Monday, April 4, 2016

දැන් ජීවිතයේ මැජික් හඳුනා ගැනීමට කාලය එළඹ ඇතැයි මට සිතෙයි



  •  

ජීවිතය මැජික් එකක් යැයි විටෙක මට සිතෙයි. දරුවෙක් පිළිසිඳ ගැනීම මැජික් වැඩකි. පුංචි දරුවෙක් මෙලොවට බිහිවීම, එම දරුවා වැඩිහිටියෙකු වීම මැජික් වැඩකි. මරණින් පසු එම ජීවියා අතුරුදන් වීමත් මැජික් එකකි. සියල්ල සිදුවන්නේ පුදුම සහගත ලෙසය. සමස්ත ජීවිතයම මැජික් වැඩවලින් පිරී තිබෙයි. පෙම්වතියන් මුණ ගැසීම, විවාහ වීම, ප්‍රේම කිරීම මේ සියල්ල මට අනුව මැජික්ය. දැන් මම මේ මැජික් සෙල්ලමේ සත්‍ය කුමක්දැයි සොයමින් සිටිමි.
මැජික් සංදර්ශනයක් නරඹන විට අපි එය මැජික් කියා දන්නෙමු. අපි මායාවකට රැවටී සිටින බව දන්නෙමු. එලෙස දන්නේ මැජික් පෙන්වන ශිල්පියෙක් සිටින නිසාය. අපි නොදන්නා සත්‍ය මැජික් ශිල්පියා දන්නා බව අප දන්නා නිසා එය මායාවක් යැයි අපි සිතන්නෙමු.
ජීවිතය තුළ සිදුවන මැජික් අප මැජික් ලෙස හඳුනා නොගන්නේ මැජික් පෙන්වන කෙනෙකු නැති නිසාය. එසේ නම් ජීවිතයේ මැජික් එක පෙන්වන කෙනෙක් අවශ්‍ය අපට සත්‍ය සොයාගත හැක්කේ ඔහුගෙනි. ශිල්පියා නොමැති නිසා මැජික් එකක් නොවේ යැයි අපි සිතමු. එය එසේ විය හැකිද?
මැජික් ශිල්පියෙක් යමක් අතුරුදන් කරනවා මෙන් අප ආදරය කරන්නෝ අප හැරදමා යති. මරණය මැජික් එකකි. මේ සිටියා මේ නැත. උදේ හමුවූ කෙනා හවසට නැත. සිප වැලඳ ආදරයෙන් වෙන්වූ කෙනා තව පැය භාගයකින් විනාඩි පහකින් අප හැරදා යා හැකිය. ජීවිතය එළඹෙන මොහොතින් නැති වී යයි. ශරීරය දවාලූ පසු ඇට කැබිලිති හැර වෙන කිසිවක් ඉතුරු නොවේ. අපේ ජීවිතය කොතරම් බිහිසුණු මැජික් එකක්ද.
සත්‍ය දැන ගැනීමට වෙහෙසෙන්නෝ මැජික් බලා පමණක් සතුටු නොවෙති. ඔවුන් මැජික් එක කරන්නේ කෙසේ දැයි සෙවීමට වෙහෙසෙති. එය දැනගත් කල්හි මැජික් බලා ලබන සතුට නොලැබී යයි. මන්ද මායාව අප සතුටට පත් කරන හෙයිනි. බොරුව ආස්වාදනීය වෙයි. මැජික් ශිල්පියෙක් කාරයක් රෙදි කඩකින් වසා අතුරුදන් කරන විට අපි විශ්වාසයටත් සතුටටත් පත්වෙමු. එහෙත් වාහනය අතුරුදන් කරවන ශිල්ප  අප හඳුනාගත්විට පෙර සතුට වෙනුවට වෙනත් සතුටක් ඇති වෙයි. එනම්, බොරුව අප දැන ගත්තාය යන සතුටයි.
ජීවිතයද එසේමය. ජීවිතයේ බොහෝ තැන්හි අප  සතුටට පත්වෙමු. දුකට පත්වෙමු. ඒ ජීවිතයේ මැජික් අනුවය.
ජීවිතය යනු කුමක් දැයි හඳුනා ගත්විට අපගේ සතුට මැජික් සතුටෙන් මාරු වෙයි. ඔයා මැජික් කරන විදිහ මම දැන ගත්තා යන සතුටට සමාන සතුටක් ඇති වෙයි.
දැන් අප මැජික් දෙස බලා සතුටු විය යුතුද? එසේත් නැතිනම් මැජික් එක යනු කුමක්දැයි සොයා සතුටු විය යුතුද? ජීවිතයේ මැජික් බැලුවා ඇතිය. දැන් ජීවිතයේ මැජික් හඳුනා ගැනීමට කාලය එළඹ ඇතැයි මට සිතෙයි. ඒ වෙනුවෙන් අප කළ යුත්තේ කුමක්ද. ගිහිගෙය අතහැර දමා භාවනා කළ යුතුද? එසේ නැත්නම් ජීවිතයේ සියලු විසූක දස්සන අතරේ සිට සත්‍ය සොයා ගත යුතුද? සොයා ගන්නා සත්‍යයද, සත්‍යයක් දැයි සෙවිය යුතු කල සොයන්නේ කුමක්දැයි යන්නද මට නොවැටහේ.

සිද්ධ වෙන හැම සිද්ධියකටම ලොකු අදහසක් තියෙනවා






විහාර මහාදේවි පාක් එකේ බංකුවක් උඩ තනියම වාඩිවෙලා ඔහේ බලාගෙන ඉන්න අවුරුදු තිස්පහක පෙනුම තියෙන මනුස්සයෙක් හිටියොත්, ඒ මම වෙන්න පුළුවන්. ඉතිං ඒ විදිහට ගිය සතියෙ දවසකත් මම තනියම බංකුවක වාඩි වෙලා හිටියා. මට ඉදිරියෙන් අවුරුදු දහඅටේ, විස්සෙ කොල්ලො කෙල්ලො ටිකක් විනෝදයෙන් කතාබහ කරමින් හිටියා. මේ කොල්ලො කෙල්ලො අතරේ දෙමළ අයත් හිටියා. ඔය වයසෙදි මමත් ඔය විදිහටම හිටපු හැටි මතක් කරකර ඒ ළමයි දිහා බලාගෙන හිටියා. හුරුබුහුටි ලස්සන කෙල්ලො, කඩවසම් කොල්ලො, මිට්ටො, දිග දන්ඩො, බතලයො වගේ හැම යාළුවො සෙට් එකකම ඉන්න වර්ගයේ කට්ටිය එතන හිටියා. එතන පෙම්වතුන් කවුරුත් හිටියෙ නෑ. ඒ හින්දා හැමෝම හිටියෙ ලොකු නිදහසකින්. ප්‍රේමය හැමවෙලාවෙම මනුෂ්‍ය නිදහසට බාධා කරනවා. ප්‍රේම කරන්න කලින් අපි හැමෝම යාළු මිත්‍ර‘යො වගේ නිදහසේ ආශ්‍රය කරනවා. ඉතිං මමත් මේ ළමයි දිහා ආසාවෙන් බලාගෙන හිටියා. එක පාරටම සිංහල කෙල්ලක් දෙමළ කෙල්ලක් එක්ක ටිකක් ඈතට ගියා. ඊට පස්සේ අනිත් එවුන් ටික ලොකු කේක් එකක් අරගෙන මේස උඹ තියලා ඉටිපන්දම් පත්තු කළා. අර සිංහල කෙල්ල දෙමළ කෙල්ලව එතනට එක්කගෙන එනකොට එතන බර්ත් ඩේ පාටියක්. අර දෙමළ දැරිවිගෙ උපන් දිනය. %හැපි බර්ත් ඩේ^ සිංදුව කියලා අර දෙමළ දැරිවි කේක් එක කපලා හැමෝටම කැවුවා. ඊට පස්සෙ ඉතිං ජංගම දුරකථනවලින් ෆොටෝ ගැහුවා හිටු කියලා. අපි දන්නවනෙ දැන් ෆොටෝ ගහන්නෙම ෆේස් බුක් දාන්න කියලා. සේරම ඉරියව් නියෝජනය වෙන්නේ ෆේස් බුක් වෙනුවෙන්නෙ. අර දෙමළ දැරිවිගෙ මුහුණෙ අයිසින් ගාලත් ෆොටෝ ගන්නවා. එතන සෙල්ෆි වැස්සකුත් වැස්සා. හුරුබුහුටි කෙල්ලෝ එහෙට මෙහෙට මූණ ඇද කරකර කෝලන් විදිහට සෙල්ෆි ගහන කොටත් අමුතු ගතියක් තියෙනවා. ෆේස් බුක් ෆොටෝ සේරම ගහලා ඉවර උනාට පස්සේ එහාට මෙහාට දුවදුවා එක එකාගෙ මුහුණුවල අයිසින් ගාන්න පටන් ගත්තා. ජාතිභේද මොනවත් නෑ.... දෙමළෙන් කෑගහනවත් ඇහෙනෙවා. සිංහලත් ඇහෙනවා. මුල ඉඳන් වීඩියෝ කරගත්ත නම් ෂෝට් ෆිල්ම් එකක්.. රට ඒකීයද, සන්ධීයද, ෆෙඩරල්ද ඒ මොනවත් නෑ යාළු මිත්‍රකම්වලට. සේරමලා අයිසින් ගගා දුවනවා. ඊට පස්සේ ටැප් එකෙන් හෝද ගන්නවා. ආපහු ගානවා. විනෝදයට ජාතිභේද මොනවත් නෑ. මුළු ශරීරයම කළු ලෝගුවකින් වහගෙන ඇස් දෙකත් කළු දැලකින් වහගෙන ලෝකය දිහා බලන මුස්ලිම් තරුණියො දෙන්නෙක් මේ තරුණ තරුණියන්ගෙ විනෝදය දිහා බලාගෙන ඉන්නවා මම දැක්කා. සංස්කෘතිය, ආගම, විනෝදය නිදහස අහිමි කරලා. ඇඳුම හිර කූඩුවක් වගේ. එයාලා එයාලගෙ ශරීරය සම්පූර්ණයෙන්ම වහගෙන ලෝකයෙ ලස්සන බලනවා. අනෙකාගෙ ලස්සන දිහා බලනවා. හැබැයි එයාලගෙ ලස්සන බලන්න අනෙක් අයට අයිතියක් නෑ. සිංහල දෙමළ අයට ආගමෙන්, සංස්කෘතියෙන් තියන නිදහස ගොඩක් මුස්ලිම් තරුණියන්ට අහිමියි. සමහර මුස්ලිම් තරුණයො තමන්ගෙ පෙම්වතියව ඇඳුම ඇතුළෙ හිරකාරියක් කරගෙන හරි ආඩම්බරයෙන් පාරෙ යනවා. %මම අනික් ගැහැනුන්ගෙ ලස්සන දිහා බැලුවට මගේ කෙල්ලගෙ ලස්සන දිහා උඹලට බලන්න බෑනෙ^ කියන්න වගේ. හැබැයි නිදහස් මනසින් ලෝකය දිහා බලන ගොඩක් මුස්ලිම් සහෝදර සහෝදරයො ඉන්නවා මේ දේවල් තුට්ටුවකට නොසලකන. ඔවුන් හරිම නිදහසේ ජීවත් වෙනවා. මට මේ වගේ හිතුණෙ අර මුස්ලිම් තරුණියො දෙන්න බලාගෙන හිටපු විදිහ හින්දා. එහෙම නැතුව මම බොදු බලේ මානසිකත්වයෙන් මුස්ලිම් විරෝධීව හිතලා නෙමෙයි. අපේ ගැහැනුන්ගෙ ඇඳුම ගැන උඹ වදවෙන් එපා කියලා මුස්ලිම් කට්ටිය මට ඊමේල් එවන්න එපා. මානව නිදහස ගැන අදහසක් මම කිව්වෙ.
ඉතිං අර කොලු කෙළි සෙට් එක අයිසින් ගාගෙන නටලා මොකද දන්නවද කළේ... එතන හිටපු එක දෙමළ කොල්ලෙක් ඉතුරු වෙච්ච කේක් කෑලි පාක් එකේ තනකොළ කපකපා හිටපු ආරක්ෂක අංශයෙ සහෝදරයන් ළඟට ගිහිල්ලා දීපු එක.
සිද්ධ වෙන හැම සිද්ධියකටම ලොකු අදහසක් තියෙනවා. නිකම් බැලුවට බෑ.... හොඳට හිතලා බැලුවොත් තියනවා.

අපි සියලු දෙනා අවසාන සිතීම් අහිමිකර ගන්නෝ මෙවු



.

ජීවිතය පවතින්නේ සිතීම උඩය. ජීවිතය යනු සිතීමයි. අපි විවිධ ලෙස විවිධ අරමුණු අනුව සිතමින් ජීවිතය පවත්වාගෙන යන්නෙමු. නොසිතන මිනිහෙක් නොපවතින්නේ නොසිතීම ගැන පවා සිතන්නට සිදුවන නිසාය. සිතීමද, සිතීමෙන් නිදහස් කළ විට සිතීමට අවසානයක් නොලැබී යයි. අවසානයේ කෙළවරක් පිළිබඳ අදහසක් සිත්හි තබාගෙන සිතීම ජීවිතයයි.
පෙම්වතෙක්, පෙම්පතියක් ලබා ගැනීම කෙළවරෙහි තබාගෙන සිතීම ප්‍රේමයයි. ඔහු හෝ ඇය තමන් සතු කරගැනීම අවසානයෙහි තබා අපි බොහෝ දෑ සිතමින් විවිධ උපක්‍රම යොදමින් ප්‍රේම සටන ආරම්භ කරන්නෙමු. ඇය හෝ ඔහු තමන්ගේ ප්‍රේමය පිළිගත් විගස අවසානය සිතූ දේ අවසානය බවට පත් නොවී ආරම්භයක් බවට පත්වෙයි. සියලු අවසානයන් නව ආරම්භ බවට පත්වෙයි. වාහනයක්, ගෙයක්, හොඳ රස්සාවක්, උපාධියක් අවසාන සිතීම ලෙස සිතා ඒ සියල්ල ලබාගත් කල්හිද අවසානය එය නොවන බව සිතෙයි. අපි සියලු දෙනා අවසාන සිතීම් අහිමිකර ගන්නෝ මෙවු. ජීවිතයේ අවසාන සිතීම කුමක්ද? ඔබට එවැන්නක් හමුවී තිබේ නම් වහාම මට පවසන්න. ඔබට හමුවී තිබෙන සියලු සිතීම් අවසානයක් නොමැති සිතීම්ය. නිර්වාණය අවසන් සිතීම යැයි ඔබ පවසනු ඇත. නිවන යනු සිතීමෙන් නොසිතීම කරා යන අවසානයක්ද, අවසානයේ නොමැති අවසානයක්ද? සිතීමෙන් නොසිතීම කරා ගමන් කරන නොසිතීමත් පිළිබඳව අත්හැරීම නිර්වාණයද?
සිතීම අතහැරීම සිතන තරම් ලේසි නැත. සිතීම අතහැරීම ජීවිතයට අතහැර දැමීමකි. දැන් මම සිතමින් සිතීම ගැන ලියන්නෙමි. ඔබ සිතමින් සිතීම ගැන කියවන්නේය. නොසිතමින් සිතීම ගැන ලිවිය නොහැකිය. කියවිය නොහැකිය. නොසිතමින් කළ හැකි කිසිවක් නොමැත.
අවසානයක් පිළිබඳ අදහස අතහැර සිතීම ‍භෞතික ජීවිතයට බාධාවකි. භෞතික ජීවිතය ජයගන්නට නම් අවසන් සිතීම් බොරුවට හෝ තිබිය යුතුය. අවසන් සිතීම් බොරු වුණත් ඇත්ත ලෙස සිතීමෙන් ජීවිතය ජයගත හැකිය. %මම හොඳට ඉගෙන ගෙන, හොඳ රස්සාවක් කරලා, ගෙයක් දොරක් හදාගෙන, පවුල් වෙලා, ළමයි හදලා හොඳින් ජීවත් වෙනවා^ යන්න අවසන් සිතීම බවට පත්කර ගත්තෝ ඒ සිතීම අනුව ජීවිතය සකස් කර ගනිති. ටගාට් අනුව ජීවත් වීම යනු මෙයයි. දැන් ඔබට  තිබෙන ප්‍රශ්නය නම්, &ඉතිං ඒක වැරදිද?* යන්නයි. මම හරි වැරැද්ද, කළ යුතු දේ ගැන පවසන උපදේශකයෙක් නොවෙමි. ඒක හරිද? මේක වැරදිද? කවුද හරි? මම මෙහෙම ජීවත් වෙන්නද යන්න ඔබ මගෙන් ඇසිය යුතු නොවේ. මම අවිනිශ්චිත ජීවිතය ගැන පවසන විට ඔබ නිශ්චිත පිළිතුරු මගෙන් විමසයි. නිශ්චිත වූ පිළිතුරු මටද නැත. මම අවිනිශ්චිතයෙක් වෙමි. මම වනචරයෙක් වෙමි, උපාසකයෙක් නොවෙමි. මගේ ලිවීම අනුව මා පිළිබඳ නොසිතන්න. තවදුරටත් මට ඔබව රැවටිය නොහැකිය. කරුණාකර මගේ ලිවීමේ ගොඳුරක් නොවී නිදහස්ව සිතන්න.