Monday, April 4, 2016

ප්‍රශ්න තිබෙනතාක් පිළිතුරුද, පිළිතුරු තිබෙනතාක් ප්‍රශ්නද අවසන් නොවෙයි





ප්‍රශ්නයකින් තොරව පිළිතුරකට පැවතිය හැකිද? පිළිතුර නිර්මාණය වන්නේ ඇසෙන හෝ අසන ප්‍රශ්නයට අනුවය.
බුදු හාමුදුරුවෝ ජීවිතයේ අර්ථය කුමක්දැයි සිතුවෝය. එය ප්‍රශ්නයකි. උන්වහන්සේ පිළිතුර සොයා ගැනීම උදෙසා ගිහිගෙය අත්හැර දැමූහ. ගුරුවරු කරා ගියෝය. පිළිතුරක් නොලැබුණ තැන තමා විසින්ම පිළිතුරක් සොයා ගත්තේය. පිළිතුර නිවනය. නැවත නොඉපදීමය. උපත ලද්දෝ දුකට පත්වෙති. ඉපදීමක් නැති නම් දුකක් නැත. බෞද්ධයන් වන අපි එම පිළිතුර පිළිගෙන එතැන නතර වන්නෙමු. කතෝලිකයෝද, මුස්ලිම්වරුද සර්ව බලධාරී දෙවියන් වහන්සේ ළඟ නතර වී සිටිති. පිළිතුරු දෙවියන් ළඟ තිබේ. ප්‍රශ්න අප ළඟ තිබේ. පිළිතුර දෙවියන් වහන්සේගේ කැමැත්තය.
ප්‍රශ්නයක් නොඅසන විට පිළිතුරක්ද නැත. එහෙත් මිනිසුන්ට ප්‍රශ්න නොඅසා සිටිය නොහැකිය. ජීවිතයම ප්‍රශ්නයකි. ප්‍රශ්නද ප්‍රශ්නයකි. අපි ප්‍රශ්න අසන විට ප්‍රශ්නය යනු කුමක්දැයි නොසිතමු. පිළිතුර ගැන පමණක් සිතමු. ප්‍රශ්නද ප්‍රශ්නයක් නම් පිළිතුර ගැන කවර කතාද?
ප්‍රශ්නයට අවසානයක් නැත. එහෙත් ප්‍රශ්නයට අවසානයක් තිබිය යුතුය. බෞද්ධ අපි ප්‍රශ්නය  නිවනෙන්අවසන් කර ඇත. අන්‍යාගමිකයෝ දෙවියන් වහන්සේගෙන් අවසන් කර ඇත. අවසානය ප්‍රශ්න කිරීමට අපි බිය වන්නෙමු. ඒ අප ආගමික භක්තිකයන් වන නිසාය. තමන් විශ්වාස කරන තැනකින් ප්‍රශ්නය අවසන් කරගත හැකිය. ඒ අවසන් පිළිතුර ලැබෙන නිසාය.
ජීවිතය යනු කුමක්ද යැයි අසන ප්‍රශ්නයට අවසන් පිළිතුර සාදා අවසාන නැත. එය අතීතයේදී සෑදුවේය. වර්තමානයේ හදන්නේය. අනාගතයේදී ද හදනු ලබන්නේය. තව අවුරුදු දහසකින් හෝ පන් දහසකින් ජීවිතය යනු කුමක්දැයි කියා අසනු ලබන ප්‍රශ්නයට ලැබෙන පිළිතුර කුමක් විය හැකිද? පිළිතුර ඇත්ත හෝ බොරු වන්නේ අප පිළිතුර බාර ගන්නා විදිහ අනුවය. අප පිළිතුර බාර ගන්නේ අපේ විදිහ අනුවය. දැන් ඔබ බොහෝ පිළිතුරු ළඟ ජීවිතය නතර කර තිබේ. එහෙත් සැනසීමක් තිබේද? නැත. පිළිතුරු සම්පූර්ණ වූවා කියා තෘප්තියක් නැත. මොකක්දෝ මන්දා අඩුවක් දැනේ. හිස් බවක් දැනේ. පිළිතුර පිළිගෙන නතර වුවද සතුටක් නොදැනේ. ඒ තව ප්‍රශ්න තිබෙන නිසාය. පිළිතුර බලාපොරොත්තු වන්නෝ ප්‍රශ්නද නිර්මාණය කර ගනිති. ඒ නිසා අවසානයකට නොපැමිණෙති. ප්‍රශ්න තිබෙනතාක් පිළිතුරුද, පිළිතුරු තිබෙනතාක් ප්‍රශ්නද අවසන් නොවෙයි.
ජීවිතය යනු ප්‍රශ්න හා පිළිතුර පමණක්ද? එසේ නැතිනම් ඉන් ඔබ්බෙහි පවතින යමක්ද ඔබේ ප්‍රශ්නවලට මගෙන් උත්තර බලාපොරොත්තු වෙන්න එපා. මගේ උත්තර ළඟ ඔබ නතර කරලා මට පොරක් වෙන්න ඕනෙ නෑ. සමහරු හිතනවා මං ළඟ උත්තර තියනවා කියලා.  . උත්තර දෙන මමත් ඔය ප්‍රශ්නවලටම උත්තර බලාපොරොත්තු වෙනකොට මම දෙන උත්තර සම්පූර්ණ නෑ නේද? ඇයි අසම්පූර්ණ මිනිහෙකුගෙන් සම්පූර්ණ උත්තර හොයන්නේ?

රැවටීම බිහිවන්නේ ඇත්ත යනුවෙන් යමක් තිබෙන නිසාය






කරුණු ලියන්නට භාෂාව ඇතිය. අවබෝධය ලියන්නට භාෂාව මදිය. කරුණු සහිත අදහස් අප රවටන්නේය. ඔබට රැවටීමට අවශ්‍ය නම් කරුණු සහිත අදහස් පසුපස යන්න. අදහස ඔබව රවටන්නේය. අවබෝධය රැවටීමෙන් ගලවා ගන්නේය. අවබෝධයද අදහසක් ලෙස ගත් කළ නැවතත් රැවටෙන්නේය. රැවටෙනවා යන්නටද, අදහසක් නිසා රැවටීමටද අපි රැවටෙන්නෙමු.
රැවටීම තේරුම් ගැනීමට නම් නොරැවටෙන යමක් තිබිය යුතුය. සියල්ල රැවටෙන සුළු නම්, සියල්ල රැවටීමට අයිති නම් අපි නොරැවටී සිටින්නේ කෙසේද?
අපිට නොරැවටී සිටීමට නොහැකියි. නොරැවටී සිටින කිසිවෙකුටත් ජීවිතයක් තිබිය නොහැකිය. උපන්දා සිට අප රැවටෙන්නේය. රැවටීමට පුරුදු කරන්නේය. හොඳටම රැවටෙන්නේ හොඳ ජීවිත ගත කරන්නෝය. ජීවිතය සාර්ථක කර ගැනීමට රැවටිය යුතුය. අධ්‍යාපනයට රැවටිය යුතුය. ආගමට රැවටිය යුතුය, සංස්කෘතියට, සදාචාරයට රැවටිය යුතුය. ප්‍රේමයට රැවටිය යුතුය. දේශපාලනයට, කලාවට රැවටිය යුතුයි. නොරැවටෙන යමක් වෙනුවට මේ සියල්ල අපට ආරාධනා කරන්නේ එන්න හොඳින් රැවටෙන්න... හොඳින් රැවටී හොඳ රැවටිලිකාර ජීවිතයක් ගත කරන්න කියාය.
නොරැවටී ජීවත් විය නොහැකිය. සැමියා බිරිඳටද, බිරිඳ සැමියාටද,පෙම්වතා පෙම්වතියටද, පෙම්වතිය පෙම්වතාටද රැවටීම අනිවාර්ය වෙයි. නොරැවටුණහොත් මනුෂ්‍ය සම්බන්ධතා විනාශ වෙයි. &මම ඔයාට විතරමයි ආදරේ.. මම රහසින්වත් වෙනත් පුරුෂයෙක් ස්ත්‍රියක් ගැන නොසිතමි.* මනුෂ්‍ය සම්බන්ධතාවයක් සහිත ප්‍රේමයේ අත්‍යවශ්‍යම රැවටීම එසේ නිර්මාණය වෙයි. &අනේ අපි නම් එහෙම නෑ.....* කියා පරසක්වල ගසා කීවත් මනුෂයෝ රහසින් හෝ සිතින් හෝ අන්පුරුෂ අන්ස්ත්‍රීන් සුඛය පතති.
ගුරුවරු ශිෂ්‍යයන් රවටති... ශිෂයයෝ ගුරුවරුන් රවටති... දෙමවුපියෝ දරුවන් රවටති.... දරුවෝ දෙමවුපියන් රවටති... හාමුදුරුවෝ බණ අසන්නන් රවටති... බණ අසන්නෝ හාමුදුරුවන් රවටති..... පූජකයෝ යදින්නන් රවටති... යදින්නෝ පූජකයන් රවටති.. සියලු තැන්හිම රැවටීම අනිවාර්යය සාධකයි.
අපට උගන්වන්නේ ඇත්ත යනුවෙන් යමක් තිබේ යන්නය. ඒ ඇත්ත ඔබ පිළිගන්නා නිසා ඔබ රැවටීම හඳුනාගන්නා බවය. ප්‍රේමය යනුවෙන් ඇත්තට යමක් තිබේ. එය ඔබ පිළිගැනීමෙන් ඔබ සිතන බොරුව, රැවටීම නිර්මාණය කර ගනියි. ඇත්ත යනුවෙන් යමක් නොමැති නම් බොරුවක් නිර්මාණය නොවේ. රැවටීම බිහිවන්නේ ඇත්ත යනුවෙන් යමක් තිබෙන නිසාය. සත්‍ය අතහැර දැමීමේ බොරුවද අතහැර දැමීමක් වන්නේය.
ඔබ රැවටුණු බව නොසිතන්න... මන්ද ඔබ ඇත්ත යනුවෙන් සිතා රැවටී සිටින්නේද මහා බොරුවකට බැවිනි. අප ජීවත්වන්නේ රැවටීම අනිවාර්ය වූ ලෝකයකය.

අල්ලා ගැනීමෙන් තොරව අතහැර දැමීය නොහැක





සියල්ල අත්හැරීමට පුරුදුවන්න කියා පැවසූ කල, අප එය හිතට ගෙන සියලු දේ අතහැරීමට සිතන විට අත්හැරීම තදින් අල්ලා ගන්නේය. සියලු දේ අත්හැරියත් අතහැරීම යන්න අල්ලා ගෙන සිටින නිසා අත්හැරීම සම්පූර්ණ නොවෙයි. භාවනා කරන විට සියලු සිතීම්වලින් බැහැර වී භාවනාව ගැන සිතන්නට පටන් ගනියි. මේ භාවනාවෙන් මම සෝවාන් වෙයිද? අනාගාමී වෙයිද? රහත් වෙයිද? භාවනාව සාර්ථකවීමට භාවනාව ගැන සිතීමද අත්හැරිය යුතුය. සියල්ල අතහැරීම යනු සියල්ල අතහැරීමද අතහැර දැමීමද වෙයි. එය ගැන සිතීම කෙතරම් වූ දුෂ්කර කටයුත්තක්ද? අතහැරීම යනු සියල්ල අතහැරීමද? අතහැර දැමීමයි කී කල්හි අප   සියල්ල අතහැර දමා , අතහැර දැමීම  යන්න අල්ලා ගන්නේය. ඉන්පසු එයද... එයද... එයද අල්ලා ගන්නේය. අල්ලා ගැනීමෙන් තොරව අතහැර දැමීය නොහැක. අත්හරින්නට සිතන්නේ අල්ලාගෙන ඇති නිසාය. අල්ලා නොගත්ත කල්හි අතහරින්නට දෙයක් නැත.
අල්ලා ගැනීමෙන් තොර ජීවිතයක් ඔබටද,   මේ මටද නැත. මමද ඔබ මෙන් සියල්ල අල්ලාගෙන සිටිමි. ඔබ නරකයි, මම හොඳයි කියා දෙයක් නැත. අප සියල්ලෝම නරක යටපත් කර හොඳ පෙන්වමින් සිටින බොරුකාරයෝ වෙති. ඇත්තට මිනිස්සු බිය වෙති. සත්‍ය බිය ජනකය. හිතරිදවයි   සත්‍ය බිය උපදවන්නේ සත්‍ය සත්‍ය ලෙස දකින විටය. උදාහරණයක් ලෙස මෙසේ සිතුවහොත් සත්‍ය යනු මේ ශරීරය විනාශ වන බවයි. මැරෙන බවයි. එහෙත් අපි එසේ නොසිතා ජීවත් වීම බොරුවකි. මරණයේ සත්‍ය ගැන හිතුවොත් ජීවිතේ බොරුව අහිමි වෙයි. ජීවිතේ බොරුව ගැනම සිතුවොත් මරණයේ සත්‍ය අහිමි වෙයි. මැරෙන බව සිතීම ජීවත් වීමට පහසුවක් වන්නේ සත්‍ය විසින් බොරුව දියාරු කර දමන නිසයි. කම්මැලියන්ටද මේ කිසිවක් වැඩක් නෑ.... අපි කවදාහරි මැරෙනවා නේ කියා කිසිවක් නොකර ඇදේ නිදාගෙන කකා බිබී සිටිය හැකිය. මරණයේ සත්‍ය අවශ්‍ය කම්මැලියන්ට නිකමුන්ට නොවේ. ජීවිතයේ බොරුව පසුව පස හඹා යන මිනිස්සුන්ටය. වැඩ අධිකව  මම හරි බිසී  කියන අයටය. අනෙකාගේ ශ්‍රමය සූරාකමින් අධිසුඛෝපභෝගී ජීවත ගත කරන අයටය. අපිට කිසිම සැපක් නෑ කියා බස්වල කෝච්චිවල රස්සාවට යන ගෑනු මිනිස්සුන්ටය.
දුක හෝ සතුටට අවසානයක් නැත, දුකද සතුටද පැටව් ගසන්නේය. ජීවිතයේ දුක හෝ සතුටට අවසන් කරගත් පෘතග්ජනයන් ලොව නැත. සතුට අවසාන වූවානම් අප ධනය පිටුපස හඹායන්නේ නැත. ධනය ලැබෙන විට සතුට ලබාගත හැකි මාර්ග තව තව විවර වන්නේය. ජීවිතයේ අවසානය. මරණය වුවද දුකේ අවසානය මරණය නොවේ. මරණයෙන් පසු දුක ආගමික උත්තරවලින් ගොඩනැගී තිබේ. මරණයෙන් පසු දුක පිළිබඳව විද්‍යාත්මක පිළිතුරු නැත.