක්‍රීඩාව අපට ආකර්ෂණීය වුවද, ක්‍රීඩාවක් ලෙස ඉතා සෙමින් සිදුවන කම්මැළි ක්‍රීඩාවකි. පන්දු ඕවර පණහක් උදේ සිට සවස් වන තුරු ක්‍රීඩා කරන අතර, ටෙස්ට් තරගයක් දින පහක් ක්‍රීඩා කරයි. දින පහක් ක්‍රීඩා කළද, බොහෝ තරග ජය පැරදුමකින් තොරව නිමවෙයි. දවස් පහක් සෙල්ලම් කළද, ජයග්‍රහණයක් ලැබිය නොහැකි තරගයක් වෙතොත් ඒ ක්‍රිකට්ය. සුද්දාට අප යටත්ව නොසිටියා නම් අපට ක්‍රිකට් නැත. සුද්දා ජීවත් වන සීතල රටවල අවුවේ තැපීමට හදාගත් ක්‍රීඩාවක් ලෙස ක්‍රිකට් හැඳින්විය හැක. අංශක අනූවට ඉරමුදුන් වන අපේ රටේද, කට්ට අව්වේ වේලෙමින් ක්‍රීඩා කිරීම අපට ඉමහත් ජොලියකි. එහි ඇති අවුලක් අපට නොපෙනෙයි.
ක්‍රිකට් තව දුරටත් රට ජාතිය දේශප්‍රේමය නියෝජනය කරන ක්‍රීඩාවක් නොවේ. අපේ කොල්ලෝ, අපේ අය සිංහ පැටව් යනු නරඹන්නන් චූන් වීම පිණිස හදාගත් සංකල්පය. ඔය කිසිම ක්‍රීඩකයෙකු රට වෙනුවෙන් සෙල්ලම් කරන්නේ නැත. ක්‍රිකට් දැන් දේශීයත්වයෙන් ගෝලීය තත්ත්වයට පැන ඇත. ක්‍රීඩකයෝ මුදලට වෙන්දේසි වෙති. විශ්‍රාම ගිය පසු වෙනත් රටවල පුහුණුකරුවන් වී, එම ක්‍රීඩකයන් තමන්ගේ රටට විරුද්ධව ජයග්‍රහණය කරා මෙහෙයවයි. මුදල් වෙනුවෙන් තම රටේ ක්‍රීඩකයන්ව පරාජය සඳහා මෙහෙයවන තැන රට වෙනුවෙන් ක්‍රීඩා කළා යැයි පැවසීම විහිළුවක් බවට පත්වෙයි. රට වෙනුවෙන් බයිලය දැන් නැවැත්විය යුතුය. රට වෙනුවෙන් සිංහ පැටව් වැනි බයිලා අවශ්‍ය වන්නේ ක්‍රීඩකයන්ට නොවේ. නරඹන්නන්ටය. සමහරු ක්‍රිකට් නරඹන්නේ කැප්පෙටිපොල, පුරන්අප්පු සුද්දාට විරුද්ධව සටන් කළ මානසිකත්වය ආරෝපණය කර ගනිමිනි. එංගලන්තයටම ගිහිල්ලා සුද්දාට ගැහුවා* කියා ජයග්‍රහණයකදී උදම් අනති. එම ක්‍රීඩකයන් විශ්‍රාම ගියපසු එංගලන්තයේ, ඔස්ට්‍රේලියාවේ පුහුණුකරුවෝ වෙති. එවිට අපේ දේශප්‍රේමි ගොන්නුන්ගේ දේශප්‍රේමි මෙව්වා එකට මොනවදෝ වෙයි. ඉන්පසු ක්‍රීඩකටයන්ට පට්ට පතුරු යන්න බණිති. ඔස්ට්‍රේලියාව මුරලි පන්දුව දමා ගසන්නෙකු බව චෝදනා කරමින් මුරලිගේ ක්‍රීඩා දිවියට බාධා පමුණු වනවිට, ඊට එරෙහිව රටම හඬ නැගුවේය. සුද්දාට විරුද්ධ කඳවුරේ පුරන්අප්පු අර්ජුන විය. කෙසේ හෝ පසුව මුරලි නිර්දෝශි වී ලෝක පූජිත ක්‍රීඩකයෙකු බවට පත්වී විශ්‍රාම ගියේය. අද මුරලි ඔස්ට්‍රේලියාවේ දඟ පන්දු පුහුණුකරු බවට පත්වී ඔස්ට්‍රේල්යානුවන්ගේ ජය පතයි. ඒ වෙනුවෙන් වෙහෙසෙයි. රණ්ඩු වෙයි. රට වෙනුවෙන් බයිලය දැන් නැත. පඩියට අපායේ ක්‍රිකට් ටීම් එකේ පුහුණාකර තනතුරත් භාර ගැනීමට සූදානම්ය. මුරලි නිසා දේශප්‍රේමී චූන් අහිමි වූවෝ දැන් පරලවී මුරලිට දෙස්දොවොල් නගමින් පත්තර පිටු පුරවති. නොසිතූ යථාර්ථයක් දේශප්‍රේමී ප්‍රේක්ෂකයන් අතරට පැමිණ තිබේ. එනම්, තමාට හතුරුකම් කළ ඔස්ට්‍රේලියාවට පක්ෂව මුරලි පෙනී සිටීමයි. මුරලි නිකම් පෙනී සිටින්නේ නැත. මුරලිට ඒ වෙනුවෙන් මුදලක් ගෙවයි. මුරලි, මුදලට ඔස්ට්‍රේලියාව ගොඩදාන්න වෙහෙසෙන්නේ තමන්ගෙ වෘත්තියේ සාර්ථකත්වය පෙන්වීමටය. දැන් මුරලිට ලංකාව අදාළ නැත. ලංකාව පරාජය වීම මුරලිගේ සතුටයි. මුරලිගේ ජයග්‍රහණයයි. මේවාට කලබල වී දේශප්‍රේමී බයිලාවලින් ගසා දැමීම තේරුමක් තිබේද. අප ජීවත් වන්නේ ධනවාදී සමාජයකය. සියල්ලට මිලක් නියමව තිබේ. ක්‍රිකට් යනු හතුරු මිතුරු යුද්ධයක් නොවේ. විශාල මූල්‍ය වටිනාකමක් උත්පාදනය කළ හැකි ක්‍රීඩාවකි. ක්‍රිකට් තුළ පස මිතුරු භාවය ඇත්තේ නරඹන්නන් තුළ පමණි. එය ක්‍රීඩාවේ පැවැත්මට උත්කර්ශයයට අවශ්‍ය වේ. නැත්නම් ත්‍රිල් එකක් නැත. සියලු දෙනා අපේ ක්‍රීඩකයන් යන හැඟීමෙන් ක්‍රිකට් බැලීම ත්‍රීල් එකට හානියකි. අපේ එවුන් දුවන්න ගැහුවා. එළව එළවා ගැහුවා වැනි ප්‍රකාශ කිරීමට බෙදීමක් අවශ්‍ය වෙයි. එංගලන්තයි, ලංකාවයි මැච් එකක් ගසන විට කවුරු දින්නත් එකයි යන මානසිකත්වයෙන් තරගය බැලිය නොහැකියි. තමගේ රටේ පැත්ත ගැනීම ස්වභාවිකය. අවුලකට ඇත්තේ මෝඩ ලෙස තම රට පැත්ත ගැනීමය. අයි.පී.එල්. තරග රට ජාති, දේශප්‍රේමය, සිංහ පැටව්, භාරත පුත්‍ර‘යෝ කතා සේරම ඉවර කර දමා තිබේ. ක්‍රීඩකයෝ වෙන්දේසි භාණ්ඩ මෙන් මිලදී ගනිති. මෙහිදී ක්‍රීඩකයා භාණ්ඩයක් බවට පත්වෙයි. අයි.පී.එල්. තරග නරඹන විට රට ජාතිය වෙනුවෙන් චූන් විය නොහැකිය. මෙය ගෝලීය ක්‍රීඩාවේ එක්තරා තත්ත්වයකි. වෙළෙන්ඳෝ රට ජාතිය ඉවර කර තිබේ.
ප්‍රේක්ෂයන්ද දැන් ක්‍රිකට් නැරඹිය යුත්තේ; අපේ සිංහ පැටව්, අපේ කෝල්ලන් යන ගොන් චූන් මානසිකත්වයෙන් නොවේ. ක්‍රිකට්වලින් විනෝදයක් ලබා එය අතහැරිය යුතුය. ඒවාට රට ජාතිය සම්බන්ධ නොකර ගත යුතුය. අපේ කොල්ලෝ අව්වේ වේළෙන්නේ අපි වෙනුවෙන්, පුදුම කට්ටක් කනවා...* වැනි ගොන් කතා නොකියා සිටිය යුතුය. ක්‍රිකට් රස්සාවක් ලෙස සැලකිය යුතුය. රස්සා කරන්නෝ තම රටට පමණක් සේවය නොකරති. වැටුප් උදෙසා පිටරටවල රැකියා කරන ශ්‍රී ලාංකිකයෝ සිටිති. සුද්දාගේ රටේ සුද්දාට යටත්ව රැකියා කරන කී දාහක් සිටියිද? උන් සියල්ලෝ දේශදෝහිහුද?
අපේ දේශ‘ප්‍රේමීන් වැඩි වශයෙන් පදිංචියට යන රටවල් අතර ඔස්ට්‍රේලියාව ඉදිරියෙන්ම සිටියි. ඔවුහු දන්නා හැම ගැටයම ගසා ඔස්ට්‍රේලියාවට යාමට උත්සාහ දරති. එහෙම දේශප්‍රේමීහු මුරලි ඔස්ට්‍රේලියාවේ දඟ පන්දු පුහුණුකරු වීම ගැන පරළ වෙති. වැඩේ වැරදී යැයි කියති.
මට අනුව නම් අපි සේරම වැඩ වරද්දා ගෙන තිබේ.ඉස්සර මට නම් හෙට ක්‍රිකට් තරගයක් රූපවාහිනියෙන් පෙන්වන බව දැන ගත් විට රාත්‍රියට නින්ද යන්නේද නැත. ටෙස්ට් තරගද කට වක්කරගෙන දින පහම රූපවාහිනිය ඉදිරියේ වාඩිවී නැරඹූ කාලය මතක් වනවිටත් පුදුම සිතෙයි. ක්‍රිකට් නැරඹීමෙන් ලබාගත හැකි දේශීය චූන් එක හෝ ගෝලීය චූන් එක දැන් මට සෙට් වෙන්නේම නැත.

Mamatharunaya.blogspot.com
කැමරාව විසින් මානවයාගේ සියලුම ක්ෂේත්‍ර වෙනසකට ලක්කර තිබේ
මෙකල බොහෝ දෙනෙක් අත ජංගම කැමරාවක් තිබේ. ජංගම දුරකථනයට සම්බන්ධ කැමරාව විසින් මානවයාගේ සියලුම ක්ෂේත්‍ර වෙනසකට ලක්කර තිබේ. මේ පිළිබඳව ලිවීමට මා පෙළඹුණු හේතු දෙකක් තිබේ. එකක් පාද යාත්‍රාව ගමන් ගන්නා අතර තුර නාමල් රාජපක්ෂගේ නර්තනයයි. අනෙක ඉන්දියාවේ දුම්රිය අනතුරක් සිදුවී ශරීරයෙන් යට කොටස වෙන්වී කඳ කොටස රේල් පාර මැද වේදනාවෙන් දඟලන විට පිරිසක් එය ජංගම දුරකථනවලින් වීඩියෝ කිරීමයි.
දැන් අපි නාමල්ගේ නැටුම දෙසට යොමු වෙමු. මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ ඒකාබද්ද විපක්ෂය විසින් පාද යාත්‍රාව සංවිධානය කරන්නේ යහපාලන ආණ්ඩුවට ප්‍රබල විරෝධයක් දැක්වීමේ අදහසිනි. ඒ තුළ විහිළුවකට ඉඩක් නැත. පාද යාත්‍රාව විහිළුවක් නොවේ. බරපතළ සීරියස් දේශපාලන වැඩකි. මහින්ද රාජපක්ෂ මහතා අනූතුනේදී යූ.එන්.පී. ආණ්ඩුවට එරෙහි ගිය පාද යාත්‍රාව එවැනි සීරියස් වැඩකි. එහෙත් දැන් යන පාද යාත්‍රාව තුළට ජංගම කැමරා මැදිහත් වීමෙන් එම සීරියස් බව බාල වී හාස්‍යයක් මතුව තිබේ. නාමල් රාජපක්ෂ නටමින් සටන් පාඨ කියයි. එය කවුරුන් හෝ වීඩියෝ කර අන්තර්ජාලයට එක්කර තිබේ. ඒ අනුව දැන් ජනමතය සකස් වී තිබෙන්නේ මේකා නුවර සිට කොළඹට එනකම් බජව්වෙන් නට නට ආවා වැනි හැඟීමකි. ආණ්ඩුවේ මාධ්‍යද, ආණ්ඩුවට හිතැති මාධ්‍යයද මේ රූපරාමු නිතර පෙන්වීමෙන් පාද යාත්‍රාවේ දේශපාලන ගැඹුර හෑල්ලු කර තිබේ . මෙකල ඇස් දෙකෙන් දකිනවා පමණක් නොවේ. දකින දේ එම මොහොතේම පටිගත කර ගැනීමට තරම් තාක්ෂණය දියුණුය.
සියලු මානව ක්‍රියාකාරකම් සියුම්ව පටිගත කරගත හැක. පරණ දේශපාලඥයා මෙන් නොව නූතන දේශපාලනඥයා හතර අත විසිරී තිබෙන කැමරා ඇස්වලින් බේරී දේශපාලනය කළ යුතුව තිබේ.
නාමල් යහපාලනයට විරුද්ධව සටන් පාඨ කියනවාට වඩා, මාධ්‍ය තුළ ඉස්මතුවන්නේ කුණුහරුප සිංදුවලට නට නටා පැමිණීමය. අතීතයේ මාධ්‍ය ස්ථානගත වූයේ ප්‍රධාන අරමුණ වටාය. එහෙත් වර්තමානයේ මාධ්‍ය ස්ථානගත වන්නේ ප්‍රධාන අරමුණ වටා නොව, අතුරු අරමුණ වටාය. ප්‍රධාන අරමුණට ඒවා කිසිසේත් සම්බන්ධ නොවේ. පාද යාත්‍රා‘වේ ප්‍රධාන දේ බවට පත්ව තිබෙන්නේ නාමල්ගේ නැටුමයි. කුණුහරුප සිංදුවයි. දේශපාලකයෝ වාහනවල යාමයි. පොදු ජනයා බාර්වලට රිංගීමයි. කුඩා දරුවෙකු ලවා සටන් පාඨ කියවීමයි . පාද යාත්‍රාව යන්නේ යහපාලන ආණ්ඩුවේ වැරදි අඩුපාඩු නිසා ආණ්ඩුව පළවා හැරීමේ අදහසිනි. එම අදහස් බරපතල ලෙස කෙසේවත් සාකච්ඡා නොවේ. පාද යාත්‍රාව ෆන් වැඩක්, ජොලි වැඩක් වී තිබේ. දේශපාලඥයා මේ නව තත්ත්වය තේරුම්ගත යුතුව තිබේ.
එය හාස්‍යයෙන් යුතුව පවසන්නේ නම් අධෝවාතයෙන් පිටකරන කොටත් දෙපාරක් සිතා පිට කළ යුතු වටපිටාවක් ගොඩනැගී තිබේ. මන්ද අධෝවාතයක් සවුන්ඩ් පිටින් රෙකෝඩ් කර ෆේස්බුක් දැමිය හැකි බැවිනි. රහසිගතව කරන ක්‍රියා කැමරාව මැදිහත් වීමත් සමග ලක්ෂ ගණන් නරඹන වීඩියෝ බවට පත්වීමට ඉඩ තිබේ.
දේශපාලනඥයා අනාගතයේදී කැමරාවෙන් බොහෝ පරිස්සම් විය යුතුව තිබේ.
ඉන්දියාවේ දුම්රිය අනතුර ගැනද යමක් ලිවිය යුතුය. කඳ කොටස දෙකඩවී ශරීරයේ ඉහළ කොටස වේදනාවෙන් ඒ මේ අතට පෙරළීමට උත්සාහ දරන විට අසල වූවෝ එම මනුස්සයා අසලට ගොස් ජංගම දුරකථන මානා වීඩියෝ කළෝය. මාද නැරඹුවේ එසේ කවුරුන් හෝ වීඩීයෝ කළ දර්ශනයකි. මරණය කරා ඇදී යන එම මිනිසාගේ හිත හැදීමට හෝ වතුර උගුරක් පෙවීමට කිසිවෙකුත් ඉදිරිපත් නොවුණි. මෙකල අනතුරක් සිදු වූ විට අනතුර ලක්වූවාට පිහිටවනු වෙනුවට, ජංගම දුරකථන ඇද වීඩියෝ කිරීමට උත්සහ දරන්නෝ බහුල වෙති. ලංකාවේ සිදු වූ ත්‍රීවිල් අනතුරකදී ද එවැනි අමානුෂික රූගත කිරීමක් මම දුටුවෙමි. ත්‍රීවීලය හැප්පී වැටී සිටි තරුණයා රෝහලට රැගෙන යාමට කිසිවෙකුත් ඉදිරිපත් වන බවක් නොපෙනුණි. තරුණයා රුධිරය වගුරවමින් මහපාරේ වැටී සිටියේය. මෙවැනි අනතුරු වීඩියෝ කරමින් දඟලනවා වෙනුවට, රෝහල් ගත කිරීමට උත්සහ නොදරන්නේ ඇයි? මෙය විශාල මානුෂ්‍යවාදී ආචාර ධාර්මික ගැටලුවකි. අතීතයේ කැමරා ආම්පන්න තිබුණේ මාධ්‍යවේදීන් සතුවය. දැන් සියලු දෙනා අතම කැමරා තිබීමෙන් සියලු දෙනාම මාධ්‍ය‘වේදීන් වී සිටිති. අනතුරකදී පිහිට විය යුතු මනුෂ්‍යයන්ද මාධ්‍යයේ කාර්යයට අත ගසා තිබේ. ඔවුහු සියල්ලටම කලින් ජංගම දුරකථන දිගුකරමින් වීඩියෝ කිරීමට උත්සහ කිරීම කණගාටුදායකය.
මේ නව තත්ත්වය විචාරාත්මකව තේරුම්ගත යුතුව තිබේ.
mamatharunaya.blogspot.com

Sunday, July 24, 2016

දේශප්‍රේමී ක්‍රිකට්      

 රට, ජාතිය ,දේශප්‍රේමය,අපේ කොල්ලෝ සිංහ පැටවූ ,අරවා මේවා විකාර මනස්ගාත සේරම විසිකරලා ක්‍රිකට් බලන්න ඕනේ කාලය ඇවිල්ල ගොඩක් කල්. ක්‍රිකට් නැරබීම දේශප්‍රේමී වැඩක් වෙනකොට ක්‍රිකට් වලින් මුදල් හම්බකිරීම ගෝලිය වැඩක් වෙලා .එතන රට ජාතිය සිංහ පැටවූ අරවා මේවා විකාර නෑ. කැප්පෙට්ටිපොළ වීරයා සුද්දට ගැහුව මානසිකත්වය ආරෝපණය කරගෙන ක්‍රිකට් බලන්නේ පිස්සෝ. .ගෝලීය මානසිකත්වයෙන් ක්‍රිකට් බලමු .එතකොට මුරලි ඔස්ට්‍රේලියාවට සපෝට් කලා කියල අවූල් වෙන්නේ නෑ . ක්‍රිකට් ගහන අය සල්ලිවලට රට ජාතිය සිංහ පැටවූ කතා විසිකරලා දාද්දි ඇයි උබලා ඕක කරේ තියාගෙන යන්නේ .පත්තර කාරයෝ tv චැනල් මුරලිගෙන්, මහේලගෙන් ,සන්ගගෙන්,ලසිත් මාලින්ගගෙන් දේශප්‍රේමය ඉල්ලීම විහිළුවක්.මම නම් ක්‍රිකට් බැලීම නවත්තලා ගොඩක් කල් . ක්‍රිකට් සම්බන්ද ගෝලීය චුන් එකවත් දේශීය චුන් එකවත් මට සෙට් නෑ

Thursday, July 21, 2016

ඔබගේ ලිංගික සතුට අතරට තුන් වැන්නෙක් ලෙස කැමරාව සම්බන්ධ කර නොගන්න.
සතුන් ලිංගිකව හැසිරෙන්නේ එළිමහනේය. ලිංගිකත්වය සතුන්ට කන බොනවා හා සමාන ක්‍රියාවලියකි. මිනිසුන් ලිංගිකව හැසිරෙන්නේ රහසිගතවය. හැං‘ගී ගෙනය. දොරවල් වසාගෙනය. මිනිසාට දැන් ලිංගිකත්වය ස්වභාවික නොවේ. එය සංස්කෘතියකි. සැඟවී රහසිගතව කරන ක්‍රියා නැරඹීමේ කුතුහලයක් මිනිසාට තිබේ. ඒ අතරින් ලිංගික සංසර්ගය ප්‍රධාන වේ. අනෙකාගේ ලිංගික ක්‍රියා නැරඹීමෙන්, ස්ත්‍රී නිරුවත දැකීමෙන් පිරිමි අසීමිත ප්‍ර‘මෝදයට පත් වෙති. ලිංගික ක්‍රීඩා ස්ත්‍රී නිරුවත දැකීමේ කැමැත්ත දර්ශන කාමය ලෙස හඳුන්වයි. ඉංග්‍රීසි භාෂාවෙන් එය Voyeurism ලෙස හඳුන්වයි. අප සියල්ලෝම අඩු වැඩි වශයෙන් දර්ශන කාමයෙන් පෙලෙන්නෝ වෙති. දර්ශන කාමය පුරුෂ මූලිකය.
අතීතයේ දී ස්ත්‍රී නිරුවත පිරිමි රහසින් රස වින්දෝය. යතුරු සිදුරෙන්, බිත්ති උඩින්, වහලයේ උළු අතරින් අනෙකාගේ ලිංගික ක්‍රියා නරුඹූහ. දිය රෙද්ද ඇඳ නාන ස්ත්‍රීය දෙස බැලූහ. මේ සියල්ල නරඹන ඇසෙහි රෙකෝඩරය වූයේ මතකයයි. ඇසෙහි පටිගත වීම අනෙකාට පෙන්විය නොහැකි විය. අනෙකාට භාෂාවෙන් පමණක් කියන්නට පුළුවන් විය. අරුන් දෙන්නා ගඟ ගාව මෙහෙම හිටියා. මම ඇහැටම දැක්කා කියා පවසන්නට පමණක් පුළුවන් විය. වාචික සාක්ෂි මිස වීඩියෝ සාක්ෂි නොමැති.විය. එහෙත් කැමරාව සොයා ගැනීමත් සමග දර්ශකාමයට නව ආකාර, නව තත්වයන් ගොඩනැගුනේය.. දැන් අපේ පියවි ඇසින් දර්ශන කාමය සොයා යා යුතු නැත. කාමරවල, රහසිගත තැන්වල සිදුවන ලිංගික ක්‍රීඩා නැරඹීමට මානව ශරීරය අනතුරේ හෙළිය යුතු නැත. රහසිගත කැමරා අපගේ ආශාවන් ඉටුකර දෙන මෙවලමක් බවට පත්ව ඇත. කැමරා ඇස දර්ශන පටිගත කර ගනියි. පසුව එම දර්ශන සී.ඩී., ඩී.වී.ඩී හරහා පමණක් නොව, අන්තර්ජාලයට එක්කිරීමෙන් ලක්ෂ කෝටි ගණනකට නැරඹීමේ හැකියාව තිබේ. අතීතයේ ගැහැනු නාන දෙස හොරෙන් බැලීමට ඇබ්බැහි වූවෝ සිටියහ. ඔවුහු දර්ශනකාමය ලබාගැනීමට ගොස් ගම්මුන්ගෙන් හොඳ හැටි ගුටි කෑවෝය. වනචර මානසික ලෙඩ්ඩු ලෙස හංවඩු ගැසුවෝය... එහෙත් අද නාන කාමරයක සුරූපී ස්ත්‍රීයක් නිරුවතින් නාන දර්ශනයක් සියුම් කැමරාවක් මගින් පටිගත කොට අන්තර්ජාලයට එක් කළහොත් එය නරඹා නොසිටින පිරිමියෙක් සිටියිද? ගැනු නාන දෙස බැලූ මිනිහාට පහර දෙන ආකාරයට අන්තර්ජාලයෙන් ගැහැනු නාන දර්ශන නරඹන්නාට පහර දෙන්නට කෙනෙක් නැත. නින්දා ගැරහුම්ද නැත. ගුරුවරයාද, පූජකයාද, වෛද්‍යවරයාද, උපාසකයාද, නීතිඥයාද, රස්තියාදුකාරයාද යන සියල්ලෝම රහසිගතව ස්ත්‍රී නිරුවත, ලිංගික ක්‍රීඩා අන්තර්ජාලය හරහා, ඩී.වී.ඩී හරහා නරඹා සතුටු වෙති. දර්ශනකාමිහු සියල්ලෝ මානසික රෝගීන් ලෙස හඳුන්වනවා නම්, නීරෝගි ලිංගික හැකියාවෙන් යුත් සියලු පිරිමි මානසික රෝගීන්ම වෙති. දර්ශනකාමය අද වෙළෙඳ පොළකි. නිල් චිත්‍රපට කර්මාන්තය එහි අග්‍රඵලයයි. මනුෂ්‍යයා දර්ශන කාමයෙන් තොර කළ හැකිද, දර්ශන කාමය පාලනය කළ හැකිද? දර්ශන කාමය පාලනය කළ හැකි වුවද, සම්පූර්ණයෙන් නැති කර දැමිය නොහැකිය. එසේ අවශ්‍ය නම් අප නැවත ඇඳුම් ගලවා ගල් යුගයට යා යුතුය. සතුන් විය යුතුය. දර්ශන කාමයට අඩගසන්නේ සංස්කෘතියයි. සියලු හැඟීම් සඟවන, පාලනය කරන සංස්කෘතිමය ජීවිතයයි.
මේ දිනවල අන්තර්ජාලය පුරා එක්තරා බැංකුවක් යැයි පැවසෙන තරුණක් හා තරුණියකගේ ලිංගික ක්‍රීඩාවක් වේගයෙන් පැතිරෙන අතර, ඔවුන්ගේ අන්‍යතාවයක්ද හෙළිදරවු කරමින් විවේචන විචාර සහිතව සමාජ කතිකාවක් නිර්මාණය වී තිබේ. චිත්‍රපටයක් විචාරය කරන ආකාරයෙන් එම දර්ශන විචාරයට ලක්කළ හැකිය. චිත්‍රපටයක හෝ ටෙලි නාට්‍යයක නම් එහි රඟන නළු නිළියෝ තමා ඉදිරියේ කැමරාවක් තිබෙන බව දනියි. එහෙත් මෙම දර්ශනයන් හි තරුණියකැමරාවක් සඟවා තිබෙන බව නොදනියි. කැමරාව රහසිගතව සඟවා තබා තිබෙන්නේ පිරිමියාය. ඒ අනුව කැමරාව ස්ථානගත කිරීමමම පුරුෂවාදිය. තමන් විඳින ලිංගික තෘප්තිය කැමරාවකින් රෙකෝඩ් කර නැවත නැවත එය නරඹා දර්ශනකාමී සතුටක් අදාළ පුද්ගලයා ලබාගන්නවාද? එසේත් නැත්තම් එම දර්ශනය අනෙකාට පෙන්වා මම අහවල් තරුණිය සමග මෙහෙම සිටියා කියා සතුටක් ලබාගන්නවාද? කැමරාව මැදිහත් වීම සමග දර්ශන කාමය සංකීර්ණ වී තිබේ. කෙසේ හෝ අතිශය පෞද්ගලික මෙම දර්ශන අද ලක්ෂ ගණනකගේ දර්ශනකාමය පිනවන වීඩියෝවක් වී තිබේ. වීඩියෝ දර්ශනය නරඹා නිකන් නොසිට එම තරුණයාගෙත්, තරුණියගෙත් පැටිකිරිය සොයා ෆේස්බුක් හරහා ප්‍රසිද්ධ කිරීමෙන් එම යුවළ මුහුණ දෙන ගැටලුව බෙහෙවින් කනගාටුදායකය. මේවා සයිබර් ගැටලුය. අවසාන වශයෙන් මෙසේ පැවසීය යුතුය. ඔබගේ ලිංගික සතුට අතරට තුන් වැන්නෙකු ලෙස කැමරාව සම්බන්ධ කර නොගන්න. පුරුෂ මූලික කැමරා දර්ශන ඉදිරියේ වඩාත් අපහසුතාවයට, ලැජ්ජාවට පත් වන්නේ ස්ත්‍රියයි.
මම
mamatharunayablogspot.com
මා විසින් තරුණයා පුවත්පත ට ලියු ලිපියකි .කුමන හෝ හේතුවක් නිසා පුවත්පතේ පල නොකරන ලදී


අපේ සමහර හාමුදුරුවරු හිතාගෙන ඉන්නේ මහණකම කියන්නේ ජොබ් එකක් කියලා. සිවුර කියන්නේ යුනිෆෝම් එකක් කියලා. ගිහියොත් හිතාගෙන ඉන්නේ හාමුදුරුවරු මරණෙට, දානෙට, පිරිතට, බණට වඩින්න ඕනේ පිරිසක් විතරයි කියලා.... මහනකම කියන්නේ මෙහෙම දෙයක් නෙවෙයි නේ... චීවරය දාරගෙන ඉන්න හමුදුරුවරු ආත්ම විමුක්තිය, නිර්වාණය හොයා ගන්න වෙහෙසෙන්න එපැයි. මහණවීමේ මූලික අරමුණ විය යුත්තේ එක නේ.... හැබැයි හාමුදුරුවරුන්ට නැත්තෙත් එකම නේ... ගිහි ජීවිතේ අතෑරලා චීවරය දරාගෙන පන්සලේ ජීවත් වෙන්නෙ ඇයි? ගිහි සැපය අත්හරින්නනේ... හැබැයි සමහර හාමුදුරුවරු හිතාගෙන ඉන්නවා ගිහියන්ගෙ මරණයකදි පාංසකූලය දෙන්න, පිරිත් ටිකක් කියන්න, දානෙට වඩින්න, බෝධි පූජාව තියන්න, කවි බණක් කියන්න, රට ජාතිය රකිනවා කියලා දේශප්‍රේමී කතාවක් කරන්න, දේශපාලනය කරන්න, නිදහස් අධ්‍යාපනය රැකගන්න, ගිහියන්ට බණක් කියන්න මහණකමේ හිටියාම ඇති කියලා ... රස්සාවල් කරන මිනිස්සු තමන්ගෙ රැකියාවෙ වගකීම දරනවා වගේ තමයි හාමුදුරුවරු ඔය වැඩ ටික කරන්නේ. ඔය සේරම අතුරු වැඩ නේ.... ප්‍රධාන කාර්ය වෙන්න ඕනේ නිවන කරා යාම නේ... නැවත ඉපදීම අහෝසි කරදමන මාර්ගය සොයා ගැනීම නේ....
ගිහියන්ටත් වඩා ආසාවල් හිතේ පුරෝගෙන මහණකමේ ඉඳීමේ තේරුමක් තියෙනවද? සියලුම ගිහි ආශාවන් හිතේ තියාගෙන නිවන් දකින්න පුළුවන්නම්, බුදු හමුදුරුවෝ චීවරය දරා ගත්තු හාමුදුරුවරු කියලා පිරිසක් වෙනම නිර්මාණය කරන්නෙ නෑනේ.... මේ කාලේ හාමුදුරුවරු හැමදේම කරනවා. හැබැයි නිවන් දකින වැඩේ අතාරිනවා. කට පාඩම් කරගෙන බණ කියනවා. ගිහියන්ට උපදෙස් දෙනවා. ගිහියොත් ඔහේ සාදු! සාදු!! කියනවා, එච්චරයි .
මගේ හිතෙන් ඈතම ඈත කොනක මහණදම් පිරීමේ ආශාවක් තියෙනවා... විවාහ වෙන්න කලින්, දරුවෝ හදන්න කලිනුත් ඒ ආශාව කැමැත්ත හිතේ තිබුණා..... ඒත් මහණ දම් පුරන්නේ කොහොමද හිතේ මේ තරම් ආශාවල් තියාගෙන... ස්ත්‍රීන්ට ආසයි, යාන වාහන, ගෙවල් දොරවල්වලට ආසයි. රසවත් කෑම කන්න, බොන්න, අඳින්න, පලඳින්න ආසයි. මේ සියලු ආශාවල් හිතේ තියාගෙන මහණ වුණාම මොකද වෙන්නේ. ගිහි ආසාව සිවුර අස්සෙන් එළියට එනවා. දැන් ඔය ජනප්‍රිය වෙන්න බණ කියන හාමුදුරුවරු ශරීරය මේන්ටේන් කරන විදිහ බලන්න... ලස්සන උපාසිකා ස්ත්‍රීන් පන්සලට ආවම අමුතු වෙලා ඇඹරෙන හැටි බලන්න. ගිහි ආශාවන් සිවුරේ ඉඳන් එළියට දාගන්න ක්‍රම බුදු දහමට එකඟ විදිහට හාමුදුරුවරු හදාගෙන තියනව නේ... ගිහි ආශාවන් සිවුර දාගෙන ඉටුකර ගන්න ඕනේ නම්, ශාසනය රකින්න කියලා මහණ වෙන්න එපා... සමහර හාමුදුරුවරුන්ගේ හැසිරීම් දිහා බැලුවාම බුදු හමුදුරුවෝ හිටියා නම් කියනවා, මෙහෙම හාමුදුරුවෝ නම් චීවරය දරාගෙන ඉන්නේ... මා විසින් පිහිටවපු බුද්ධ ශාසනය විනාශ වී ගියත් මෙවැනි හිමිවරුන්ගෙන් නම් ශාසනයට පලක් නෑ කියලා... අර මඩකලපුව පැත්තේ චණ්ඩි හාමුදුරුවෝ අමුතිත්ත කුණුහරුපයෙන් බැණ බැණ මිනිහෙකුට පහර දෙන දර්ශන යූටියුබ් එකෙන් තාමත් බලන්න පුළුවන්. හැබැයි උන්වහන්සේ සිවුර දරාගෙන අමුතිත්ත කුණුහරුප කියාගෙන සිංහල බෞද්ධකම මඩකලපුවෙ රකින හින්දා අපේ මිනිස්සු උවහන්සේට හරි කැමතියි. අමුතිත්ත කුණුහරුප කිය කියා මිනිස්සුන්ට ගග හා සිංහලකමයි, බෞද්ධකමයි රැකලා මොකටද? එහෙනම් සිවුර ගලවලා පැත්තකින් තියලා ඔය වැඩේ කළා නම් හරි. එහෙම කළා නම් හිරේ දානව නේ.. බුද්ධ චීවරයට තියෙන ගෞරවය, බලයට නේ සිවුර දාගෙන මේ වැඩ කරන්නේ... අපි හැමෝට සිවුරට බයයි නේ... ගෞරවයටත් වඩා පව් සිද්ධ වෙයි කියලා බයයිනේ... මොනවා වුණත් හාමුදුරුවොනෙ කියලා බය පක්ෂපාතීව සලකන ගතියක් අපේ සංස්කෘතියෙම තියෙනව නේ... හාමුදුරුවරු ගිහියන්ට බණ දේශනා කරනවා. ගිහි ජීවිතේ යහමගට ගන්න හදනවා. හැබැයි ශාසනේ මොන තරම් පිරිහිලාද? මඩකලපුවෙ හාමුදුරුවෝ සිංහල බෞද්ධකම රකිනවා. හැබැයි නිවන ගැන ආත්මවිමුක්තිය ගැන අංශු මාත්‍ර හැඟීමක් උන්වහන්සේ ළඟ තියෙනවා කියලා පේනවද? සිවුර දරා ගැනීමේ මූලික අරමුණෙන් ඈත්වෙලා අතුරු වැඩ කරන අය තමයි මේ...
තව එක් කෙනෙක් ඉන්නවා තමන් රහත් වෙලා කියලා ලොකු පුටුවක ඉඳන් බණ කියන හාමුදුරුකෙනක් මේ හාමුදුරුවො කියනවා අරලියගහ මන්දිරේ පොල්කොටන් දෙකක් දාපු වැසිකිළියක් තියෙනවා කියලා කිව්වනම් මිනිස්සු සතුටු වෙනවලු. මිනිස්සුන්ට තියෙන්නේ හිඟන සම්ප්‍රදායක්ලු. රජා, රජා විදිහට ඉන්න ඕනෙලු. ගෙදරින් බත් ගෙනල්ලා කන්නෙ ග්‍රාමසේවකලු.මේ හාමුදුරුවෝ හිතාගෙන ඉන්නේ ලංකාවෙ තාමත් රට පාලනය කරන්නේ රජෙක් කියලා. රජතුමාගේ වැසිකිළිය ඒ.සී. කරලා කොමඩ් එක රත්තරන්වලින් හදලා තියෙන්න ඕනේ කියල. රාජ සම්ප්‍රදායට අනුව රජ දරුවෝ අසීමිත සැප විඳින්න ඕනේ කියල.. රාජගේ සහෝදරයෝ රටේ සම්පත් කොල්ල කන්න ඕනේ.කියල.. රජාගේ නැදෑයෝ රටේ ඉහළ තනතුරුවලට පත්වෙන්න ඕනේ.කියල.. එහෙම නැත්නම් රට අරාජික වෙනවා. රජා, රාජ බලයෙන් රජ සැප වින්දට මහජන ඡන්දයෙන් පත්වෙන පාලකයෙකුට රාජ සම්ප්‍රදාය ගෙන යන්න කිසිම අයිතියක් නෑ... මහජන දේපොළ අයතා විදිහට භාවිත කරන්න අයිතියක් නෑ... උන්වහන්සේගේ බණ ටික හොඳයි යටත්වැසියන්ට. පුරවැසියන්ට ඒ බණ හරියන්නෙ නෑ ... උන්වහන්සේටත් තියෙන්නේ රාජකීය අමාරුවක් ... මල් උඩින් ඇවිදින්න... බුෆේ දානේ වළදන්න... සුරූපි ළඳුන්ට කියලා මල් පෙති ඉහගන්න, දානෙ බෙදා ගන්න... මං කියන්නේ ඔය හාමුදුරුවන්ට සිවුර ගැලෙව්ව නම් ඔය වැඩ ටික ඔය විදිහට කරගන්න බෑ... සිවුර පොරවගෙන තමයි ගිහි ආශාවන් ටික බුදු දහමට එකඟ විදිහට මුදාහරින්නේ... මේ හාමුදුරුවන්ට කියන්න පුළුවන් මේ සේරම දේවල් කළාට මම මේ කිසි දෙයක් අල්ලගෙන නෑ.. සේරම අතෑරලා ඉන්නේ කියලා. මේක තමයි බුදුන්ගේ ශාක්‍යවංශික සම්ප්‍රදාය. හිඟන ජෛන සම්ප්‍රදාය නෙමෙයි මම අනුගමනය කරන්නේ කියල මම නිවන් දැකලා ඉන්නේ කියලා කියන්න පුළුවන් . අතීතයේ ග්‍රීසියේ හිටියා විතන්ඩවාදියෝ කියලා හඳුන්වපු පිරිසක්. ඕන විදිහකට තර්ක කරලා එයාලට දිනන්න පුළුවන්. සල්ලිවලට තර්ක කරලාත් දිනනවා.
ඒ වගේම තමයි මේ හාමුදුරුවොත්,මේ හාමුදුරුවන්ගේ සියලු වැඩ බුදු දහමට එකඟයි කියලා මේ හාමුදුරුවන්ට පෙන්නන්න පුළුවන්... නිවන විද්‍යාවක් නොවන නිසා පරීක්ෂණ, නිරීක්ෂණ, නිගමනවලින් ඔප්පු කරලා පෙන්නන්න බෑ.... නිවන මීටරයකට අහුවෙන්නෙත් නෑ... මේ හාමුදුරුවොත් රහත් කියලා කිව්වාම පිළිගන්න අය පිළිගන්නවා. අපි විවේචනය කරනවා. මම එක ප්‍රශ්නයයි අහන්නේ... පොදු ජනයාට තේරෙන විදිහට බුදු දහමේ ගැඹුර හරය පහදලා පොත්පත් ලියපු, බුද්ධ ධර්මය ගැන විශාල අවබෝධයක් තිබුණ රේණුකානේ චන්ද විමල හාමුදරුවෝ ජීවත් වුණේ ජෛන හිඟන සම්ප්‍රදායට අනුවද? උන්වහන්සේ අපවත් වුණාම උන්වහන්සේගේ කැමැත්ත අනුව අවමඟුල් උත්සවයක් නොගෙන මිනී පෙට්ටියක ශරීරය නොදා අපවත් වුණු ඇඳ පිටින් ඔසවාගෙන ගිහිල්ලා දර සෑයක සිරුර දවාලූයේ ජෛන හිඟන සම්ප්‍රදායට අනුවද? මේ ප්‍රශ්නයට උත්තරය විදිහට මේ හාමුදුරුවන්ට කියන්න පුළුවන් ඔව්, ජෛන හිඟන සම්ප්‍රදාය තමයි ඕක කියලා.
ඔව් කියපු ගමන් ප්‍රශ්නේ අහපු මම පරාදයිනේ... මම මේ ප්‍රශ්නෙ අහන්නේ ඔව් කියන පිළිතුර බලාපොරොත්තුවෙන් නෙමෙයිනේ... මගේ ප්‍රශ්නය ඇසීමෙන් මේ හාමුදුරුවන්ගේ ක්‍රියා පිළිවෙත වැරදියි කියන්නයි මට අවශ්‍යය. හැබැයි ප්‍රශ්නෙට ඔව් කීමෙන් එයා දිනනවා, මම සවුත්තු වෙනවා. ඕවා තමයි විතන්ඩවාදී තර්කවල ස්වරූපය. රේණුකානේ චන්දවිමල මහානායක හාමුදුරුවන්ගේ ජීවන විලාසය ජෛන හීන සම්ප්‍රදාය තමයි කියලා මේ හාමුදුරුවන්ට කියන්න පුළුවන්නේ. බුදු හාමුදුරුවන්ගේ පිරිනිමන් මංගල්‍ය පවත්වපු විදිහ දන්නෙ නැද්ද? අන්න බුද්ධ සම්ප්‍රදාය, අන්න රාජකීය සම්ප්‍රදාය කියලා මේ හාමුදුරුවන්ට කියන්න පුළුවන්. රටේ බහුතර ජනයා දැඩි ආර්ථික අපහසුතා මධ්‍ය‘යේ ජීවත් වෙනකොට රාජකීය සම්ප්‍රදාය රැකිය යුතුයි කියලා සිහි බුද්ධිය තියෙන, විචාරය බුද්ධිය තියෙන මිනිහෙකුට කියන්න පුළුවන්ද? බුදුන් වහන්සේ ජීවමානව භෞතික ශරීරයක් නොමැති නිසා උන්වහන්සේ දේශනා කළාය කියා පවතින ඇතැම් දේ පිළිගන්න වෙලා තියෙනවා. අන්න ඒ දේවල් එක්ක තමයි ගොඩක් අය සෙල්ම් කරන්නේ. . මේ හාමුදුරුවන් රහත් කිව්වාම ඒකට බය වෙලා පව් සිද්ධ වෙයි කියලා අන්ධ භක්තියෙන් ඉන්න අය කොපමණ ඉන්නවද .
තව එක දෙයක් ලියලා ලිවීම නවත්තනවා. ගොඩක් හාමුදුරුවරු දැන් ෆේස් බුක් ඉන්නවා. ඒක ගැටලුවක් නෑ... තාක්ෂණයත් එක්ක හාමුදුරුවෝ ඉන්න ඕනේ... ඔන්න ලස්සන ගෑනු ළමයෙක් ෆොටෝ එකක් ෆේස් බුක් එකේ දානවා. කොල්ලන්ට වගේ හාමුදුරුවරුන්ට ඔයා ලස්සනයි, සෙක්සි, කියුට් කියලා කමෙන්ට් දාන්න බෑනේ... ඉතිං හාමුදුරුවෝ අර ගැහැනු ළමයට කමෙන්ට් එකක් දානවා ගුණ යහපත්කම මූණෙන් පේනවා කියලා. බුදු දහමට මුවා වෙලා ආශාව මුදාහරින විදිහ තමයි ඒක. කොල්ලෙක්ට නම් ජීවිතේට ඔහොම කමෙන්ට් එකක් දාන්නෙ නෑ.. ගෑනු ළමයත් හිනා මූණක් දාලා හාමුදුරුවන්ට රිප්ලයි කරනවා. කවි බණ කියන මේ හාමුදුරුවන්ගේ ෆේස් බුක් පිටුවට මම ගොඩවුණා. ඒ හාමුදුරුවන්ට වෙන මොකක්දෝ ආශාවක් තියෙනවා කියලා බැලුවම පේනවා. අර නළු නිළියන්ට තියෙන ආශාව වගේ එකක්. අනේ හාමුදුරුවනේ ඔය සිවුර ගලවලා ගිහි ජීවිතයට ඇවිල්ලා ලස්සන කෙල්ලක් කසාද බැඳලා පවුල් ජීවිතේ පරිප්පුවත් කාලා ආපහු මහණ වෙන්න... බුදු සරණයි, ගුණයහපත්කම මූණෙන් පේනවා, පින් පාටයි කියලා ලස්සන උපාසිකා කෙල්ලන්ට කමෙන්ට් කරනවාට වඩා ඒක හොඳයිනේ... ගිහි ආශාව හිතේ තෙරප ගෙන සිවුරු දාගන්න එපා. ගිහියෝ වගේ හතර අතේ විවිධ ඉරියව්වලට ෆොටෝ අරන් ෆේස් බුක් දාලා ඔබ වහන්සේලා බලාපොරොත්තු වෙන්නේ මොකක්ද?
mamatharunaya.blogspot.com

Monday, April 4, 2016

ඔබ තෝරාගත යුත්තේ වඩා සාධාරණ බොරු ඇත්ත නොවේද?






අපි සියලු දෙනා මහා බොරුවක් තුළ පුංචි ඇත්තවල් සෙවීමට දුක්විදින මිනිසුන් බව මම ගිය සතියේ ඔබට පැවසුවෙමි. ඒ ඇත්ත අතරින් එක ඇත්තක් වන්නේ දේශපාලන ඇත්තයි. හරි හෝ වැරදි යූ.ඇන්.පී. දේශපාලන ඇත්ත බහුතරය විසින් පිළිගෙන ඇත. අපි කැමති වුණත්, අකමැති වුණත් යූ.ඇන්.පී. දේශපාලන ඇත්ත තුළ අපට ජීවත් වීමට සිදුව තිබේ. මම පෞද්ගලිකව ජේ.වී.පී. ඇත්තකට කැමති වුවත්, එකී ඇත්ත මන්ත්‍රීවරු හය දෙනෙකුට සීමා වී තිබේ. ඒ අනුව යූ.ඇන්.පී. ඇත්ත මන්ත්‍රීවරු සියයකින් පමණ වැඩි විය.  අපි පිළිගත් ඇත්ත පරාජයට පත්වී තිබෙයි. ඒ අපි පිළිගත් ඇත්ත බොරු වීම නිසා නොව, මිනිස්සු ඇත්ත පිළිගන්නේ ඔවුන්ට ඇත්ත යැයි  සිතෙන දේ අනුව නිසාය. සිතන දේ සෑම විටම ඇත්ත වන්නේද නැත. ඇත්ත දේ සෑම විටම සිතෙන්නේද නැත. අපේ ඇත්ත ඔබට බොරු විය හැකිය. ඔබේ ඇත්ත අපට බොරුවිය හැකිය. ඇත්ත සෑම විටම ඇත්ත නොවී බොරුවේ නියෝජනයක්ද වන්නේය.
වඩාත් හිතකර, වඩාත් මනුෂ්‍යවාදී, වඩාත් සාධාරණ මතවාදී ඇත්ත නියෝජනය කළේ ජේ.වී.පී.ය. එහෙත් ඔවුන් පරාජයට පත්වී තිබේ. බහුතර මිනිස්සුන්ට සාධාරණය අවශ්‍ය නැත. වඩාත් හිතකර මනුෂ්‍යවාදී වටපිටාවක් අවශ්‍ය නැත. ඔවුනට අවශ්‍ය සාධාරණ නොවන, මානුෂ්‍යවාදී නොවන සමාජයකි. දැන් එම සමාජය ජාතික ආණ්ඩුවක් ලෙස පැමිණෙමින් තිබේ. ඉදිරි වසර කිහිපය තුළ අපි ජාතික ආණ්ඩු ඇත්ත තුළ ජීවත් විය යුතුය.
ඔබත්, අපත් පිළිගන්නා ඇත්ත ඇත්තම නොවේ. ඇත්ත, ඇත්ත යනුවෙන් දෙයක් දේශපානය තුළ නොපවතියි. දේශපාලනය තුළ පවතින්නේ බොරු ඇත්තකි. බොරු ඇත්තවල් ගොඩක් අප ඉදිරියේ තිබේ. ඉන් ඔබ තෝරාගන්නේ මොන බොරු ඇත්තක්ද? ඔබ තෝරාගත යුත්තේ වඩා සාධාරණ බොරු ඇත්ත නොවේද?
ඇත්තම ඇත්ත යනුවෙන් දෙයක් භාෂාවෙන් කතා කරන ජීවිතය තුළ හමුනොවේ. භාෂාමය සංකල්ප හා ඒ  අනුව ජීවත් වීම ඇත්තම ඇත්ත නියෝජනය නොකරයි. එය බොරු ඇත්තක නියෝජනයකි. බොරු ඇත්ත පිළිගෙන ජීවත් වීම  ජීවිතයට ගැටලුවක් නොවේ. ජීවිතයට ගැටලුවක් වන්නේ බොරු ඇත්ත පිළිනොගැනීමය. ඔබ බොරු ඇත්ත පිළිගන්නේ බොරු ඇත්තක් ලෙස නොවේ. ඇත්තක් ලෙසිනි. දේශපාලනය ඔබ ඇත්තක් ලෙස පිළිගනියි.  ප්‍රේමය, ආදරය ඔබ ඇත්ත ලෙස පිළිගනියි. ආගම, දෙවියන් ඔබ ඇත්ත ලෙස පිළිගනියි. මම ඒ සියල්ල බොරු ඇත්ත ලෙස පිළිගනිමි. ඔබ මේ ඇසට පෙනෙණ, අතට හසුවන භෞතික ලෝකය ඇත්ත ලෙස පිළිගනියි. මම එම භෞතික ලෝකය බොරු ඇත්තක් ලෙස පිළිගනිමි.
ඇත්තක් නම් එය සෑම විටම නිශ්චිත විය යුතුය. එසේ නිශ්චිත වන කිසිවක් නැත. නිශ්චිත වන කිසිවක් නොමැතිනම් සෑම දෙයක්ම වෙනස් වන සුළුනම් සත්‍ය යනුවෙන් දෙයක් පවතින්නේ කෙසේද? නිරන්තර වෙනස් වීම සත්‍යය සෙවීමට බාධාවක් වන්නේය. සත්‍ය අපට හමුනොවන්නේ වෙනස් වීම නිසාය. භෞතික ද්‍රව්‍යයද වේගයෙන් වෙනස් වෙයි. ඔබ පුටුව ලෙස හඳුන්වන ද්‍රව්‍ය දකින මොහොතක් පාසා වෙනස් වෙයි. වෙනස් වන පුටුවත් හැර නොවෙනස් වන පුටුවක් ඔබට අල්ලා ගත නොහැක. භෞතික ද්‍රව්‍යයන්ගේ වෙනස් වීම එතරම් වේගවත් නම් භාෂාමය සංකල්පයන්හි වෙනස් වීම කෙතරම් වේගවත් විය හැකිද? ප්‍රේමය, දේශපාලනය, කලාව, ආගම කෙතරම් වේගයෙන් වෙනස් වන්නේද? නොවෙනස් වෙන දෙයක් හමුවන තුරු වෙනස්වන මෙය අප රවටන්නේය. රැවටි රැවටී සත්‍ය ලෙස මායාවක් පෙන්වන්නේය.
මයාව බිහිසුණු නම් සත්‍ය ලෙස සිතා සිටිය දෙය මායාව වන කල්හි, එය කෙතරම් බිහිසුණු විය හැකිද? අප එම බිහිසුණු බව තවමත් අවබෝධ කරගෙන නොමැත්තෙමු. එසේ අවබෝධ වූවානම් පුංචි ඇත්තවල් බොරු වූවා කියා අප හඬා වැටෙන්නේ නැත. දුක්වන්නේ නැත. කලකිරෙන්නේ නැත.
මහා බොරුවක් තුළ හිඳිමින් පුංචි ඇත්ත, මහා ඇත්ත ලෙස සිතමින් ඒවා බොරු වූ පසු අප රැවටුණා කියමින් දුක්වීමේ අර්ථයක් තිබේද?
ප්‍රේමය මහා බොරුවකි. එම බොරුව තුළ හිඳිමින් අපි ඇත්තට ප්‍රේම කරමු. එම ඇත්ත ප්‍රේමය බොරු වූ පසු අපි දුක් වන්නෙමු. සියදිවි නසා ගන්නෙමු. ඒ ප්‍රේමය ඔබ ඇත්තක් ලෙස සිතන නිසාය.
සියල්ල බොරුවක් මායාවක් ලෙස සිතන්න. යමක් බොරු වුණා යැයි කියා හෝ රැවැට්ටුවා කියා හෝ දුක් නොවන්න. මන්ද, මහා බොරුව තුළ ඇති අතුරු බොරු, බොරු ලෙස නොගන්නා නිසාය.

මට මාව පේන්න පටන් ගත්තාම අනුන්වත් හොඳට පේනවා






මට මාව පේන්න ගත්තම මට මං ගැනම ලැජ්ජ හිතෙනවා. ඉතිං මට ඔබව පේන්න පටන් ගත්තම....
තමන්ට තමන්ව නොපෙනී අනුන්ව පේන්න පටන් ගත්තාම අනුන්ගෙ වැරදි, අඩුපාඩු පේන්න පටන් ගන්නවා. තමන්ව තමන්ට නොපෙනීම තමයි ලෝකයේ තියෙන ලොකුම අඩුව. සියලු අවුල් අනෙකා විසින් හදපු අවුල්. ජීවත් වන සමාජ ක්‍රමය, සංස්කෘතිය, නීතිය, සදාචාරය, ආගම, දේශපාලනය මේ සේරම අනුන් හදපුවා. අනුන් හදපු අවුලක තමන්ගෙ අවුලත් තියාගෙන ජීවත් වීම කොහොම අවුලක්ද?
නිරවුල් හොඳ සමාජයක් හදන්න උත්සාහ කරන මිනිස්සු අවුල් නැති මිනිස්සුද? නෑ... එයාලත් අවුල් මිනිස්සු. දැන් බණ දේශනාකරන හාමුදුරුවෝ අවුලක් නැති අයද? සමහර හාමුදුරුවරු ගිහියන්ටත් වඩා අවුල් කාරයොනේ. සියල්ල අනිත්‍යයයි කියලා බණ කියන හාමුදුරුවෝ පන්සලේ ඉඩමට රණ්ඩු වෙනවා. නඩු කියනවා. සිංහල ජාතිය නිත්‍ය කරන්න හදනවා. මුස්ලිම් ජාතිය නිත්‍ය වෙනවා, සිංහල ජාතිය අනිත්‍ය වෙනවා වගේ අවුල් කතා කියන හාමුදුරුවෝ නැද්ද? තමන්ට තමන් නොපෙනීමේ අවුල තමයි මහා අවුල් ජාලයක් නිර්මාණය කරන්නේ.
මම නම් කාටවත් උපදෙස් දෙන්න, ජීවිතේ කියලා දෙන්න යන්නෙ නෑ. මට මාව තාම හරියට පෙනුණෙ නෑ. මම මං ගැන දන්නෙ නැතුව මම කොහොමද ඔබ ගැන දන්නේ. නොදන්න දෙයක් ගැන දැන ගැනීම, කියා දීම වෙනම දෙයක්. හැබැයි ජීවිතේ ගැන දැන ගැනීම වෙනම දෙයක්. ජීවිතේ ගැන අනුන්ගෙන් දැනගෙන තමන්ගෙ ජීවිතේ මොකක්ද කියලා තමුන් හොයාගන්න ඕනේ. එහෙම නොවී අනුන්ගෙන් ජීවිතේ ගැන දැනගෙන, ඒ අනුව ජීවත්වීම තේරුමක් නැති වැඩක්. එතකොට ඔබ ජීවත් වෙන්නේ අනුන්ට ඕන විදිහට. ටයිම් ටේබල් ජීවිත මට නම් හරි යන්නෙ නෑ. විභාගවලට පාඩම් කරන්න නම් ඒක හරි යනවා. ටයිම් ටේබල් ජීවිත ගත කළාම භෞතික බොහෝ දේ හම්බ වෙනවා. හැබැයි ජීවිතේ මඟ හැරෙනවා. සමහරු ලිංගිකව හැසිරෙන්නෙත් ටයිම් ටේබල් එකට අනුව වෙලාව වෙන් කරගෙනද කියලත් හිතෙනවා. ඒ තරමට ප්ලෑන් කරලා ජීවිතේ.
ප්ලෑන් කරපු ජීවිත ගත කරන මිනිස්සු අතරේ එහෙම නැති මිනිහෙකුට ජීවත්වීම අමාරුයි. සමාජ ගනුදෙනුවලදී, මානුෂික කරුණුවලදී ඔවුන් අසරණයි. මම නම් දැන් පුදුම විදිහට හුදෙකලා වෙලා ඉන්නේ. මට මහා විශාල තනිකමක් දැනෙනවා. මට මාව පේන්න පටන් ගත්තම, මට මං ගැන ලැජ්ජා හිතුණාම, මම මාර බොරුවක්නෙ මේ කරමින් ඉන්නේ කියලා හිතුණාම තනිවෙන්න තමයි හිතෙන්නේ. මට මාව පේන්න පටන් ගත්තාම අනුන්වත් හොඳට පේනවා. එතකොට අනුන් ගැනත් ලැජ්ජා හිතෙනවා. දුක හිතෙනවා. අපි මහා බොරුවක් ඇතුළේ පුංචි ඇත්තවල් හොයන්න දුක් විඳින මිනිස්සු.