ජීවිතය මැජික් එකක් යැයි විටෙක මට සිතෙයි. දරුවෙක්
පිළිසිඳ ගැනීම මැජික් වැඩකි. පුංචි දරුවෙක් මෙලොවට බිහිවීම, එම දරුවා වැඩිහිටියෙකු
වීම මැජික් වැඩකි. මරණින් පසු එම ජීවියා අතුරුදන් වීමත් මැජික් එකකි. සියල්ල
සිදුවන්නේ පුදුම සහගත ලෙසය. සමස්ත ජීවිතයම මැජික් වැඩවලින් පිරී තිබෙයි.
පෙම්වතියන් මුණ ගැසීම, විවාහ වීම, ප්‍රේම කිරීම මේ සියල්ල මට අනුව මැජික්ය. දැන්
මම මේ මැජික් සෙල්ලමේ සත්‍ය කුමක්දැයි සොයමින් සිටිමි.
මැජික් සංදර්ශනයක් නරඹන විට අපි එය මැජික් කියා දන්නෙමු.
අපි මායාවකට රැවටී සිටින බව දන්නෙමු. එලෙස දන්නේ මැජික් පෙන්වන ශිල්පියෙක් සිටින
නිසාය. අපි නොදන්නා සත්‍ය මැජික් ශිල්පියා දන්නා බව අප දන්නා නිසා එය මායාවක් යැයි
අපි සිතන්නෙමු.
ජීවිතය තුළ සිදුවන මැජික් අප මැජික් ලෙස හඳුනා නොගන්නේ
මැජික් පෙන්වන කෙනෙකු නැති නිසාය. එසේ නම් ජීවිතයේ මැජික් එක පෙන්වන කෙනෙක් අවශ්‍ය
අපට සත්‍ය සොයාගත හැක්කේ ඔහුගෙනි. ශිල්පියා නොමැති නිසා මැජික් එකක් නොවේ යැයි අපි
සිතමු. එය එසේ විය හැකිද?
මැජික් ශිල්පියෙක් යමක් අතුරුදන් කරනවා මෙන් අප ආදරය
කරන්නෝ අප හැරදමා යති. මරණය මැජික් එකකි. මේ සිටියා මේ නැත. උදේ හමුවූ කෙනා හවසට
නැත. සිප වැලඳ ආදරයෙන් වෙන්වූ කෙනා තව පැය භාගයකින් විනාඩි පහකින් අප හැරදා යා
හැකිය. ජීවිතය එළඹෙන මොහොතින් නැති වී යයි. ශරීරය දවාලූ පසු ඇට කැබිලිති හැර වෙන
කිසිවක් ඉතුරු නොවේ. අපේ ජීවිතය කොතරම් බිහිසුණු මැජික් එකක්ද.
සත්‍ය දැන ගැනීමට වෙහෙසෙන්නෝ මැජික් බලා පමණක් සතුටු නොවෙති.
ඔවුන් මැජික් එක කරන්නේ කෙසේ දැයි සෙවීමට වෙහෙසෙති. එය දැනගත් කල්හි මැජික් බලා
ලබන සතුට නොලැබී යයි. මන්ද මායාව අප සතුටට පත් කරන හෙයිනි. බොරුව ආස්වාදනීය වෙයි.
මැජික් ශිල්පියෙක් කාරයක් රෙදි කඩකින් වසා අතුරුදන් කරන විට අපි විශ්වාසයටත්
සතුටටත් පත්වෙමු. එහෙත් වාහනය අතුරුදන් කරවන ශිල්ප අප හඳුනාගත්විට පෙර සතුට වෙනුවට වෙනත් සතුටක්
ඇති වෙයි. එනම්, බොරුව අප දැන ගත්තාය යන සතුටයි.
ජීවිතයද එසේමය. ජීවිතයේ බොහෝ තැන්හි අප සතුටට පත්වෙමු. දුකට පත්වෙමු. ඒ ජීවිතයේ මැජික්
අනුවය.
ජීවිතය යනු කුමක් දැයි හඳුනා ගත්විට අපගේ සතුට මැජික්
සතුටෙන් මාරු වෙයි. ඔයා මැජික් කරන විදිහ මම දැන ගත්තා යන සතුටට සමාන සතුටක් ඇති
වෙයි.
දැන් අප මැජික් දෙස බලා සතුටු විය යුතුද? එසේත් නැතිනම්
මැජික් එක යනු කුමක්දැයි සොයා සතුටු විය යුතුද? ජීවිතයේ මැජික් බැලුවා ඇතිය. දැන් ජීවිතයේ
මැජික් හඳුනා ගැනීමට කාලය එළඹ ඇතැයි මට සිතෙයි. ඒ වෙනුවෙන් අප කළ යුත්තේ කුමක්ද. ගිහිගෙය
අතහැර දමා භාවනා කළ යුතුද? එසේ නැත්නම් ජීවිතයේ සියලු විසූක දස්සන අතරේ සිට සත්‍ය
සොයා ගත යුතුද? සොයා ගන්නා සත්‍යයද, සත්‍යයක් දැයි සෙවිය යුතු කල සොයන්නේ
කුමක්දැයි යන්නද මට නොවැටහේ.
No comments:
Post a Comment