Friday, March 18, 2016

මේ ස්ටිකර් දේශප්‍රේමයෙන් රට ජාතිය බේරාගැනීමේ සටනට තරුණයන් පෙළගැසිය යුතුය.







අපේ රටේ දේශපාලන පක්ෂ බදා වැලඳගෙන සිටින දේශපාලන සත්වයන් සිතන්නේ තමන් කැමති දේශපාලන නායකයන් රාජ්‍ය සතු සම්පත් කොල්ල කෑවාට කමක් නැත කියාය. ඔවුන්ගේ විරෝධය එල්ල වන්නේ තමන් අකමැති, තමන් විරුද්ධ දේශපාලඥයන් රාජ්‍ය සතු සම්පත් කොල්ල කෑවොත් පමණි. එහෙත් නිරෝගී දේශපාලන සත්වයෝ කුමන දේශපාලඥයා රාජ්‍ය සතු දේපොළ කොල්ලකෑවද විරෝධය පාති, හඬ නගති. එහෙත් මේ මොහොතේ ලංකේය භූතලය අරක්ගෙන සිටින්නේ තමන් කැමති දේශපාලන නායකයන් හොරා කෑ විට හුරේ දමන රෝගී දේශපාලන සත්වයෝය.
මා මෙලෙස පවසන්නේ අප නිවසේ සිදුවූ සිදුවීමක්ද හේතු වෙනි. බිරිඳගේ පියා රූපවාහිනියේ ප්‍රවෘත්ති නරඹමින් සිටියේය. එහිදී ජෙ.වී.පී.නායක අනුර කුමාර සහෝදරයා යෝෂිත රාජපක්ෂ රිමාන්ඩ් බන්ධනාගාර ගතවීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් පවසා සිටියේ සී.එස්.එන්.නාලිකාව ආරම්භ කිරීමට යෝෂිත රාජපක්ෂ මිලියන දහස් ගණනක් උපයා ගත්තේ කෙසේද යන්නය. පියාගේ ජනාධිපති වැටුපෙන්ද? එසේත් නැතිනම් මැදමුලන කුඹුරුවල ආදායමෙන්ද කියා ඔහු අතිශය සාධාරණ ප්‍රශ්නයක් ඇසුවේය.
මේ ප්‍රකාශයත් සමග බිරිඳගේ පියා කෝපයට පත්විය. මුන් ඒ කාලේ මිනී මරලා, බස් ගිනි තියලා, රාජ්‍ය දේපොළ විනාශ කරලා මුළු රටම ගිනි තිබ්බා...   ඒවටත් මුන්ට දඬුවම් දෙන්න ඕනේ. දැන් කටකයිවාරු ගහනවා කියා කෝපයෙන් කෑ ගැසුවේය.
ඔහුට කරුණු කාරණා පහදා දෙනවාට වඩා ඉබ්බගෙන් පිහාටුවක් ඉල්ලා ගැනීම පහසු නිසාත්, මෙවැනිම අදහස් දරන රෝගී දේශපාලන සත්වයන්ද මෙකල බහුලව සිටින නිසාත් මගේ පිළිතුර   ප්‍රකාශ කරන්නට තීරණය කළෙමි.
හරි හෝ වැරදි ජෙ.වී.පී.ය විසින් සිදු කළේ රාජ්‍ය බලය අල්ලා ගැනීමේ විප්ලවයකි. රට සමාජවාදී පාලනයක් කරා ගෙනයාමේ අරගලයකි. එහිදී රාජ්‍ය බලය හිමි පංතිය හා අරගලකරුවන් අතර ගැටුමක් ඇති වීම ස්වාභාවිකය. මන්ද බලය හුවමාරුව සිදු වන්නේ සර්වජන ඡන්දයේ ප්‍රතිඵලයක් ලෙස නොව, අවියේ ගැටුමේ ප්‍රතිඵලයක් නිසාය. සිදු  නොවියයුතු බොහෝ අඩුපාඩු අත්වැරදීම්, අනබෝධයන්, දුර්වලතා හැත්තෑ එකේ අරගලයෙත්, අසුඅට අසුනමය අරගලයෙත් තිබුණේය. විප්ලවාදීන් පැතූ සමාජවාදී රාජ්‍ය සිහිනයක් වූ අතර, ජීවිත හා දේපොළද විනාශ වුණේය. විප්ලවවාදීන් සටන් කළේ ස්වකීය ආත්ම ලාභය සඳහා නොවේ. හරි හෝ වැරදි උතුම් අරමුණක් ඔවුන්ට තිබුණේය. අසාධාරණ අයුක්ති සහගත ධනවාදී පාලය පෙරළා දමා (එය ධනවාදද? නැද්ද? යන්න වෙනම සාකච්ඡාවකි.) සාධාරණ යුක්ති සහගත සමාජවාදී පාලනයක් ගොඩනැගීමය.
එසේ සිදුවූ අරගලයත්, රාජ්‍ය නායකයන්ගේ පුතුන් රාජ්‍ය සතු මුදල් අයතා ලෙස පරිහණය කිරීමත් සැසඳිය හැකිද? ජෙ.වී.පී.තරුණයෝ අරගල කළහ. එසේ කළේ අගනුවරේ පාරවල් වසා පොදු ජනයා පීඩාවට පත්කරමින් කාර් රේස් පදින්නට නොවේ. කෝටි ප්‍රකෝටි ගණන් මුදල් සෙවීමට රූපවාහිනි චැනල් ආරම්භ කිරීමටද නොවේ. පියවරුන්ගේ බලයෙන් මත්වී රාජ්‍ය සතු සම්පත් භාවිත කරමින් පිස්සු කෙළින්නටද නොවේ. ජෙ.වී.පී.අරගල සම්බන්ධව අපට  විවේචනයක් තිබුණද, අරගලය වෙනුවෙන් දිවි පිදූ දහස් ගණන් තරුණ තරුණියෝ අපගේ වීරයෝය. ඔවුහු කිසිදු ලාභ අපේක්ෂාවකින් තොරව සමාජවාදය වෙනුවෙන් දිවි පිදුවෝය. ක්‍රෑරතර වදහිංසාවට ලක්වෙමින් සමාජවාදී සිහිනය තුළම මියැදුනෝය. එකල ජීවත්වූ රටවැසියෝද මේ අරගලය නිසා බොහෝ පීඩා වින්දහ. ඒ නිසා සාමාන්‍ය ජනයාට ජෙ.වී.පීය සමග ඇත්තේ වෛරයකි. තරහකි. විචාර බුද්ධියක් ඇති ජනතාවෝ පීඩාකාරි ජෙ.වී.පී. අතීතය  අමතක කරමින් නූතන දේශපාලන භාවිතයට සහය දෙති. අතීත දෘෂ්ටියෙන් අනුර කුමාරලා දෙස නොබලති. එහෙත් චින්තනමය වශයෙන් අඩුපාඩු ඇත්තෝ... විචාර බුද්ධිය අහිමිව ගිය ඇත්තෝ ජෙ.වී.පී.ය අසූඅට  අසුනමය කාලයෙහිම තබා රණවිරු යෝෂිත නිදහස් කරන්න යැයි කෑගසති. යෝෂිත අප ඔබ සමග යැයි කියති.  සිරිසේන, අපේ ඥානසාර හාමුදුරුවෝ නිදහස් කරපිය කියමින්ද, කුණුහරුපවැල් කියමින්ද, වීඩියෝ ෆේස්බුක් අප්ලෝඩ් කරති. කුනුහරුප කියමින් බැණ වදින බුද්ධිමය අඩුපාඩු සහිතව උපන් ස්ත්‍රීහුද මෙකල බහුල වෙති. වැරැද්ද කුමක් වුවද ඔවුනට ඇති එකම දුක තමන් කැමති පුද්ගලයාට දඬුවම් කිරීමය. එය   පුදුම චින්තනමය විකෘර්තියකි. රාජ්‍ය සතු දේපොළ අයතා ලෙස පරිහරණ කර ඇත්නම්, ඊට එරෙහිව හඬ නැගීමේදී යෝෂිතද, නාමල්ද,  දහම්ද, චතුරිකාද යන්න අපට අදාළ නැත. යම් දිනෙක සමාජවාදී පාලනයක් තුළ අනුර කුමාරගේ දරුවන් රාජ්‍ය දේපොළ අයතා ලෙස පරිහරණය කළොත්, ඊටද විරෝධය පෑ යුතුය. දඬුවමට යටත් කළ යුතුය. විචාර බුද්ධියක් සහිත තරුණයාගේ දේශපාලන භූමිකාව විය යුත්තේ එයයි. එසේ නොමැතිව උන්මන්ත ජාතිවාදී අන්ධභාවයෙන් පෙළෙමින්, හරක් හංවඩු ගසන්නා සේ සිංහලේ ස්ටිකර් ගසා ගනිමින්, ස්ටිකර් දේශප්‍රේමියන් වීම නොවේ. මේ ස්ටිකර් දේශප්‍රේමයෙන් රට ජාතිය බේරාගැනීමේ සටනට තරුණයන් පෙළගැසිය යුතුය.
මහින්ද රාජපක්ෂ මහතා කොටින්ගෙන් රට, ජාතිය බේරාගත් නිසා ඔහුගේ පාලන කාලය තුළ සිදුවූ සියලු අකටයුතුකම් ඉවසිය යුතු බව දේශප්‍රේමීන් ගෙන එන මතයකි. රාජපක්ෂ පුත්‍රයන්ද රට ජාතිය බේරාගත් අනුහසි න් සියලු වැරදිවලින් නිදොස් කොට නිදහස් කළ යුතුය. රට ජාතිය බේරාගත් අප්පච්චිට කෘතගුණ දැක්විය හැක්කේ එසේය. මේවා නම් අරුම පුදුම තර්කය. බුද්ධිමය අඩුපාඩුය. චින්තනයේ විකෘර්තිය නූතන බොහෝ තරුණයෝ ජාතිවාදයෙන් හිස හිරිවට්ටාගෙන සිටින නිසා වඩා නිවැරදි කුමක්ද? වඩාත් වැරදි කුමක්ද? යන්න තේරාගැනීමට අපොහොසත් වෙති. හරි වැරදි යනුවෙන් බෙදීම පරනය. හරි හෝ වැරදි කියා දෙයක් සොයනවාට වඩා නිවැරදි වන්නේ වඩා නිවැරදි කුමක්ද යන්න සොයා බැලීමය. යහපාලන අප්පුහාමිලාගේ යහපාලනයක් නැති බව ඕනෑම ගොනෙකුට තේරෙයි. යහපාලනය තුරුල්ලේ සැඟවී සිටින හොරු යෝෂිතලා මෙන් හිරේ දමන්නේද නැත. හිරුනිකාලාට ඉස්සරහා දොරොන් ඇතුළු වී පස්ස දොරෙන් ඇප ලබාගෙන ගෙදර යන්නටද පුළුවන්ය. බිරිඳගේ පියා පවසන්නේ පවතින්නේ යහපාලනයක් නම්, යහපාලනයේ රැකවරණය ලබන හොරුද FCID කැඳවා ප්‍රශ්න කර දඬුවම් කළ යුතු බවය.
නිදහස ලබා අවුරුදු හැට අටක් ගත වුවද එවැනි සාධාරණ රාජ්‍ය පාලනයක් ගොඩනගා ගැනීමට අපි අසමත් වීමු. එසේ බලන කල අප සුද්දාගෙන් නිදහස ලබා අසමත් රාජ්‍ය පාලනයක් නිර්මාණය කර ගනිමින් නිදහස සමරන ජාතියක් බවට පත් වී සිටිමු. යහපාලනය තුළ යහපාලනයේ ගුලි වී සිටින ගෙවලයන්ට දඬුවම් නොලැබෙන බව ස්ථිරය. එය වඩාත් තේරුම් ගත හැකි ලෙස පවසන්නේ නම් මෛත්‍රීපාල ජනාධිපතිතුමා තම පුතු දහම්ට රාජ්‍ය දේපොළ අයතා ලෙස භාවිත කළා කියා දඬුවම් කරාවි යැයි සතනවා තරම්ම විහිළුවකි. සාධාරණ සමාජයක් තුළ විහිළුවක් නොවිය යුතු සත්‍ය අසාධාරණ සමාජයක් තුළ විහිළුවකි. යෝෂිතට නීතිය ක්‍රියාත්මක වීමට මෛත්‍රී ජනාධිපති විය යුතු සේම, දහම්ලාට දඬුවම් දෙන්නට මහින්ද හෝ ඔහුගේ අනුගාමිකයෙකු බලයට පත්විය යුතුව තිබේ. එළාර රජතුමාගේ යුක්තිගරුකභාවය පෙන්වීමට මහාවංශ කතුවරයාණන් භාවිත කළ සිද්ධියක් මෙසේ ගෙන එමි. එළදෙනකගේ පැටියා එළාර රජුගේ පුතාගේ අශ්ව කරත්තයේ ගැටී මළේය. එළදෙන ශෝක බරිතව දුකට පත්වූවන්ට හඬවනු පිණිස ගැට ගසාතිබූ මිනිගෙඩිය සොලවන්නේය. එළාර රජු කරුණු කාරණාදැන තම පුතුද හරක් පැටියා මළ ආකාරයටම අශ්ව කරත්තයට යට කර මරා දමන්නේය. මේ කතාව මෙලෙසම සිදු නොවුණද, එළාර රජ සතු වූ යුක්තිගරුක සාධාරණ භාවය උක්ත කතාවෙන් පිළිඹිබු වන්නේය. දුටු ගැමුණු රජ අසාමාන්‍ය වීරයා කළ මහාවංශ කතාවරයාණන් එළාර රජතුමාට මෙවැනි වටිනාකමක් දුන්නේ ඇයි කියා අප විමසා බැලිය යුතුය. ගැහැනු ආභරණ යවා පියාව කෝචොක් කර මහා සටනකින් ඉක්බිති මහලු එළාරව ද්වින්ද සටනකට ආරාධනා කොට එළාර මරා රට එක්සේසත් කළ දුටු ගැමුණු රජතුමාගෙන් පැවත එන්නෝ  . එළාර රජුගේ ගුණ දැකීම දේශද්‍රෝහී වීමකැයි සිතති.
ඉතිහාස කතා එලෙස තබා වඩා නිවැරැද්ද හා වඩා වැරැද්ද දෙසට හැරෙමු... යහපාලනය දුෂ්ට යැයිද, පළිගන්නා සුළු යැයිද, පරගැති දේශද්‍රෝහි යැයිද, ජනයාට සහනයක් හෝ නීතියේ සාධාරණත්වයක් නොමැති යැයිද පවසමින් යහපාලනය පෙරළා දමා අප නැවත බලයට පත්කරන්නට උත්සහ කරන්නේ සාධාරණ, දුෂ්ට නොවන, ජනයාට සහන දෙන, පාලනයක්ද? නැත. දේශප්‍රේමී ස්ටිකර් සිංහලුන්, ඥානසාර බෞද්ධයන් මේ උත්සාහ කරන්නේ නැවත පවුල්වාදී අශීලාචාර රාජපක්ෂවරුන්ගේ පාලනය කැන්දාගෙන ඒමටය. යහපාලනයේ පරාජයට අපිද කැමතිය. යහපාලනයද පරාජය කළ යුතුය. ගැටලුව තිබෙන්නේ යහපාලනය පරාජය කර නැවත බලය ලබාදෙන්නට යන්නේ කාටද කියාය. එතැනට රාජපක්ෂවරු හා ඔහුගේ අනුගමිකයන් කැඳවා ගැනීම නිවැරදිද? මේ මොහොතේ වැරදි වුවද රාජපක්ෂ පාලනයට වඩා යන්තම් හෝ හොඳ පාලනය වෙනුවෙන් අපට ආයාසයෙන් ඉවසාගෙන සිටීමට සිදු වී තිබේ. ජෙ.වී.පී. යට අපි ගරු කළ යුත්තේ හරි නිසා නොව, වැරදි අඩු නිසාය. හරි හෝ වැරදි යනුවෙන් තීරණ ගන්නවා වෙනුවට හරි කීමට ළඟ වැරදි අඩු දේවල් තෝරා කිරා මැන බලා තීරණ ගත යුතුය. විචාර බුද්ධිය භාවිත කිරීම යනු එයයි.

Monday, March 7, 2016

දැන් අප යා යුත්තේ යහපාලනයටත් වඩා හොඳම තැනකටය



දේශපාලනික කරුණු කාරණා ලිවීමේ දී ඇතැමුන් කෝපයට පත්වන බව මම දනිමි. එම කෝපය ඔවුන් මුදාහරින්නේ ඉතාම අසභ්‍ය ආකාරයටය. විරෝධතාවක්, විවේචනයක් ඇත්නම් ඒවා ශිෂ්ට සම්පන්න ලෙස තර්කානුකූලව මුදාහැරිය යුතුය. ඉතා අසභ්‍ය ආකාරයේ ප්‍රතිචාර දැක්වීම් දෙකක් මම දුටුවෙමි. පැරණි ඊමේල් ලිපිනයට එය එවා තිබුණේය. එකක්, බෙන්තොට සිංහයාද? හිවලාද? යන අන්වර්ථ නාමයකින් පෙනී සිටින දේශප්‍රේමී චණ්ඩියෙකි. දේශප්‍රේමී චණ්ඩි මෙතරම් අශිෂ්ට වූයේ කෙසේද කියා මම නොදනිමි. %මම^ කියවන පාඨකයන් අතරේ එවැනි මනෝ ව්‍යාධි සෑදුන රෝගියෝද සිටිති. කුණුහරුප දේශප්‍රේමීන් බුරුතු පිටින් බිහි වී සිටින යුගයක දෙදෙනෙකු පමණක් කුණුහරුප ප්‍රතිචාර දැක්වීම පිළිබඳව මම සතුටුවෙමි. %මම^ කියවන විචාර බුද්ධියක් සහිත පාඨකයන් %මම^ ලිපි පෙළ අගය කරමින් ප්‍රතිචාර දක්වා තිබීම පිළිබඳව මම ඔවුනට ස්තූතිවන්ත වෙමි. සාධනීය අර්ථ පූර්ණ විවේචන මම බොහෝ සෙයින් අගයමි. කිසිදු බියවීමකින් තොරව ඔබගේ අදහස් බ්ලොග් පිටුවේ දක්වන ලෙස මම ඉල්ලමි. ඔබගේ අදහස් තුළින් මම ඉගෙන ගන්නෙමි. අපිට පෙනෙන්නේ, අපි දකින්නේ අපි කැමති පැති පමණි. අපේ කැමැත්ත සාධාරණීකරණය සඳහා සාධක සොයන අතර, අකමැත්ත විවේචනය සඳහාද අපි සාධක සොයමු. සියලු සාධක ලැබෙයි. කැමැත්ත අකමැත්ත නියෝජනය සඳහා ඕනෑතරම් සාධක සොයාගත හැකිය. එසේ නම් අප සිතිය යුත්තේ අපගේ කැමත්ත ඇති වන්නේ කෙසේද කියාය.
මම රාජපක්ෂවරුන්ගේ පාලනයට අකමැතිය. එම අකමැත්ත හේතු සාධක නොමැතිව වෛරය මුල්කරගෙන ඇති වූවක් නොවේ. ඉතා අශිෂ්ට ඒකාධිපති පාලනයක් කරා යමින් තිබූ ගමන ජනවාරි අට වැනිදා නවතා දැම්මේය. දිනනකම් ජනාධිපති පුටුවේ සිටිය හැකි ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කළේය. %සිරස^, %සියත^ වැනි මාධ්‍යය ආයතන ගිනිබත් කළේය. මාධ්‍ය‘වේදීන් මරා දැම්මේය. හතර හන්දි කැඩුවේය. බය කළේය. රාජපක්ෂ පුතුන් රටෙහි හැසිරුණේ මුළු රටම තමන්ගෙ ඉඩමක් ලෙස සිතමිනි. රතුපස්වලදී හමුදාව යොදා ජල අයිතිය වෙනුවෙන් උද්ඝෝෂණය කළ සිවිල් ජනයාට වෙඩි තබා පාසල් යන වයසේ ශිෂ්‍ය‘යන්ද ඝාතනය කළේය. ධීවර උද්ඝෝෂණ නිදහස් වෙළෙඳ, කලාප උද්ඝෝෂණද වෙඩිතබා මනුෂ්‍ය ඝාතන සිදු කරමින් අශිෂ්ට මර්දනයක් මුදාහළ හැටි අපට මතකය. සියලු දේශපාලන පක්ෂද කඩා විසුරුවේය. රජයේ මාධ්‍ය ඉතාමත් නරක අතිපක්ෂග්‍රාහී ලීලාවෙන් හැසිරුණේය. එය පවුලේ නාළිකාව වූයේය. සියලු තැන්හි බලය පැතිරුවේ රාජපක්ෂවරුන්ය.  පැවතිය හැකි වූයේ රාජපක්ෂ පාලනයට එහෙයි කියාගෙන බය පක්ෂපාතීව සිටින අයට පමණි. මා සඳහන් කළේ පසුගිය ආණ්ඩුවට විරුද්ධවීමට ඇති හේතු සාධකය. පක්ෂ වන්නන්ටද ඒ සඳහා හේතු තිබේ. අවුරුදු තිහක් තිබූ යුද්ධය අවසාන කළේ මහින්ද මහත්තයාගේ අභීත නායකත්වයෙනි. කොටි ත්‍රස්තවාදීන් අදටත් සිටියා නම් නිදහසේ පාරේ බැස යාමට නොහැකිය. කොහෙන් බෝම්බ පුපුරයිද කියා අප දන්නේ නැත. එකල බසයේ, කෝච්චියේ ගියේ මරනය අතේ තබාගෙනය. එතරම්ම ජීවිතය අවිනිශ්චිතය. මහින්ද මහත්තයා මරබිය නැති කළේය. ඊළම රාජ්‍ය විනාශ කළේය. ඒකීය රට රැක්කේය. බටහිරට දණ නොනැමුවේය. රට සංවර්ධනය කළේය. පාලම්, බෝක්කු, කාපට් පාරවල්, වරාය, ගුවන් තොටුපළ, ක්‍රීඩාංගණ, උද්‍යාන, ව්‍යායාම මංතීරු හැදුවේය. රට ලස්සන කළේය. මේ රාජපක්ෂවරුන්ගේ පාලනයට පක්ෂ වීමට ඇති හේතු සාධකය.
රාජපක්ෂ පාලනයට පක්ෂ වන්නා  රාජපක්ෂවරුන්ගේ පාලනයට එරෙහිව ඇති සියල්ල මගහරියි. අදාළ කර නොගනියි. ගණන් නොගනියි. පක්ෂවීමට ඇති කරුණු පමණක් හිසට ගෙන රාපක්ෂවරුන්ගේ පාලනය සාධාරණීකරණය කරයි. රාජපක්ෂ පාලනයට විරුද්ධ වන්නා එම ක්‍රියාවලියේ විරුද්ධාර්ථයෙන් සිතයි. මෙහිදී  අප සිදුවීම් කිරා මැන ගත යුතුය. විචාර බුද්ධිය භාවිත කළ යුතුය. විශ්ලේෂණාත්මකව සිතිය යුතුය.
මහින්ද මහත්තයා රට බේරාගත් නිසා සියලු නොපනත්කම් ඉවසා සිටිය යුතුද? රට බේරාගත් නිසා පවුලේ උදවියට රටේ ජාතික ධනයෙන් පිස්සු කෙළින්නට ඉඩදිය යුතුද? රට බේරාගත් නිසා සැමට පොදු විය යුතු නීතිය තමන්ගේ විරුද්ධවාදීන් මර්දනයට යොදා ගැනීමට ඉඩදිය යුතුය. කෙසේ හෝ ඒකාධිපතියෙකු බිහිවීමේ ගමන ජනවාරි අට වැළකුනේය. එය එසේ නොවුණේ නම්, අනාගතයේදී ලංකා රාජ්‍ය බොහෝ අඳුරු වීමට ඉඩ තිබුණි. ජනවාරි අට රාජපක්ෂවරුන්ගේ පාලනය අවසන් කරන විට යහපාලන පාලකයන් රට දැහැමින් සෙමින් පාලනය කරනු ඇතැයි කියා අපි නම් නොසිතුවෙමු. ඒ මොහොතේ අප සිතුවේ පවතින ක්‍රමය නවතා දැමිය හැකි ක්‍රමයකි.
දැන් රාජපක්ෂවරුන්ගේ පාලනය අනුමත කරන පිරිස අසන ප්‍රශ්නයක් තිබේ. යහපාලනය හොඳද කියාය. පැතූ වෙනස මේකද කියාය. ශිෂ්‍යයන්ට, රැකියා විරහිත උපාධි ධාරීන්ට පෙර ලෙසම කඳුළු ගෑස්, ජල ප්‍රහාර, බැටන් ප්‍රහාර එල්ලවෙයි. බඩු මිලද ඉහළ යයි. ජීවත් වීමද අමාරුය. රට බෙදන බවද, රණවිරුවන් පාවා දෙන බවද පැවසෙයි.

අපි යහපාලනේ සියල්ල අනුමත කරන වහලුන් නොවෙමු. යහපාලනය සියලු අගතීන් විවේචනය කිරීමටද, විරෝධය පෑමටද අප සූදානම්ය. අපගේ විරෝධය, විවේචනය නැවත රාජපක්ෂවරුන්ගේ පාලනයෙන් කැන්දා ගෙන ඒමට මග පාදන්නේ නම්, එම විරෝධයේ විවේචයේ පලක් තිබේද? දැන් අප යා යුත්තේ යහපාලනයටත් වඩා හොඳම තැනකටය. එතනට යනවානම් යහපාලන පාලකයන් ගෙදර යවන සටනට අපි ශක්තිය දෙන්නෙමු.
යහපාලනය සම්බන්ධ විවේචනය, විරෝධය අවස්ථාවාදී ජාතිවාදය සමග ගැටගැසී තිබෙයි. රණවිරුවෝ පාවා දෙති, හිරේ දමති, බටහිරට ගැති වෙයි. රට බෙදයි. දෙමළෙන් ජාතික ගීය ගයයි. යහපාලනයට විරෝධය දක්වන්නන් ප්‍රමුඛව ගන්නේ ඉහත සඳහන් හේතු සාධකය. ඉහත සඳහන්  හේතු පොදු ජන මනස කෝපයෙන් අවුළන්නට සමත් වන්නේය. විචාර බුද්ධිය අහිමි කරන්නේය. බඩේ බත් නැති එකා වුවද, රට ජාතිය ගැන මාරාන්තිකව සිතන්නේය. පට්ට හොරෙකු වුවද රට ජාතිය රකිනවා නම්, යහපති යැයි සිතන්නේය. දෙමළෙන් ජාතික ගීය කිව්වාට වඩා සිංහලයාට හිතන්නට ප්‍රශ්න තිබේ. දෙමළෙන් ජාතික ගීය කිව්වාට වඩා සිංහලයාට හිතන්නට ප්‍රශ්න තිබේ. දෙමළෙන් ජාතික ගීය කිව්වට වඩා ඩෙංගු මදුරුවා රටට ප්‍රශ්නයකි. ඩෙංගු සෑදී ළමා ළපටි වැඩිහිටියන් මිය යනවාට වඩා දෙමළෙන් ජාතික ගීය කීම මාරාන්තික ප්‍රශ්නයකි. යුද වැදුණු හමුදා සෙබළා ජීවිත පරිත්‍යාගයෙන් යුද වැදුණු බව අපි දනිමු. අතපය අමිහිව සිටින යුද හමුදා සෙබළුන්ගේ ඡායාරූප ෆේස්බුක් අප්ලෝඩ් කරමින්, කාටද මෙයාලව මතක තියෙන්නේ කියා අසන්නට අවශ්‍ය නැත. ඇතැම්හු යුද බිමේ මාරාන්තිකව තුවාල සහිතව වේදනාවෙන් පීඩිත මස්ලේ වැදලි සහිත ජායාරූපද ෆේස්බුක් දමති.
එම ඡායාරූප නැරඹීමෙන් අප නම් සිතන්නේ, මෙවැනි අමානුෂික යුද්ධයක් නැවත රට තුළ ඇති වීම කෙසේ හෝ වළක්වා ගත යුතු බවය. යුද්ධයකට මග පාදන ජාතිවාදී විසකුරු මූලයක් සමතලා කර දැමිය යුතු බවය. යුද්ධයෙන් සිංහල, දෙමළ, මුස්ලිම් සියල්ලෝම දුක්වින්දෝය. විනාශ උනහ. තම ජාතියේ පිරිසගේ මරනීය වේදනාව පමණක් නොව, සියලු ජාතීන්ගේ මරණීය වේදනවා දැනෙන මානුෂිකත්වයක් රට තුළ නිර්මාණය කළ යුතුය.  මරනීය වේදනාවද ජාතීන් ආගම් අනුව වර්ග කිරීමෙන් අමානුෂික යුද්ධයකට නැවත මග පාදන්නේය. අවස්ථාවාදී ජාතිවාදී චූන්ගන්නා චූන්කාරයන්ට මේ රට කෙළිබිමක් නොකළ යුතුය.
විචාර බුද්ධියක් සහිත තරුණයන් රටකට අවශ්‍ය මේ මොහොතේය. සිංහලේ ඉස්ටිකර් අලවන මෝඩ චූන්කාරයන් මතවාදී වශයෙන්ම පරාජය කළ යුතුය. එය රටේ අනාගත සුරක්ෂිත භාවය වෙනුවෙන් කළ යුතු වැඩක් වන්නේය. එසේ නොකළහොත් මේ රට මහා ලේ විලක් වනු ඇත. මනුෂ්‍යත්වය වෙනුවට ජාතිවාදී උමතුවෙන් දොඩවන ජාතිවාදියාට අවශ්‍ය වන්නේ, සිංහල, දෙමළ යුද්ධයයි. සිංහල මුස්ලිම් යුද්ධයයි. ජීවිත දේපොළ විනාශ වන යුද්ධියයි. මේ යුද ප්‍රේමී මානසිකත්වය මානුෂික ප්‍රේමී කළ යුතුය. මේ වචන ලියන්නේ ඒ වෙනුවෙනි.


Friday, March 4, 2016

සාරියට ඇප දීපු විදිහට සිවුරට ඇප දෙන්න කියන එක නෙමෙයි නිවැරදි පිළිතුර වෙන්නේ




ඔන්න  මම  කියවන අයට පරණ  මම  ලිපි ආපහු කියවන්න පුළුවන්. මම බ්ලොක් පිටුවක් ආරම්භ කළා. Mamatharunaya.blagspot.com හරහා පරණ ලිපි කියවලා ඔබට ප්‍රතිචාර දක්වන්න පුළුවන්. ඔබගේ අදහස් මගේ ලිවීමට හරිම වැදගත්. මෝඩ අදහස්, බුද්ධිමත් අදහස් කියලා මම වර්ග කරන්නෙ නෑ... ඔබට දැනෙන, ඔබට නිවැරදි යැයි හිතෙන අදහස්වලට මම ගරු කරනවා. අදහස් ගැටීමෙන් තමයි නව අදහස් පහළ වෙන්නෙ. දැන් ප්‍රවණතාවයක් තියෙනවා නේ මතවාදී වශයෙන් ගැටෙන්න තර්කයක් ගොඩනගන්න බැරි අය, කුණුහරුප කියන. එයාලා ප්‍රතිචාර දක්වන්නේ කුණුහරපවලින්...  අපේ ඥානසාර හාමුදුරුවෝ අත්අඩංගුවට ගත්තා, වහාම නිදහස් කරපියව්  කියලා කුණුහරුප වැලක් කියනවා. කුණුහරුප කියලා තර්ජනය කරලා ජාතිය රකින්න පුළුවන්නම්, කුණුහරුප කියකියා ඉමු. මේ කුණුහරුප කියකියා ජාතිය, ආගම රකින වැඩේ මානසික රෝගයක් තරමට වර්ධනය වෙලානේ... කුණුහරුප කියලා ජාතික වීරයෝ වෙන්න පුළුවන්ද? මම දැක්කා එක මන්ද බුද්ධික ස්ත්‍රියක් ඥානසාර හාමුදුරුවන්ව නිදහස් කරන්න කියලා ජනාධිපතිතුමාට ඉතාම පහත් විදිහට බණින වීඩියෝවක් ෆේස්බුක් එකට දාලා තියෙනවා. රටේ දේශපාලනඥයෝ සම්බන්ධයෙන් විවේචන තියෙන්න පුළුවන්. හැබැයි ඒ විවේචන ශිෂ්ට සම්පන්න වෙන්න ඕනේ. කුණුහරුපයෙන් බණින එක ශිෂ්ට සම්පන්නද? අපේ දේශප්‍රේමය දැන් කුණුහරුපයක් වෙලා තියෙන්නේ. දේශප්‍රේමියා කියන්නේ  මගේ ලේ කකියනවා යකෝ. කියලා. කුණුහරුප වැල් කියන අයට නෙමෙයි.
චින්තනමය වශයෙන්, බුද්ධිමය වශයෙන් මේ අය මොනතරම් අඩු තැනකද ඉයන්නෙ. මේ වගේ කුණුහරුප කියන අය නිරෝගී සමාජයක් තුළ නම් ප්‍රතික්‍ෂේප කරනවා. හැබැයි මේ වගේ ලෙඩ්ඩුන්වත් වීරයෝ කරන අයත් ඉන්නවා. අන්තිමට අපිට ජාතිය, ආගම කියලා ඉතුරු වෙන්නේ කුණුහරුපයක්. බුදු දහම ගැන යම් තරමකහෝ අවබෝධය තියෙන භික්ෂුවක් හෝ ගිහියෙක් මේ වගේ උන්මත්තක විලාසයෙන් හැසිරෙන්නෙ නෑ... හැසිරෙන්න නෑ නෙමෙයි, හැසිරෙන්න බෑ... බොහෝ අයට තියෙන්නෙ බුදු දහම ගැන දැනුමක් විතරයයි... අවබෝධයක් ඇත්තේම නෑ... එහෙම අවබෝධය තිබුණ නම් බස්වල, ටයර්වලට බිම දිගාවෙලා අඩයක් වෙන්න භික්ෂුවකට බෑ... ජාතිය, ආගම විනාශ කරන්නේ ජාතිය, ආගම රකින්න කෑගහන අයම තමයි... සිංහලේ ස්ටිකරයක් වාහනේ පිටි පස්සෙ ඇළෙව්වා කියලා සිංහලේ ටී ෂර්ට් එකක් ඇන්ඳාම ජාතිය රැකෙනවද? දෙමළ මිනිස්සුත්,  දෙමළේ  කියලා ස්ටිකර් ගහගෙන ටී ෂර්ට් ඇන්ඳොත් අපේ සිංහලේ කට්ටිය මොකද කියන්නේ?
මේ කාලේ පිරිමි හරිම ආසයි පොරවල් වෙන්න... පොරවල් වෙන්න ක්‍රම හොයහොයා ඉන්නේ... සිංහලේ ගහගත්තාම අමුතු පොරත්වයක් එනවා කියලා මේ අය හිතනවා... ගෑනු ඉස්සරහා කැප්පෙටිපොළ, පුරන්අප්පු වෙන්න තමයි මේ අය දඟලන්නේ... හොඳට බැලුවොත් පේනවා වැඩිපුරම සිංහලේ වෙලා තියෙන්නේ පිරිමි. ගෑනු ඉස්සරහා බලු වෙන, පච වෙන ගොඩක් පිරිමින්ට එහෙම නොවෙන්න වීරත්වයක් ඕනි වෙනවා.
පව්... මම නම් මේ අයව හිමින් සීරුවේ අධ්‍යයන කරනවා. නළුවෙකු වෙලා ප්‍රසිද්ධ වීමේ ආශාවට සමාන ආශාවකුත් මේ අයට තියෙනවා. තරුණයෝ ජාතිවාදී වුණාම හරිම කැතයිනේ... තරුණයෝ සමාජවාදී උනාම හරි ලස්සනයිනේ... මොන හේතුවෙක් නිසාවත් ජාතිවාදී, ආගම්වාදී මිලේච්ඡ තරුණයන්ව ප්‍රමෝට් කරන්න එපා... එවැනි අය ප්‍රතික්ෂේප කරන්න... මොකද මේ ජාතිවාදය වහක්..  පළිබෝධනාශක අනතුරු සහතියි. ප්‍ර‘වේශමෙන් පරිහණය කරන්න  කියනවා වගේ මේ ජාතිවාදී තාරුණ්‍යයත් අනතුරු සහිතයි, ප්‍ර‘වේසමෙන් තමයි පරිහණය කරන්න ඕනේ... මේ ජාතිවාදී උන්මත්තකයන්ව හොඳින් නිරීක්ෂණය කළොත්, බුද්ධිමය වශයෙන් ඔවුන්ගෙ පවතින අඩුපාඩුව හොඳට පේනවා.
රණවිරුවන්ටත්, හාමුදුරුවන්ටත්, දොස්තරටත්, ගුරුවරුන්ටත්, වැසිකිළි සෝදන මනුස්සයන්ටත් රටේ නීතිය පොදුයි.  රණවිරුවා රට බේර ගත්තා, ඒ නිසා රටේ නීතිය එයාට අදාළ නෑ.^ කියලා කියන්න පුළුවන්ද? දොස්තර මිනිස්සුන්ගේ ජීවිත බේරගන්නවා කියලා එයාට රටේ පොදු නීතියෙන් ගැලවෙන්න පුළුවන්ද? හාමුදුරුවෝ බුද්ධ චීවරය දරාගෙන ඉන්නවා කියලා රටේ නීතියෙන් බේරෙන්න පුළුවන්ද? බෑ... හිරුණිකාට එවලේම ඇප දුන්නා... ඥානසාර හාමුදුරුවන්ට එහෙම ඇප දුන්නෙ නෑ.... කියන තර්කය, වැරැද්ද නිර්දෝෂී කරන තර්කයක් නෙමෙයි නේ... ඥානසාර හාමුදුරුවෝ උසාවියට පැනලා දේශන පැවැත්තුවා.. ස්වාමියා නැති සොවින් තැවෙන එක්නැලිගොඩ බිරිඳට බැන්ණා... හිරුණිකාට ඇප දුන්නනේ... ඒ හින්දා ඇප දෙන්න කියන වැරැද්ද තුළ වැරැද්ද ඉල්ලා සිටීමක් නේ... ඉදිරියටත් මිනිස්සු වැරදි කරකර හිරුණිකාට ඇප දීපු විදිහට ඇප දීලා එළියට ගන්න කියලා කිව්වොත් හරිද?  රටේ නීතිය ක්‍රියාත්මක වීමේ විශාල අවුලක් තියෙනවා. හිරුණිකාට ඇප ලබාගන්න විදිහේ වැරැද්දක් තියෙනවා නම්, ඒ වැරැද්දයි ප්‍රශ්න කරන්න ඕනේ.. එහෙම නැතුව සාරියට ඇප දීපු විදිහට සිවුරට ඇප දෙන්න කියන එක නෙමෙයි නිවැරදි පිළිතුර වෙන්නේ.
ඇඹිලිපිටියේ තරුණයාගේ ඝාතනයට චෝදනා එල්ලවෙලා තියෙන්නෙ පොලීසියටනේ... දැන් රණවිරු තර්කයට අනුව පොලීසියට චෝදනා කරලා දඬුවම් දෙන්න බෑ... ඇයි පොලීසියත්, රණවිරුවොත් එක්නැලිගොඩ කොටියෙක්ද නැද්ද? එයාව කවුද මැරුවේ... කොහොමද මැරුවේ කියන එක උසාවියෙදි ඔප්පු වෙයි. උසාවියේ වැඩවලට ඥානසාර හාමුදුරුවන්ට මැදිහත් වෙන්න තියෙන අයිතිය මොකක්ද? නින්දෙන් නැගිටලා වගේ එක පාරටම ඥානසාර හාමුදුරුවෝ හෝමාගම උසාවියට වඩින්නේ ඇයි? හොඳට බැලුවොත් පේනවා මේවා සැලසුම් සහගත වැඩ කියලා... රජ ජාතිය රැකීමට එහාගිය දේශපාලන ව්‍යාපෘති වෙනුවෙන් පෙනී සිටීමක් හොඳින් නිරීක්ෂණය කළොත් පේනවා..
 මම  හරහා අද දේශපාලනය ගැන ලිව්වේ එය ලිවීම මේ මොහොතේ අත්‍යන්‍ය නිසා... විශාල තරුණයෝ පිරිසක් මේ ජාතිවාදී උවමනාව වෙනුවෙන් පාවිච්චි වෙන හින්දා.