Thursday, July 21, 2016

ඔබගේ ලිංගික සතුට අතරට තුන් වැන්නෙක් ලෙස කැමරාව සම්බන්ධ කර නොගන්න.
සතුන් ලිංගිකව හැසිරෙන්නේ එළිමහනේය. ලිංගිකත්වය සතුන්ට කන බොනවා හා සමාන ක්‍රියාවලියකි. මිනිසුන් ලිංගිකව හැසිරෙන්නේ රහසිගතවය. හැං‘ගී ගෙනය. දොරවල් වසාගෙනය. මිනිසාට දැන් ලිංගිකත්වය ස්වභාවික නොවේ. එය සංස්කෘතියකි. සැඟවී රහසිගතව කරන ක්‍රියා නැරඹීමේ කුතුහලයක් මිනිසාට තිබේ. ඒ අතරින් ලිංගික සංසර්ගය ප්‍රධාන වේ. අනෙකාගේ ලිංගික ක්‍රියා නැරඹීමෙන්, ස්ත්‍රී නිරුවත දැකීමෙන් පිරිමි අසීමිත ප්‍ර‘මෝදයට පත් වෙති. ලිංගික ක්‍රීඩා ස්ත්‍රී නිරුවත දැකීමේ කැමැත්ත දර්ශන කාමය ලෙස හඳුන්වයි. ඉංග්‍රීසි භාෂාවෙන් එය Voyeurism ලෙස හඳුන්වයි. අප සියල්ලෝම අඩු වැඩි වශයෙන් දර්ශන කාමයෙන් පෙලෙන්නෝ වෙති. දර්ශන කාමය පුරුෂ මූලිකය.
අතීතයේ දී ස්ත්‍රී නිරුවත පිරිමි රහසින් රස වින්දෝය. යතුරු සිදුරෙන්, බිත්ති උඩින්, වහලයේ උළු අතරින් අනෙකාගේ ලිංගික ක්‍රියා නරුඹූහ. දිය රෙද්ද ඇඳ නාන ස්ත්‍රීය දෙස බැලූහ. මේ සියල්ල නරඹන ඇසෙහි රෙකෝඩරය වූයේ මතකයයි. ඇසෙහි පටිගත වීම අනෙකාට පෙන්විය නොහැකි විය. අනෙකාට භාෂාවෙන් පමණක් කියන්නට පුළුවන් විය. අරුන් දෙන්නා ගඟ ගාව මෙහෙම හිටියා. මම ඇහැටම දැක්කා කියා පවසන්නට පමණක් පුළුවන් විය. වාචික සාක්ෂි මිස වීඩියෝ සාක්ෂි නොමැති.විය. එහෙත් කැමරාව සොයා ගැනීමත් සමග දර්ශකාමයට නව ආකාර, නව තත්වයන් ගොඩනැගුනේය.. දැන් අපේ පියවි ඇසින් දර්ශන කාමය සොයා යා යුතු නැත. කාමරවල, රහසිගත තැන්වල සිදුවන ලිංගික ක්‍රීඩා නැරඹීමට මානව ශරීරය අනතුරේ හෙළිය යුතු නැත. රහසිගත කැමරා අපගේ ආශාවන් ඉටුකර දෙන මෙවලමක් බවට පත්ව ඇත. කැමරා ඇස දර්ශන පටිගත කර ගනියි. පසුව එම දර්ශන සී.ඩී., ඩී.වී.ඩී හරහා පමණක් නොව, අන්තර්ජාලයට එක්කිරීමෙන් ලක්ෂ කෝටි ගණනකට නැරඹීමේ හැකියාව තිබේ. අතීතයේ ගැහැනු නාන දෙස හොරෙන් බැලීමට ඇබ්බැහි වූවෝ සිටියහ. ඔවුහු දර්ශනකාමය ලබාගැනීමට ගොස් ගම්මුන්ගෙන් හොඳ හැටි ගුටි කෑවෝය. වනචර මානසික ලෙඩ්ඩු ලෙස හංවඩු ගැසුවෝය... එහෙත් අද නාන කාමරයක සුරූපී ස්ත්‍රීයක් නිරුවතින් නාන දර්ශනයක් සියුම් කැමරාවක් මගින් පටිගත කොට අන්තර්ජාලයට එක් කළහොත් එය නරඹා නොසිටින පිරිමියෙක් සිටියිද? ගැනු නාන දෙස බැලූ මිනිහාට පහර දෙන ආකාරයට අන්තර්ජාලයෙන් ගැහැනු නාන දර්ශන නරඹන්නාට පහර දෙන්නට කෙනෙක් නැත. නින්දා ගැරහුම්ද නැත. ගුරුවරයාද, පූජකයාද, වෛද්‍යවරයාද, උපාසකයාද, නීතිඥයාද, රස්තියාදුකාරයාද යන සියල්ලෝම රහසිගතව ස්ත්‍රී නිරුවත, ලිංගික ක්‍රීඩා අන්තර්ජාලය හරහා, ඩී.වී.ඩී හරහා නරඹා සතුටු වෙති. දර්ශනකාමිහු සියල්ලෝ මානසික රෝගීන් ලෙස හඳුන්වනවා නම්, නීරෝගි ලිංගික හැකියාවෙන් යුත් සියලු පිරිමි මානසික රෝගීන්ම වෙති. දර්ශනකාමය අද වෙළෙඳ පොළකි. නිල් චිත්‍රපට කර්මාන්තය එහි අග්‍රඵලයයි. මනුෂ්‍යයා දර්ශන කාමයෙන් තොර කළ හැකිද, දර්ශන කාමය පාලනය කළ හැකිද? දර්ශන කාමය පාලනය කළ හැකි වුවද, සම්පූර්ණයෙන් නැති කර දැමිය නොහැකිය. එසේ අවශ්‍ය නම් අප නැවත ඇඳුම් ගලවා ගල් යුගයට යා යුතුය. සතුන් විය යුතුය. දර්ශන කාමයට අඩගසන්නේ සංස්කෘතියයි. සියලු හැඟීම් සඟවන, පාලනය කරන සංස්කෘතිමය ජීවිතයයි.
මේ දිනවල අන්තර්ජාලය පුරා එක්තරා බැංකුවක් යැයි පැවසෙන තරුණක් හා තරුණියකගේ ලිංගික ක්‍රීඩාවක් වේගයෙන් පැතිරෙන අතර, ඔවුන්ගේ අන්‍යතාවයක්ද හෙළිදරවු කරමින් විවේචන විචාර සහිතව සමාජ කතිකාවක් නිර්මාණය වී තිබේ. චිත්‍රපටයක් විචාරය කරන ආකාරයෙන් එම දර්ශන විචාරයට ලක්කළ හැකිය. චිත්‍රපටයක හෝ ටෙලි නාට්‍යයක නම් එහි රඟන නළු නිළියෝ තමා ඉදිරියේ කැමරාවක් තිබෙන බව දනියි. එහෙත් මෙම දර්ශනයන් හි තරුණියකැමරාවක් සඟවා තිබෙන බව නොදනියි. කැමරාව රහසිගතව සඟවා තබා තිබෙන්නේ පිරිමියාය. ඒ අනුව කැමරාව ස්ථානගත කිරීමමම පුරුෂවාදිය. තමන් විඳින ලිංගික තෘප්තිය කැමරාවකින් රෙකෝඩ් කර නැවත නැවත එය නරඹා දර්ශනකාමී සතුටක් අදාළ පුද්ගලයා ලබාගන්නවාද? එසේත් නැත්තම් එම දර්ශනය අනෙකාට පෙන්වා මම අහවල් තරුණිය සමග මෙහෙම සිටියා කියා සතුටක් ලබාගන්නවාද? කැමරාව මැදිහත් වීම සමග දර්ශන කාමය සංකීර්ණ වී තිබේ. කෙසේ හෝ අතිශය පෞද්ගලික මෙම දර්ශන අද ලක්ෂ ගණනකගේ දර්ශනකාමය පිනවන වීඩියෝවක් වී තිබේ. වීඩියෝ දර්ශනය නරඹා නිකන් නොසිට එම තරුණයාගෙත්, තරුණියගෙත් පැටිකිරිය සොයා ෆේස්බුක් හරහා ප්‍රසිද්ධ කිරීමෙන් එම යුවළ මුහුණ දෙන ගැටලුව බෙහෙවින් කනගාටුදායකය. මේවා සයිබර් ගැටලුය. අවසාන වශයෙන් මෙසේ පැවසීය යුතුය. ඔබගේ ලිංගික සතුට අතරට තුන් වැන්නෙකු ලෙස කැමරාව සම්බන්ධ කර නොගන්න. පුරුෂ මූලික කැමරා දර්ශන ඉදිරියේ වඩාත් අපහසුතාවයට, ලැජ්ජාවට පත් වන්නේ ස්ත්‍රියයි.
මම
mamatharunayablogspot.com

No comments:

Post a Comment